අර්බුද මැදින් විසඳුම් – සුනන්ද මද්දුමබණ්ඩාර

 

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි සමුළුව අමතා පැවැත්වූ ඉන්දු පැසිෆික් දූපත් රාජ්‍ය අතර පැවැති සංවාදයේ දී ජනාධිපතිවරයා සහ ඩෑන් බෙයාර් මහතා සමග පැවැති සංවාදය පිළිබඳවත් දෙස් විදෙස් බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබූ බව මාධ්‍ය වාර්තා කළේය.

 

 

 

සමහර විපක්ෂ දේශපාලන පුවත්පත් එම අවස්ථා දෙකේදී ජනාධිපතිවරයා විසින් දක්වන ලද අදහස් විවේචනය කර තිබුණ ද බොහෝ දෙනෙකු ප්‍රකාශ කර තිබුණේ එම අවස්ථා දෙකේදී දැක්වූ අදහස් මගින් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට හැකි වී ඇති බවයි. එසේම ඇතැම් අය ප්‍රකාශ කර තිබුණේ එම අදහස් දැක්වීම තුළින් ආර්ථික, දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ජනාධිපතිවරයාගේ තීක්ෂණ දැනුමත් විචක්ෂණභාවයත් හෙළිවන බවයි.

ජනාධිපතිවරයා ඊයේ (26) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග ශ්‍රී ලංකා – IMF ගිවිසුමේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයක යෙදුණු අතර සවස ජර්මනිය බලා පිටත්ව ගියේය. බර්ලින් ගෝලීය සංවාදයේ පළමු දින සංවාද සැසියේ ආරම්භක දේශනය ඔහු විසින් පවත්වනු ඇත. එම සංවාදය වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථීක අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ ඉහළ පෙළේ සැසියකි. ජනාධිපතිවරයා එම සැසියෙන් පසු ජර්මන් රජය සමග නිල සාකච්ඡාවලට සහභාගී වන අතර 30 වන දින ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට නියමිතය.

කියුබාවේ පැවැති G 70+ චීනය සමුළුවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි මහ සභා රැස්වීමටත් සහභාගීවීමෙන් පසු ජනාධිපතිවරයා ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේ සැප්තැම්බර් 24 වැනිදාය. එම සංචාරය නිමවා ඉතා කෙටි කලකින් නැවත ජාත්‍යන්තර සමුළුවකට සහභාගීවීම සඳහා යෑමට සිදුව තිබේ. මේ සංචාරවල දී දක්නට ලැබුණු විශේෂත්වයක් වන්නේ ඉතා කෙටි කලක් තුළ දී එක සංචාරයක් නිමවන අයුරින් ඒවා සැලසුම් කර තිබීමය. භද්‍ර යෞවන වයසේ දී රනිල් වික්‍රමසිංහ මහතා විදේශ නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කළේය. එවිට ඔහුගේ වයස අවුරුදු 28 කි. එම වයසේදීවත් මෙතරම් කෙටි කලකින් සංචාරයක් නිමවූ බවක් වාර්තා වී ඇතිදැයි නොදනිමි. ඉතා වෙහෙසකර වුවත් එක් සංචාරයක් නිමවා අනෙක් සංචාරයකට සහභාගීවීමට ඔහුට සිදුව තිබේ.

එයට හේතුව ශ්‍රී ලංකාව පසුකරමින් සිටින මෙම අභියෝගාත්මක අවස්ථාවේ විදෙස් සම්බන්ධතා මගින් තීරණාත්මක කාර්යභාරයක් ඉටුවන බැවිනි. IMF දෙවන වාරිකය ලබාගැනීමට නම් මේ දක්වා තමන් ගිවිසුම අනුව කටයුතු කර ඇති බව පෙන්වා දීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත. මේ වන විට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දක්වන්නේ වෙනත් රටවලට වඩා ශ්‍රී ලංකාවේ ඩයස්පෝරාව සහ ශ්‍රී ලංකාවේ විවිධ පිරිස් සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන විසිනි. චැනල් 4 නාලිකා පාස්කු ප්‍රහාරය පිළිබඳව වීඩියෝ එළිදක්වද්දී ඒවාට ප්‍රතිචාර දැක්විය යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න තීරණයවීම කෙරෙහි ද විදේශ සම්බන්ධතා වැදගත් වනු ඇත. මේ වසරේ දස ලක්ෂ වැනි සංචාරකයා පිළිගැනීමට ශ්‍රී ලංකාවේ සංචාරක අංශ ඊයේ සූදානම්ව සිටියේය. පාස්කු ප්‍රහාරයෙන් පසු වසරක් තුළ දී පැමිණි වැඩිම සංචාරක පිරිස එය වේ. මේ සියල්ල රැක ගැනීමට සහ හොඳින් පවත්වාගෙන යෑමට නම් විදේශ සම්බන්ධතා සම්බන්ධයෙන් ද ඉහළ ප්‍රගතියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.

දේශීය වශයෙන් ඇතිකර තිබෙන තත්ත්ව හමුවේත් විදේශීය වශයෙන් පැන නැගී ඇති තත්ත්ව හමුවේත් විදේශ සම්බන්ධතා පිළිබඳව යහපත් තත්ත්වයක් ඇති කර ගැනීම පහසු කාර්යයක් නොවේ. උදාහරණයක් ලෙස චැනල් 4 වීඩියෝව එළිදැක්වීමෙන් පසු රට තුළ ඇති වූ තත්ත්වය තුළින් ඒ පිළිබඳව අදහසක් ඇති කර ගැනීමට හැකිවනු ඇත. රටේ ආණ්ඩු පක්ෂය හැර අනෙක් සියලු‍ම දේශපාලන පක්ෂවලින් ප්‍රකාශ වූයේ චැනල් 4 විසින් දීමට අදහස් කළ පණිවිඩය පිළිගැනීමට සූදානම් බවකි. එනම් පාස්කු ප්‍රහාරය ආරම්භ කර ඇත්තේ මුස්ලිම් අන්තවාදීන් විසින් නොව ගෝඨාභය රාජපක්ෂ විසින් හෝ ඔහුට හිතවත් කණ්ඩායමක් විසින් බවය. මෙවැනි තත්ත්වයක් රට තුළ ඇතිව තිබෙන අවස්ථාවක රටේ ප්‍රතිරූපය රැක ගැනීමට මහත් වෑයමක් දැරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත. ඒ එක පැත්තක් පමණි.

ජාත්‍යන්තර කටයුතුවල දී ශ්‍රී ලංකාවට කවර කටයුත්තකට ඉදිරිපත් වුවත් බොහෝ අවස්ථාවල දී කවර හෝ ආකාරයේ විරෝධතාවකට මුහුණ දීමට සිදුවනු ඇත. එයට හේතුවී ඇත්තේ කුමන කරුණුද යන්න පිළිබඳව මහජනතාව විසින් හොඳින් කරුණු වටහාගත යුතුව ඇත. විවිධ හේතූන් මත  ශ්‍රී ලංකාව අතහැර ගොස් විදේශවල පදිංචිව සිටින ද්‍රවිඩ ජන කොටස් බොහෝ රටවල ප්‍රබල බලවේගයක් බවට පත්ව තිබේ. මෙම පිරිස LTTE හිතවාදී ස්ථාවරයක සිට එයට ආධාර ලබාදුන්හ. LTTE  පරාජයෙන් පසුව එම පිරිස් ශ්‍රී ලංකාවට එරෙහිව ඕනෑම විරෝධතාවකට, ප්‍රචාරක ව්‍යාපාරවලට සහයෝගය ලබාදෙන තත්ත්වයක් ඇතිව තිබේ. කැනඩාව වැනි රටවල ආණ්ඩු ශ්‍රී ලංකාවට එරෙහිව නිරන්තරයෙන්ම විවිධ ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේ එම පිරිස් කැනඩාවේ ප්‍රබල තත්ත්වයකට පත්ව තිබීම හේතුවෙනි.  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී  යුද්ධයට  පසු සෑම වසරකදීම ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබල ව්‍යාපාරයක් දියත් වීමට හේතු වී ඇත්තේ මෙම පිරිස්වල බලපෑමය. මෙය අවසන් කර ලොව විවිධ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් රටට හිතෛෂීව කටයුතු කරන තත්ත්වයක් ඇතිකර ගන්නා තුරු ඒවා දිගටම පවතිනු ඇත.

සමහර කරුණු ඉටු කිරීමට ශ්‍රී ලංකාවට හැකි වී නැත ද දෙවන ණය වාරිකය IMF විසින් ලබන මස තුළදී ලබාදෙනු ඇතැයි අපේක්ෂා කළ හැක්කේ IMF වෙතින් ණය ලබාගෙන ඇති අනෙකුත් සාමාජික රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ඉහළ මට්ටමක පවත්නා බැවිනි. එසේ වුවද තුන්වන වටය හා සම්බන්ධ සාකච්ඡාවලට පෙර විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව තීරණාත්මක මට්ටමකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වුවහොත් ඇතිවන තත්ත්වය පිළිබඳව සිතා ගැනීමට පවා නොහැකිය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව බොහෝ රටවල් විසින් සහාය පළකර ඇති අතර පැරිස් සමාජය විසින් ඒ සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටියේය. ඉන්දියාව, ජපානය, අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් විසින් මේ සම්බන්ධයෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් දක්වා ඇති නමුත් චීනය අනුගමනය කරන ක්‍රියාමාර්ගය පිළිබඳව යම් යම් වෙනස්කම් දක්නට ලැබෙන බව පෙනී යයි. ඒ අතර චීන පර් යේෂණ නැවක් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැටලු‍කාරී තත්ත්වයක් හටගෙන තිබේ. විදේශ සම්බන්ධතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව තිබෙන තත්ත්වයේ ස්වාභාවය එයයි. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව චීනයට පක්ෂපාත යැයි සිතන බවක් පෙනෙන අතර චීනය විසින් ශ්‍රී ලංකාව ඉන්දියානු හිතවාදී යැයි සලකනු ලබන බවක් පෙනෙන්නට තිබේ. මේ තීරණාත්මක මොහොතේ දී මේ සියලු‍ පාර්ශ්වවල ප්‍රසාදය දිනාගන්නා ආකාරයෙන් විදේශ සම්බන්ධතා මෙහෙයවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිදුව තිබේ. ඉතා කෙටි කලක් තුළදී එකක් පසු තව එකක් වශයෙන් විදේශ සංචාරවල යෙදෙමින් එම රටවල නායකයන් හා සමීප සම්බන්ධතා පවත්වා ගනිමින් ඒ සඳහා කටයුතු කිරීමට ජනාධිපතිවරයා මහත් කැපවීමකින් කටයුතු කරන බව පෙනේ.

මා මුලින් සඳහන් කළ එක්සත් ජාතීන්ගේ සංවිධාන රැස්වීමේ දී ජනාධිපතිවරයා කළ කතාවත්, ඉන්දු පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර රැස්වීමේ දී දැක්වූ අදහසුත් රටේ විදේශ සම්බන්ධතා සම්බන්ධයෙන් ඉතා වැදගත් මග පෙන්වීමක් ලබාදෙන බව සඳහන් කළ හැකිය. ශ්‍රී ලංකාව ඉන්දියානු ගැති හෝ චීන ගැතිදැයි බෙයාර් විසින් ප්‍රශ්න කළ විට ජනාධිපතිවරයා සඳහන් කළේ මා කාටවත් ගැති නැති බවත් ශ්‍රී ලංකානු ගැති බවත් ප්‍රකාශ කළේය. වරෙක එක රටකටත් තවත් වරෙක අනෙක් රටටත් ගැතිවන ආකාරයේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට වඩා වැදගත් වන්නේ ඍජු සහ පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑමයි. ශ්‍රී ලංකාවට පැමිණෙන චීන පර් යේෂණ නැව තහනම් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් නැත. එහෙත් රටට පැමිණෙන එවැනි නැව් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් සහ මගපෙන්වීමක් ඇති  කිරීම සඳහා ප්‍රතිපත්ති රාමුවක් සකස් කර තිබේ. එයට ඉන්දියානු රජයේ එකඟතාව ද ලැබී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී ඇත්තේ මෙම රටවලින් සහාය ලබාගැනීම සඳහා අවස්ථාවාදී ලෙස කටයුතු කිරීමේ පිළිවෙතින් බැහැරව ඍජු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුවී ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැත්වූ දේශනයේ දී ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් මුදවාගැනීම සඳහා අනුගමනය කරන ප්‍රතිපත්ති පිළිබඳවත් ආර්ථික, මූල්‍ය, ආයතනික සහ සංහිඳියා යන ක්ෂේත්‍ර ප්‍රමුඛ කර ගැනීමෙන් තමා විසින් ආරම්භ කර ඇති ප්‍රතිසංස්කරණ එක් අතෙකින් ජනතාව සහ රජය අතර විශ්වාසය යළි ගොඩනැගීම සඳහා හේතු වී ඇති බවත් අනෙක් අතට ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රගතිය ඇති කිරීම සඳහා අඩිතාලම දැමීමක් ද වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එම කතාවෙන්ද බෙයාර් සමග සංවාදය තුළින් ද පැහැදිලි වන්නේ ආර්ථික ස්ථාවරත්වය සහ විදේශ සම්බන්ධතා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් මේ දක්වා අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් රට වඩාත් යහපත් තත්ත්වයකට  පත්වෙමින් පවත්නා බවයි. Sunday Times දේශපාලන කතුවරයා ඔහුගේ පසුගිය සතියේ දේශපාලන විවරණයේ දී ප්‍රකාශ කර තිබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්ති සඵල වෙමින් පවත්නා බව මෙම සංචාරයෙන් පැහැදිලි වන බවය. ජනාධිපතිවරයා සම්බන්ධ හොඳ ප්‍රතිචාරයක් දක්වමින් ඔහු ජනාධිපතිවරයාගේ නිරන්තර විදේශ සංචාර ඵල දරන ආකාරය දැන් පැහැදිලි වන බව ප්‍රකාශ කර තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

සුනන්ද මද්දුමබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *