යුක්තිය ඉටු නොකරන රටකට ඉදිරි ගමනක් නැහැ – නීතිඥ දුලාන් දසනායක
මේ වන විට චැනල් 04 නාලිකාව, පාස්කු ප්‍රහාරය පිළිබඳ ආන්දෝලනාත්මක වීඩියෝවක් නිකුත් කරල තියෙනව. ඒ හරහා අපට ලංකාවෙ යුක්තිය පිළිබඳ ගැටලුව මතුවෙනව; නැවත නැවත මතක් කරල දෙනව. කාලෙන් කාලෙට සිදුවන සිදුවීම්වලින් ලංකාවේ යුක්තිය පිළිබඳ ගැටලුව වගේම යුක්තිය ප්‍රමාද වීමේ ගැටලුවත් නැවත නැවත මතක් කරල දෙනව.
විශාල අපරාධයක් වුණත් ලංකාවේ ඒ සම්බන්ධව විමර්ශනයක් කරල වැරදිකාරයො හොයාගෙන නඩු කටයුතු පටන්ගෙන කටයුතු කරන්න සෑහෙන කාලයක් ගතවෙනව.
පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ සෑහෙන පිරිසක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරන් රඳවගෙන තිබ්බ. සෑහෙන පිරිසකට නඩු පවරලත් තියෙනව. නමුත්, විසඳුමකට යන්න කොච්චර කාලයක් යනවද කියන එක ප්‍රශ්නයක්. දැන් සෑහෙන කාලයක් ගතවෙලා.
පාස්කු ප්‍රහාරය විතරක් නෙමෙයි, ඊට කලිනුත් ලංකාවේ අපරාධකාරයො කවුද කියල හොයා ගන්න බැරි අපරාධ ගණනාවක් සිදු වෙලා තියෙනව. සමහර ඒවට අද වන තුරුත් විමර්ශන නැහැ. සමහර විමර්ශන අවසන් කරල නඩු පවරන්නෙ යම් ජාත්‍යන්තර සම්මේලනයක් තියෙන කොට. ඒ වගේ වෙලාවට මේව ඉක්මන් වෙනව පස්සෙ අමතක වෙලා යනව.
උදාහරණයක් විදිහට,ත්‍රිකුණාමලයේ ළමයි පස් දෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය හැම වෙලාවෙම කරළියට එනව නමුත් වෙච්ච දෙයක් නැහැ. වුණ දේ හොයා ගත්තු කෙනෙකුත් නැහැ.
ඇක්ෂන් කොන්ට්‍රි ලා ෆාම් කියන රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයන් දහතුන් දෙනෙක් ඝාතනය කිරීමෙ සිද්ධියත් එහෙමයි. ප්‍රංශය, ජිනීවා මානව හිමිකම් සමුළුවේ බලපෑමක් කරන කොට යම් පරීක්ෂණයක් එනව නමුත්, අද වෙනකම් කාටවත් යුක්තිය ඉටුවෙලා නැහැ.
කොළඹ අතුරුදන් වෙච්ච ළමයින් ගේ සිද්ධියට ලංකාවෙ හිටපු නාවික හමුදාපතිවරු වගඋත්තරකාරයො වුණා. ඒකටත් අවසානයේ කිසිම යුක්තියක් ඉටුවෙලා නැහැ. ඒ වගේ ප්‍රධාන පෙළේ අපරාධවලට යුක්තිය ඉටු වෙලා නැහැ වගේම යුක්තිය සෑහෙන්න ප්‍රමාද වෙලා තියෙනව. ඒවයෙ නඩු කටයුතු පටන් ගන්නෙ අත්අඩංගුවට ගැනීම් කෙරෙන්නෙ ජාත්‍යන්තර වශයෙන් කෙරෙන යම් යම් බලපෑම් මත.
ලංකාවෙ තියෙන තවත් දිග්ගැසුණු ම ප්‍රශ්නයක් තමයි, මිනිසුන් අතුරුදන් කිරීම. මම හිතන්නේ මිනිසුන් අතුරුදන් කිරීමෙන් ලංකාව දෙවැනි වෙන්නෙ සිරියාවට පමණයි. අතුරුදන් කිරීම කියන්නේ ළඟම ඥාතින්ට සදාකාලික වේදනා දෙන අපරාධයක්. අම්මලා අදත් තමන්ගෙ දරුවන් එන තුරු බලා ඉන්නවා. බිරින්දෑවරු තමන්ගේ සැමියා එනතුරු බලා ඉන්නවා. දරුවන් තමන්ගේ තාත්තා එනකම් බලා ඉන්නවා. ඒ අයට යුක්තිය ඉටු කරන්න අපට අද වෙනකම් බැරි වෙලා තියෙනවා. යුක්තිය සෑහෙන්න ප්‍රමාද වෙලා තියෙනවා.
මැතිවරණ වේදිකාවල ඒ අය ගැන ඕන තරම් සාකච්ඡා වෙලා තියෙනවා. ඒ අයට යුක්තිය ඉටු කිරීම ගැන කතාවෙලා තියෙනවා. හානි පූරණය ගැන කතාවෙලා තියෙනවා. නමුත් කිසිවක් සිදුවී නැහැ. අතුරුදන් වීමේ කාර්යාලයක් කියල එකක් සකස් කළා, අපි දන්න තරමින් ඉතා සුළු කේස් ප්‍රමාණයක් තමයි ඒවායින් විසඳිලා තියෙන්නේ. හානි පූරණය කරන්නවත් අපට ශිෂ්ටසම්පන්න භාවයක් නැහැ කියල තමයි මට හිතෙන්නේ.
රටක් විදිහට ගත්තාම මේ තරම් අතුරුදන් වීම් සිදුවෙලා, ඒවා සම්බන්ධව පොදුවේ සමාව ගැනීමක් නැතුව, පොදුවේ ශිෂ්ටසම්පන්නව ඒ අය හානිපූර්ණය කරන්න වත් වුවමනාවක් නැතුව අවුරුදු ගණනාවක් තිස්සේ කාලය ගතකිරීම ගැන අපි ලැජ්ජ වෙන්න ඕන. මේක ඉතාම බරපතළ තත්ත්වයක්. විශේෂයෙන් මේ අම්මලට යුක්තිය ඉටු කරන්නෙ නැති රටකට ඉදිරි ගමනක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. මේ අයට මැරිල යන්න වෙන්නෙත්, ළමයි පිළිබඳ හිතාගෙන, ළමයි හෙට ගෙදර එයි කියල හිතාගෙන.
ඒ අය සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාවලියක් සකස් කරල, ඒ අයගේ දුක නිවන ක්‍රමයක් හදල, ඒ අයට යුක්තිය ඉටු කරන ක්‍රමයක් හදන්න අපි අසමත් වෙලා. ඒ සම්බන්ධයෙන් දේශපානඥයො වගේම, රටේ ජනතාවත් වගකියන්න ඕන. ජනතාවටත් කිසිම වුවමණාවක් නැහැ. උතුරේත් දකුණේත් මේ සා විශාල අතුරුදන් කිරීම් සිද්ධ වෙලා තියෙනවා, ඒත් ජනතාවට ගාණක් නැහැ. ඒ නිසා ජාතියක් වශයෙන් අපි ඇත්තටම ලැජ්ජා වෙන්න ඕන. යුක්තිය ඉටු කිරීම ප්‍රමාද වෙනව නම් අපි ශිෂ්ටසම්පන්න ජාතියක් නෙමේ.
ප්‍රධාන අපරාධ ගැන කතා කරන කොට, මේ යුක්තිය ප්‍රමාද වීම නිසාම; ජාත්‍යන්තර වශයෙන් පරීක්ෂණ පවත්වන්න ඕන, ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම් අවශ්‍යයි, ජාත්‍යන්තර අධිකරණයට යන්න ඕන, ජාත්‍යන්තර අධිකරණය කණ්ඩායම් අවශ්‍යයි කියල ලංකාවේ යුක්තිය ප්‍රමාද වීම ගැන ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර අවධානයට ලක් වූ කාරණා ගණනාවක් තියෙනවා. අපට පෙනෙන ආකාරයට ඒක ඉතාම සාධාරණ ඉල්ලීමක්. දේශීය ක්‍රමවලින් යුක්තිය ඉටු වෙන්නෙ නැතිනම්, අපට සිද්ධ වෙන්නෙ එවැනි ක්‍රමවේදයකට යන්න.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව ගත්තත් මේ ආන්දෝළනාත්මක තත්ත්වයට අපි රජයක් විදිහට හරියට එළඹුණේ නැත්නම් අවසානයේ අපට සිද්ධ වෙන්නෙ ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම්වල සහය පතන්න තමයි. සැක මතු කරපු ඝාතන එහෙම පිටින්ම පොළොව යටට යන ක්‍රමයක් ලංකාවේ හදල තියෙන්නෙ.
යුක්තියේ ප්‍රමාදය මේ වගේ ප්‍රධාන අපරාධ, දේශපාලන වශයෙන් වැදගත් අපරාධ පමණක් නොවෙයි ජනමාධ්‍යවේදින් සෑහෙන සංඛ්‍යාවක් ඝාතනය වෙලා තියෙනව.ලසන්ත වික්‍රමතුංග ඝාතනය චැනල් 04 වීඩියෝ එකෙත් තියෙනව. ඒක කළේ කවුද කියල අද වෙනකම් හොයාගෙන නැහැ. නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියේ ඔහේ තියෙනව, තාම මහාධිකරණයට වත් යොමු කරල නැහැ. මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් තවත් එවැනි ඝාතන , අතුරුදන් කිරීම් ගණනාවක් තියෙනවා. ඒව ඔහේ තියෙනව නඩු දිනේට වින්දිතයො යනව, නඩු කල් යනව, විමර්ශනයක් සිදු වෙන්නෙ නැහැ . කල් යමින් පවතිනවා විතරයි.
ප්‍රධාන පෙළේ අපරාධ පමණක් නෙමෙයි ලංකාවෙ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන නඩු කටයුතුවලටත් ඉතාම නරක විදිහට මේ තත්ත්වය උදාවෙලා තියෙනවා. මේ නිසා අධිකරණ පද්ධතිය පිළිබඳ ජනතා විශ්වාසය නැති වෙලා. නඩුවක් දානකොට දෙතුන් පාරක් හිතන තත්ත්වයට පත් වෙලා. පොලිසියට පැමිණිල්ලක් දානවද නැද්ද? මෙයින් අපට තියෙන ප්‍රයෝජනය මොකක්ද? කියල හිතන මට්ටමට මිනිස්සු පත් වෙලා.
විශේෂයෙන් දිසා අධිකරණවල නඩු පවරද්දි මිනිස්සු නැවත නැවත හිතනවා. ඉඩම් නඩුවක්, බෙදුම් නඩුවක් මුදල් නඩුවක් දාගෙන මම කොහොමද විසඳගන්නෙ? කොච්චර කාලයක් යයිද? කියල මිනිස්සුන්ට හිතන්න වෙලා තියෙනවා. ඒ නිසා මිනිස්සුන්ට වෙනත් ක්‍රමවලින් විසඳ ගන්න සිද්ධවෙලා.
අධිකරණ අමාත්‍යංශ සංඛ්‍යා ලේඛන අනුව, 2921. 12. 31 ( 2021 වෙනකම් විතරයි දැනට තියෙන්නෙ ) දැනට සියලු උසාවිවල නඩු කටයුතු අවසන් නැතුව නඩු දසලක්ෂ අනූහය දහස් එකසිය දහඅටක් ( 1096118 ) තියෙනව. ඒකෙන්, සාමාන්‍ය ජනයා වැඩි වශයෙන් සම්බන්ධ වෙන මහේස්ත්‍රාත් උසාවිවල හත්ලක්ෂ හැත්තෑතුන් දහස් දෙසිය තිස්දෙක ( 773232 ) ක්. දිසා අධිකරණවල දෙලක්ෂ පනස්නමදහස් නමසිය හතරක් ( 259904 ) තියෙනව. මේක ඉතාම බරපතළ තත්ත්වයක් . මේක මිනිස්සු නීතිය පිළිබඳ නීතියේ පාලනය පිළිබඳ විශ්වාසයෙන් ගිලිහෙන තත්ත්වයක් . මිනිස්සුන්ට සහනය , යුක්තිය , පතන්න තියෙන අධිකරණයේ නඩු සෑහෙන කාලයක් ප්‍රමාද වෙනවා. 2019 සංඛ්‍යා ලේඛන ගත්තොත් හත් ලක්ෂ හැත්තෑතුන් දහස් දෙසිය හැත්තෑඑකක් ( 773271 ) නඩු කටයුතු ඉතුරු වෙලා තියෙනවා .2020 -නමලක්ෂ දෙදාස් එකසිය හැටයි ( 920160 ) 2021 – දසලක්ෂ අනූහය දහස් එකසිය දහඅටයි ( 1096118 ) මේ අනුව එන්න එන්නම ප්‍රමාණය වැඩි වෙලා. මේ වැඩි වීමත් එක්ක , අධිකරණ පද්ධතිවල නඩු අවසන් කිරීම තව තවත් ප්‍රමාද වෙනවා.
අපි මාතෘකාව විදිහට ගත්තු යුක්තිය ප්‍රමාදය , යුක්තිය ප්‍රතික්ෂේප වීම කියන එක ගැන එංගලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය නීතිවේදී විලියම් ග්ලැස්ටෝන් කීවෙ එක්දාස් අටසිය ගණන්වල. අපි ඉන්නෙ 21වන සියවසේ. අපට දැනටත් යුක්තිය ප්‍රමාද වීම ගැන කතාකරන්න සිද්ධ වෙලා තියෙනවා. යුක්තිය ප්‍රමාද වීම නිසා සිද්ධ වුණු විනාශය ගැන කතා කරන්න වෙලා තියෙනවා.
විශේෂයෙන් අතුරුදන් කිරීම් ගත්තොත් දරුවන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවී මවුවරු මිය ගිහින් තියෙනවා. මෙය යුක්තිය ප්‍රතික්ෂේප වීමක්.
සාමාන්‍ය ජනතාව දාන නඩු කටයුතුත් ඒ අයගෙ ජීවිත අවසන් වුණාම අවසන් වන අවස්ථා ඕන තරම් තියෙනවා . මිනිස්සු මියැදිල දරුවන්ගෙ කාලෙ තමයි යුක්තිය ඉටු වෙන්නෙ. .
විශෙශ්ෂයෙන් අපරාධ , ළමා අපචාර නඩු ඉතාම ඉක්මනින් අවසන් කළ යුතු නමුත් ඒ ළමයින්ගෙ වයසත් ගිහිල්ල සාක්ෂි දීම ඒ ළමයින්ගෙ ජීවිතවලට නැවත ප්‍රශ්න ඇති කරන මට්ටමට පත් වෙලා තමයි අවසන් වෙන්නෙ. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී දැනට අධිකරණ පද්ධතියේ තියෙන්නේ ඉතාම කනගාටුදායකය තත්ත්වයක් .
නීතිඥ දුලාන් දසනායක
( කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී කළ කතාවකි )