දුන්න දුනුගමුවේ, ඊ තල කිතලගමුවේ – මහින්ද රත්නායක

පලාත් පාලන හා පලාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විදේශගත වූයේ පලාත් පාලන සීමා නිර්ණ වාර්තාව බාරදීමට සුදානම්ව සිටිය දී ය. අර කී වාර්තාව භාරගැනීමට විෂයට සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න මහතා ද  ඉදිරිපත්වූයේ නැත. සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පලාත් සභා තුළ පරාජයට පත්වූයේ එයින් දින කිහිපයකට පසුව ය.   2017 දී ආණ්ඩුව පෙරළන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදීම  ඊට පසුව ඇති වූ අනික් වැදගත් දේශපාලන සංසිද්ධිය වේ. මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ අගමැතිකම භාරගැනීම තමන්ට මදි පුංචිකමක් නොවන බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී අඟවා ඇත. පලාත් පාලන හා පලාත් සභා රාජ්‍ය අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න මහතා  අමාත්‍ය ධුරයෙන්  හා ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූ බව  වාර්තා වූයේ එයින් පසුව ය.
පලාත් පාලන හා පලාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට සමිබන්ධ අමාත්‍යවරයෙකි. නමුත් පලාත් පාලන මැතිවරණය කල්දැමීම අග‍්‍රාමාත්‍යවරයාගේ උවමනාවට සිදුවන්නක් බවට වූ කථාවක් ද ශ‍්‍රිලනිපයට සම්බන්ධ ඇතැම් අය පතුරුවති. අනික් පැත්තෙන්  පලාත් සභාවල දී  පරාජයට පත් වූ සංවර්ධන විශේෂ විධි විිධාන පනත් කෙටුම්පතට එරෙහිව නැගුණු ප‍්‍රධානතම චෝදනාව වූයේ පලාත් සභාවට අයත් බලතල සුපිරි ඇමතියෙකුට පැවරීමට යන බවට ය.  මෙසේ චෝදනා නගන්නේ සුපිරි ජනාධිපතිවරයෙකු තැනූවා පමණක් නොව පලාත් සභාවලට බලතල ලබාදෙනවාට විරුද්ධව කථාකරන මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ පලාත් සභා මැති ඇමතිවරුන්විම විශේෂිත ය. අනික් අතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව සංවර්ධන විශේෂ විධිි විිධාන පනත් කෙටුම්පත පලාත් සභා වෙත යොමුකළ බව කවුරුත් දනිති. මේ පිළිබඳ හාංකවිසියක් තමන් නොදන්නා සේ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ඇමතිවරු හැසිරීම ඉතා කණගාටුදායක ය. සංවර්ධන විශේෂ විධිවිධාන පනතට තමන් විරුද්ධ නම්  අමාත්‍ය මණ්ඩල රැුස්විමේ දී ඒ බව පැවසිමට ඔවුනට අවස්ථාව තිබුණි. කිසිම ප‍්‍රතිපත්තියක් නැතිව අවස්ථාවාදි ලෙස මෙසේ හැසිරෙන අතරම ශ‍්‍රීි ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ සමහර ඇමතිවරු  අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ එජාපය විවේචනය කරන්නේ හවුල් ආණ්ඩුවක කොටස්කාරයන් බව අමතක කරමිනි.
”දුන්න දුනුගමුවේ, ඊතල කිතලගමුවේ” යනුවෙන් ආරම්භවන හෙල කියමනට අනුව විසිරී ඇති නමුත් කිසියම් අරමුණක් ඇතිව සැළසුමක් ක‍්‍රියාත්මක වන බව මේ සිදුවිම් ආශ‍්‍රයෙන් තේරුම් ගතහැක. හිටපු ජනාධිපතිවරයා හෙවත් මහින්ද රාජපක්ෂ මහතාගේ ඒ සැළසුම  සාර්ථක කරගැනීමට ක‍්‍රම දෙකක් ඇත. පාර්ලිමේන්තු මැතිවරණයකින් බහුතරය දිනාගැනීම එයින් එකක් වන්නේ ය. දෙවැනි ක‍්‍රමය වන්නේ කුමන්ත‍්‍රණයක් මගින්  එක්සත් ජාතික  පක්ෂයෙන් මන්ත‍්‍රිවරුන් බාගෙන පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීම ය. ආසන්නයේ මැතිවරණයක් නොපැවැත්වෙන හෙයින්   යථාවාදි සැලැසුම වන්නේ දෙවැනි ක‍්‍රමයට  පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීම ය. වෙනත් සමාජ බලවේගයක කරමතින් බලයට පත්වූ ජනාධිපතිතුමාට එකතු වූ ශ‍්‍රිලණිපයේ සියලූම දෙනා මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ  ඒකාබද්ධ විපක්ෂයට එකතු වුව ද ඔවුන්ට පාර්ලිමේන්තුවේ ඇත්තේ ආසන 95කි. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගන්නට නම් එජාපයෙන්  මන්ත‍්‍රිවරු 18ක් තම පැත්තට හරවාගත යුතුව තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිදු වූ  ඇතැම් දුෂණ හා වංචාවලට එරෙහි කෙරෙන පරීක්ෂණවලට එළිපිටම අවහිර කළ  එජාපයට සම්බන්ධ දෙතුන් දෙනෙකු හැර එම පක්ෂයෙන් මන්ත‍්‍රිවරු 18ක් රාජපක්ෂ මහතාට දිනා ගැනීම එතරම් පහසු  කාරණයක් නොවේ. අන්ත ජාතිවාදි ස්ථාවරයක සිටින ඒකාබද්ධ විපක්ෂය සමග සම්බන්ධ මහින්ද රාජපක්ෂ මහතා සමඟ, සුලු ජාතික පක්ෂ කෙසේවත් එක්වේ යැයි සිතීමට ඇති ඉඩකඩ  අවම ය. මේ  අතර ජනතා විමක්ති පෙරමුණ  කෙසේවත් රාජපක්ෂ මහතා සමග එකතු වන්නේ නැත. එහෙත් පාර්ලිමේන්තුවේ දැනට ආසන 106ක් ඇති එජාපයට තනියෙන් ආණ්ඩුවක් පිහිටූවීමට ශ‍්‍රිලනිපයෙන් දිනාගැනීමට  අවශ්‍ය වන්නේ මන්ත‍්‍රිවරු 07ක් පමණ ය. දැනට තිබෙන තත්ත්වය යටතේ  එක්සත් ජාතික පක්ෂයට එය කිසිසේත්ම අසීරු කටයුත්තක් නොවේ. කෙසේ නමුත් එය තීරණය වන්නේ  ජනාධිපතිතුමාගේ මෙන්ම අගමැතිතුමාගේ  අවසාන තීරණයන්මත ය. තමාව බලයට පත්කළ ජනතාව සමග ඇතිකරගෙන තිබෙන සමාජ සම්මුතියේ කොන්දේසි, ජනාධිපතිතුමා, රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා සමග එක්වී ඉටුකරන්නේ නම් රාජපක්ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට කළහැකි යමක් නැත. එහෙත් ජනාධිපතිතුමා අර කී සමාජ ගිවිසුම බිඳදමා ජනාධිපති වූ පසු භාරගත් පක්ෂය වෙනුවෙන් වැඩ කරන්නේ නම් අගමැතිවරයාට ද පෙරළා ප‍්‍රතික‍්‍රියා දැක්වීමට සිදුවන්නේ ය. එය නරක ම තත්වයක් නොවිය හැකි නමුත් එය හොඳ තත්ත්වයක් නම් නොවන්නේ ය. තවත් පැත්තකින් ගතහොත්, මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට වඩා එජාපයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ඇතත් එය තීරණය වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ  මේ කුමන්ත‍්‍රණයට ප‍්‍රමාදයකින් තොරව අගමැතිතුමා ප‍්‍රමුඛ එජාපය ප‍්‍රතික‍්‍රියා දක්වන්නේ නම් පමණි. ජනවාරි 08 තමා බලයට පත්කළ සමාජ බලවේගයන් සමග ජනාධිපතිතුමා ඇතිකරගෙන තිබෙන සමාජ ගිවිසුමේ කොන්දේසි ඉටුකිරීමට තම පක්ෂයේ නායකයින් එකඟකර ගැනීමේ වගකීම ඇත්තේ ජනාධිපතිතුමාට ය. හොඳම තෝරා ගැනීම වන්නේ තව දුරටත් එකඟතාවයකින් යුතුව නායකයයින් දෙදෙනා කටයුතු කිරීම ය.
ජනාධිපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාරගත් දා සිට පොදු අපේක්ෂකයා ලෙස  මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතිකරගත් සමාජ ගිවිසුම තර්ජනයට ලක්වූ බව ඔහුව බලයට පත්කළ සියල්ලන්ගේ පොදුමතය යැයි කිව හැක. 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 ඡුන්දයෙන් සම්මතකර ගැනීමට හැකිවූයේ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාරගත් නිසා යැයි මෙහිදි යමෙකුට තර්ක කළ හැක. එහෙත් එවකට පාර්ලිමේන්තුවේ සුලුතරය වූ එජාපයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාව අගමැතිකමට පත්කළේ ජනාධිපතිතුමා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාරගැනීමට ප‍්‍රථමයෙන් බව අමතක නොකළ යුතු  ය. දැනට උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය, ඇතිකරගෙන තිබෙන සමාජ ගිවිසුමට හානිකර නොවන ආකාරයට විසඳාගැනීමට නම් ප‍්‍රමාදයකින් තොරව ජනාධිපතිතුමා තම පක්ෂය සම්බන්ධයෙන් තීරණයක් ගතයුතුව තිබෙි. ලැබුවා වූ 2017 වසරේදි පක්ෂය හා සමාජ ගිවිසුම යන අසුන් දෙදෙනාගෙන් එක් අශ්වයෙක් ජනාධිපතිතුමාට තෝරාගැනීමට සිදුවනු ඇත. ජනාධිපතිතුමා ඒ ආකාරයට පැහැදිළි ස්ථාවරයකට එන්නට ප‍්‍රමාද වන තරමට  රාජපක්ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට වාසිවන අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එජාපයට අවාසි වන්නේ ය. වෙනත්  ආකාරයකට පවසන්නේ නම් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්  මන්ත‍්‍රිවරු 07ක් දිනාගෙන තනි ආණ්ඩුවක් එජාපයට පිහිටුවීම අපහසු නැතත් කල් යන ප‍්‍රමාණයට එක්සත් ජාතික පක්ෂයට බරපතල ලෙස අවාසිවීම වැළුැක්විය නොහැකි වනු ඇත.
කවුරු කැමති වූවත්, නැතත් 2015 ජනවාරි 16 වෙනිදා පාන්දර අරලිය මැදුරේ සිට කොට්ට පැදුරු හකු-ලාගෙන හම්බන්තොට ගොස් මැදමූලන ගෙදර ජනෙල් කණ්ඩියේ එල්ලී කථාපැවැත්වූ මහින්ද රාජපක්ෂ මහතා බලයට අතපොවන තැනට මේ වනවිට ගමන්කර ඇත. ඒ පැත්තෙන් ගතහොත් රාජපක්ෂ මහතා දැනටමත් තමාගේ සටන අරඹා ඇති බව ඉතා පැහැදිළි ය. ඒ අතින් බැලූ කළ එජාපය දැනටමත් ප‍්‍රමාද ය. මේ ප‍්‍රමාදයට හේතු වී තිබෙන්නේ ජනාධිපතිතුමාගේ තීන්දුව තවමත් නිශ්චිත නොවන නිසාවෙනි. එහෙයින් සමාජ ගිවිසුම බිදවැටි රාජපක්ෂලාගේ මජර පාලනය නැවත වතාවක් ස්ථාපිත වුවහොත් එහි වගකීම සම්පූර්ණයෙන්ම ජනාධිපතිතුමා මත පැටවෙන එක වැළැක්විය නොහැක. දිගින් දිගටම පෙන්වා දී ඇති පරිදි රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විරුද්ධ පක්ෂය බලවත් වන ප‍්‍රමාණයට ජනාධිපතිතුමා හා ජනතාව අතර ඇති සමාජ ගිවිසුම දුර්වල වන බව  පැහැදිළි ය. ඒ ප‍්‍රමාණයට ජනවාරි 08 ජයග‍්‍රහණයට උරදුන් ජනතාවගේ අවසන් අපේක්ෂාව වන නව ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථා වැඩපිළිවෙල ඒ සමඟම වැලලී යනු ඇත.
අනික් අතට රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඉතා සැලසුම් සහගතව ආණ්ඩුවේ ආර්ථික ක‍්‍රමෝපායන්ට එරෙහිව ජනතාව නොමග යවන බව ඉතා පැහැදිළිව පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදි නිදහස වෙනදාට වඩා අද භක්ති විදිය හැකි බැවින්  ජනතාවට විරෝධය දැක්වීමේ හැකියාව ඇති බව පවසා නිහඩව සිටිමේ පුලුවන්කමක්  ආණ්ඩුවට නැත. මේ විරෝධයන්ගෙන් අති බහුතරයක් නිශේධනාත්මක ප‍්‍රථිපල අත්කර දෙන ඒවා බව  අමතක නොකළ යුතු ය. මේ ආකාරයට අරාජිකත්වයක් රට තුළ නිර්මාණය වන්නේ නිර්මාණය වන්නට ඉඩ හරින්නේ නම් කිසිදු ආයෝජකයෙක් ශ‍්‍රි ලංකාවට ආකර්ෂණය වන්නේ නැත. රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ එක් අරමුණක් වන්නේ ද අගමැතිවරයා සැළසුම්කර ඇති 2017 සංවර්ධන වැඩපිළිවෙල අඩපන කිරීම බව තේරුම්ගත යුතු ය.

අගමැතිතුමා ප‍්‍රමුඛ එජාපයට ද මේ බිඳවැටිම කිසිසේත්ම වාසි සහගත වන්නේ නැත. චන්ද‍්‍රිකා මැතිණිය ප‍්‍රමුඛ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය නායකත්වය දුන්  ජාතිවාදි බලවේග සමඟ කළ සටනකින් පසු බලය ලබාගත් රනිල් වික‍්‍රමසිංහ මහතා මෙයට පෙරද අගමැති  ලෙස කටයුතුකර තිබේ. එදා ද එසේ අගමැති වූයේ ජාතිවාදයට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදි බලවෙිගයන්ගේ සහායෙනි. එහෙත් චන්ද‍්‍රිකා මැතිණිය අමාත්‍යාංශ 3ක් පවරා ගැනීමත් සමග අගමැතිකම අත්හරින්නට රනිල් වික‍්‍රමසිංහ මහතාට සිදුවිය. එයට එරෙහිව පෙරලා ප‍්‍රතික‍්‍රියා දක්වන තැනට නොගොස්  රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිකම අතහැර ගෙදර ගියේ ය. අර කි ප‍්‍රජාතන්ත‍්‍රවාදි බලවේගයන් ම රනිල් ව්ක‍්‍රමසිංහ මහතාව බලයට පත් කළ දෙවන අවස්ථාව මෙය වේ.  පසු ගියවර සිදු වූ දේ නැවත සිදු නොවන්නට නම් රාජපක්ෂගේ සැළසුම නිශ්චිත මොහොතේ පරාජය කළ යුතු ය. රටේ අවාසනාවට හෝ එසේ කිරීමට අසමත් වුවහොත්  රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබාදුන් අගමැතිකම ආරක්ෂාකර ගැණීමට තරම් උපායශිලි දේශපාලනඥයෙක් නොවන බවට වූ  මතයක් සමාජයේ තහවුරුවීම වැළැක්විය නොහැකි වනු ඇත. එහෙයින් 2015 වසර ප‍්‍රජාතන්ත‍්‍රවාදි විපලවයේ වසරවූවා සේම  2017 වසර ප‍්‍රතිවිප්ලවයේ වසරවීමට ඉඩ තිබේ. එය වැළැක්විය හැකි වන්නේ නායකයින් දෙදෙනාම එක් වී ප‍්‍රමාදයකින් තොරව රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිගාමී උත්සහාය පරාජය කිරීමට ක‍්‍රියා කරන්නේ නම් පමණි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *