මුදල් බලය පාර්ලිමේන්තුවට තිබිය දී මහ බැංකුව මූල්‍ය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම වරදක් – වජිර අබේවර්ධන

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මුල්‍ය බලය හිමි පාර්ලිමේන්තුවට බවත්, එම ව්‍යවස්ථා උල්ලන්ම්ඝනය කරමින් මහ බැංකුව මූල්‍ය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම නිසා සමස්ථ රටක් අසාර්ථකත්වයට පත් වුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත්කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

කමිටුවට  අදහස් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වජිර අබේවර්ධන මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කැදවා තිබුණි.

මෙහිදී මූල්‍ය බංකොලොත්භාවය සම්බන්ධ‌යෙන් 2022 සැප්තැම්බර් 01 දින සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමසා සිටීම සිදු විය.

මෙහිදී අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතු වන බවත් වැරදි ක්‍රියාවලියකට අනුව 2022.04.12 දින මහ බැංකුව විසින් මෙරට මූල්‍ය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ බවත්ය. මේ නිසා සමස්ථ රටම අපහසුතාවයට පත්වූ බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම 2022 වර්ෂයේ පළමු කාර්තුවේදී ඩොලර් බිලියන 3.9 ගෙවීමට තිබුණ බවත් 2022 අප්‍රේල් 08 වන විට ඩොලර් බිලියන 3.2 ක් ගෙවා තිබූ බවත් වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය. මේ අනුව අප්‍රේල් 12 දින වන විට ඩොලර් මිලියන 70 පමණ චීනයට ගෙවීමට තිබුණ බවත් මෙම වපසරිය තුළ අප්‍රේල් 12 දින කිසිදු විපරමකින් තොරව මහ බැංකුව විසින් මූල්‍ය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ බවත් හෙතෙම පෙන්වා දුන්නේය. මෙය වැරදි ක්‍රියාවලියක් බවත් මෙය සිදු නොවිය යුත්තක් බවත් මේ අවස්ථාවේ පෞද්ගලික අංශයෙන් සහය ලබාගෙන මෙම මුදල් ගෙවීමට හැකියාව තිබුණ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ නිසා මෙම අවස්ථාවේ රටේ ඇතිවී ඇති තත්ත්වයට මහ බැංකුවේ නිලධාරීන් විශාල පිරිසක් වගකිව යුතු බවත් ඇතැම් පුද්ගලයින් මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව පාර්ශ්වයේ නොසිටි බවත් හෙතෙම පෙන්වා දුන්නේය. මේ නිසා ශ්‍රි ලංකාව පැත්තේ හිටගන්න පුද්ගලයන් ඉහළ පුටුවල වාඩිකරීමට කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙහිදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී 2022 අප්‍රේල් 08 දින පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශයක් උපුටා දැක්වීමද සිදු කළේය. තවද මෑතකදී ඉදිරිපත් කළ මහබැංකු පනතට ශේෂ්ඨාධිකරණයෙන් සංශෝධන 70 පමණ ඉදිරිපත්වීම පිළිබඳවද හෙතෙම මෙහිදී අදහස් දැක්වීය.

එසේම මෙහිදී අදහස් දක්වමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දුන්නේ මූල්‍ය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම දීර්ඝකාලීනව කණ්ඩායම් කිහිපයක් කළ උත්සාහයක ප්‍රතිඵලයක් බවයි. නව මහ බැංකු අධිපතිවරයා පත්වී පළමු දිනයේම එනම් අප්‍රේල් මස 12 දින මූල්‍ය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ බවයි. මෙය කිසිම ජාතික හෝ ආයතනික මට්ටමේ සාකච්ඡාවකින් තොරව සිදු කළ ණය පැහැරහැරීමේ ප්‍රකාශයක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේ අනාගතයේදී මෙවැනි දෙයක් සිදු නොවීමට මෙම කාරණය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීම වැදගත් වන බවයි.

මෙම කාරක සභා රැස්වීම සඳහා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු එස්.බී. දිසානායක, ජයන්ත කැටගොඩ, ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්ම මහතිමීහු ද සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *