මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සඳහා පනතක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ නව පනත් කෙටුම්පතක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ

මෙහි අරමුණු ලෙස දක්වා ඇත්තේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසමක් පිහිටුවීම, ශ්‍රී ලංකාවේ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය තහනම් කිරීම, තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම, සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඩපැවැත්වීම ඇතුළු ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීමය.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වරදක් සිදුකරන අවස්ථාවකදී, රජයට හෝ මෙරට පදිංචි තැනැත්තෙකුට හානියක් සිදුවේ නම් කවර ස්ථානයකදී සිදුකරනු ලැබුව ද පනතේ විධිවිධානවලට අනුව පියවර ගැනීමට මෙමගින් අවස්ථාව සලසා තිබේ.

මෙලෙස මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පියවරගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත කොමිෂන් සභාවක් පිහිටුවීමට පනත් කෙටුම්පතින් යෝජිත ය..

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පරිශීලකයන් හට සමාජ මාධ්‍ය වේදිකා සපයනු ලබන වෙබ් අඩවි, මෙම පනත යටතේ ලියාපදිංචි කළ යුතු වෙයි.

මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රකෝප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කැරලි ගැසීමේ වරද සිදුකර ඇත්නම්,  ප්‍රකෝප කළ තැනැත්තා නව පනතට අනුව අවුරුදු 05ක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකටද, නැතිනම් ඒ දඬුවම් දෙකටම යටත් කළ හැකිය.

මාර්ගගත ක්‍රමවේද භාවිත කරමින් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම මගින් නිත්‍යානුකූලව සිදුවන ආගමික වැඳුම් පිදුම් කිරීමකට හෝ ආගමික පූජාවන්ට බාධා කරන්නේ නම් එවැනි තැනැත්තෙක් වසර 03ක් නොඉක්මන කාලයක බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට හෝ ඒ දෙයාකාරයේම දඬුවමකට යටත් කළ හැකිය.

ඉලක්කගත තැනැත්තෙකුගේ හෝ එම තැනැත්තාට සම්බන්ධ තැනැත්තෙකුගේ යම් පෞද්ගලික තොරතුරක් මාර්ගගත ගිණුමක් මගින් පළ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදාළ තැනැත්තාට හිරිහැරයක් සිදුකරවන සිදුවීමකට වරදකරු කරනු ලැබු තැනැත්තෙකුට වසර 05ක් නොඉක්මවන කාලයකට බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් ලක්ෂ 05 නොඉක්මවන දඩයකට යටත් කිරීමට මෙම නව පනත තුළින් ප්‍රතිපාදන සකස් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *