|

බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ කුමක්ද? – ඉකොනොමැට්ටා

මෙය පාඨකයින් කිහිප දෙනෙකුගේම ඉල්ලීම් අනුව, දේශීය ණය ප්රශස්තකරණ ක්රියාවලිය තුළ සිදු වූ දේ පිළිබඳව කරන සරල පැහැදිලි කිරීමක්. මෙම කරුණු මීට පෙර වරින් වර පැහැදිලි කර ඇතත්, අප හා පසුව එක් වූ බොහෝ දෙනෙකු සතුව තවමත් මේ හා අදාළ මූලික තාක්ෂණික දැනුම නැති නිසා, ඔවුන්ට මෙම ලිපිය උදවුවක් වේයැයි සිතනවා.
බැඳුම්කරයක් කියන්නේ කුමක්ද?
බැඳුම්කරයක් කියන්නේ කිසියම් රජයක් හෝ සමාගමක් විසින් නිකුත් කරන ණය උපකරණයක්. මෙවැන්නක් වෙළඳපොළේ විකිණීම මගින් රජයක් හෝ සමාගමක් විසින් තමන්ගේ අරමුදල් හිඟ පියවා ගන්නවා. ඕනෑම බැඳුම්කරයක “මුහුණත අගයක්” සහ “කල් පිරෙන දිනයක් තිබෙනවා”.
මුහුණත අගය – කල් පිරෙන දිනයේදී බැඳුම්කරයේ අයිතිකරුට ලැබෙන මුදලක්
කල් පිරෙන දිනය – බැඳුම්කරකරයේ අයිතිකරුට එහි මුහුණත අගයට සමාන මුදලක් ආපසු ලැබෙන අනාගත දිනයක්.
කූපන් බැඳුම්කරයක් කියන්නේ කුමක්ද?
කූපන් රහිත බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට අනාගතයේදී ලැබෙන්නේ එහි මුහුණත වටිනාකම පමණයි. එහෙත්, කූපන් බැඳුම්කර සඳහා කල් පිරෙන දිනය දක්වා කිසියම් “කූපන් පොලියක්” ලැබෙනවා. මෙම කූපන් පොලිය බැඳුම්කරයක මුහුණත වටිනාකමේ ප්රතිශතයක්. සාමාන්යයෙන් වසරකට දෙවරක් කූපන් පොලී ගෙවනවා. මෑතකදී සිදු වූ බැඳුම්කර හුවමාරුවට පෙර ශ්රී ලංකා රජය විසින් නිකුත් කර තිබුණු ස්වෛරිත්ව බැඳුම්කර හා භාණ්ඩාගාර බැඳුම්කර සියල්ලද, සංවර්ධන බැඳුම්කර වලින් වැඩි ප්රමාණයක්ද නිකුත් කර තිබුණේ ස්ථාවර හා කාලයත් සමඟ වෙනස් නොවන කූපන් පොලියක් යටතේයි.
උදාහරණයක් ලෙස, 2015 මාර්තු 1 දින රුපියල් මිලියන 10,058ක මුහුණත වටිනාකමැති භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනු ලැබුවා. මෙම බැඳුම්කර කල් පිරෙන්නේ වසර 30කට පසුව 2045 මාර්තු 1 දිනයි. එම කාලය අතරතුර බැඳුම්කරහිමියන්ට 12.5%ක වාර්ෂික කූපන් පොලියක් ලැබෙනවා. රුපියල් සියයක මුහුණත් අගයක් සඳහා වරකට රුපියල් 6.25 බැගින් වසරකට දෙවරක් මෙම කූපන් පොලී ආදායම ඔවුන්ට ලැබෙනවා. බැඳුම්කරයක් නිකුත් කිරීමෙන් පසුව එහි මුහුණත අගය, කල් පිරෙන දිනය හෝ කූපන් පොලිය ගෙවන ක්රමය වෙනස් වෙන්නේ නැහැ.
ඇතැම් බැඳුම්කර සඳහා ලබා දෙන කූපන් පොලිය කල් පිරෙන කාලය තුළ වෙනස් විය හැකියි. උදාහරණයක් ලෙස හුවමාරු පදනම මත පසුගිය සතියේදී නිකුත් කළ 2027 මාර්තු 15 දින කල් පිරෙන බැඳුම්කර සඳහා වසර තුනක් යන තුරු 12%ක කූපන් පොලියක්ද අවසන් වසරේදී 9%ක කූපන් පොලියක්ද හිමිවෙනවා. මෙය ස්ථාවර, එහෙත් කාලයත් සමඟ වෙනස් (අඩු) වන කූපන් පොලී ක්රමයක්.
ඇතැම් විට විචල්ය කූපන් පොලී යටතේද බැඳුම්කර නිකුත් කරනවා. ඇතැම් සංවර්ධන බැඳුම්කර නිකුත් කර තිබුණේ මෙම ක්රමයටයි. සංවර්ධන බැඳුම්කර සමඟ හුවමාරුවට මෑතකදී නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළේද විචල්ය කූපන් පොලියක් යටතේයි. එම බැඳුම්කර වෙනුවෙන් ලැබෙන කූපන් පොලිය මහ බැංකුවේ ප්රතිපත්ති පොලී අනුපාතික වෙනස් වන ආකාරය අනුව වෙනස් වෙනවා.
භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගත හැක්කේ කෙසේද?
වාණිජ බැංකු වලට, ප්රාථමික අලෙවිකරුවන්ට හා සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන වලට භාණ්ඩාගාර බැඳුම්කර මුලින්ම වෙළඳපොළට නිකුත් කරන විට තරඟකාරී මිලකට වෙන්දේසියෙන් ඒවා මිල දී ගත හැකියි. මෙය භාණ්ඩාගාර බැඳුම්කර ප්රාථමික වෙළඳපොළ ලෙස හැඳින්වෙනවා. වෙනත් පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවශ්යනම් බැංකුවක් හෝ ප්රාථමික අලෙවිකරුවෙකු හරහා ප්රාථමික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගත හැකියි. ඉදිරියේදී වෙනස් වීමට නියමිතව ඇතත්, ශ්රී ලංකා රජය වෙනුවෙන් මේ අයුරින් භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳපොළට නිකුත් කරන්නේ ශ්රී ලංකා මහ බැංකුව යටතේ ඇති රාජ්ය ණය දෙපාර්තමේන්තුවයි.
අයුරින් කවුරු හෝ විසින් මිල දී ගන්නා භාණ්ඩාගාර බැඳුම්කරයක් අවශ්යනම් කල් පිරෙන තුරු තියා ගන්න පුළුවන්. එසේ නැත්නම්, කල් පිරෙන්නට පෙර වෙනත් අයෙකුට විකුණන්න පුළුවන්. බැඳුම්කරයක් කල් පිරෙද්දී එහි මුහුණත අගය ලැබෙන්නේ අවසන් අයිතිකරුටයි. මෙසේ කලින් මිල දී ගත් බැඳුම්කර ගනුදෙනු වන වෙළඳපොළ භාණ්ඩාගාර බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ලෙස හැඳින්වෙනවා. මෙය වාහන වල “සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක” වැනි ඉතා සක්රිය වෙළඳපොළක්. කෙසේ වුවද, මෙවැනි ද්වීතියික වෙළඳපොළ ගනුදෙනු සිදුවන්නේද බැංකු හෝ ප්රාථමික අලෙවිකරුවන් හරහායි. එම ගනුදෙනු සියල්ල එසැණින් මහ බැංකුවේ සටහන් වන නිසා අයිතිය පිළිබඳ අර්බුදකාරී තත්ත්වයන් ඇති වන්නේ නැහැ. කූපන් පොලී ගෙවන කිසියම් දිනයක බැඳුම්කරයක නීත්යනුකූල අයිතිකරුට එහි කූපන් පොලී ආදායම ලැබෙනවා.
භාණ්ඩාගාර බැඳුම්කරයක ප්රතිලාභය එහි කූපන් පොලියද?
ස්ථිර තැන්පතු ගිණුමක ප්රතිලාභය එහි පොලී අනුපාතයට සමානයි. එහෙත්, භාණ්ඩාගාර බැඳුම්කරයක අයිතිකරුට ලැබෙන ප්රතිලාභය එහි කූපන් පොලියට සමාන නැහැ. ප්රතිලාභය තීරණය වන්නේ යම් කිසි පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගැනීම සඳහා ගෙවූ මුදල මතයි. 12%ක වාර්ෂික කූපන් පොලියක් ගෙවන බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත් අගයක් රුපියල් 100 බැගින්ම මිල දී ගත් අයෙකුට හරියටම 12%ක ප්රතිලාභයක් ලැබෙනවා. එහෙත්, බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත අගයක වෙළඳපොළ මිල හරියටම රුපියල් 100ක් වීම ඉතා කලාතුරකින් පමණක් සිදු වන දෙයක්.
බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත අගයක් රුපියල් 80කට (අවමිලට) මිල දී ගත් අයෙකුට මෙන්ම එයම රුපියල් 120කට (අධිමිලට) මිල දී ගත් අයෙකුටද කූපන් පොලී ලෙස වසරකට ලැබෙන්නේ රුපියල් 12ක එක සමාන මුදලක්. පළමුවැන්නාට මෙහි 15%ක ප්රතිලාභයක් ඇති නමුත් දෙවැන්නාගේ ප්රතිලාභය 10%ක් පමණයි.
භාණ්ඩාගාර බැඳුම්කරයක ප්රතිලාභ ලබා ගැනීමට එය කල් පිරෙන තුරු සිටිය යුතුද?
ඉහත පැහැදිලි කළ පරිදි කූපන් සහිත භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගත් දින සිටම මාස හයකට වරක් කූපන් පොලී ආදායම් ලැබෙනවා. එහෙත්, එහි මුහුණත අගය ලැබෙන්නේ කල් පිරුණු විටයි. බැඳුම්කරය මිල දී ගෙන තිබෙන්නේ අධිමිලටනම් එහිදී ආපසු ලැබෙන්නේ යට කළ මුදලට වඩා අඩු මුදලක්. අවමිලට මිල දී ගත් අයෙකුට එහිදී වැඩි මුදලක් ආපසු ලැබෙනවා. කෙසේ වුවත්, බැඳුම්කර හිමිකරුවෙකුට බැඳුම්කරයක් කල් පිරෙන්නට පෙර ඕනෑම වෙලාවක එය ද්වීතියික වෙළඳපොළේ විකුණා මුදල් කළ හැකියි. එහිදී සිදුවන ලාබය හෝ අලාබය තීරණය වන්නේ ඒ මොහොතේ වෙළඳපොළ මිල සහ තමන් මිල දී ගත් මිල මතයි. මෙය අලුත් හෝ පරණ වාහනයක් මිල දී ගෙන නැවත විකිණීමට සමාන දෙයක්.
භාණ්ඩාගාර බැඳුම්කර වල වෙළඳපොළ මිල වෙනස් වෙන්නේ කොහොමද?
සාමාන්ය මූලධර්මයක් ලෙස වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන විට භාණ්ඩාගාර බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල පහළ යනවා. පොලී අනුපාතික අඩු වන විට බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල ඉහළ යනවා. මෙය තේරුම් ගන්න අපහසු නැහැ. භාණ්ඩාගාර බැඳුම්කරයක් සඳහා ලැබෙන කූපන් පොලිය 12%ක් කියා අපි හිතමු. වෙළඳපොළ පොලී අනුපාතික 10% දක්වා අඩු වුනොත්, ඊට වඩා වැඩි කූපන් පොලියක් ගෙවන 12% බැඳුම්කර සඳහා ඉල්ලුම වැඩි වෙනවා. ඒ අනුව, එහි මිල ඉහළ යනවා. වෙළඳපොළ පොලී අනුපාතික 15% දක්වා වැඩි වුනොත්, 12% කූපන් බැඳුම්කර වලට තිබෙන ඉල්ලුම අඩු වී මිල පහළ යනවා.
බැඳුම්කරයක කූපන් පොලිය කීයක් වුනත් ඉහත සංසිද්ධියේ වෙනසක් නැහැ. වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන විට භාණ්ඩාගාර බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල පහළ යනවා. පොලී අනුපාතික අඩු වන විට බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල ඉහළ යනවා. කෙටි කාලයක් තුළ විශාල ලෙස පොලී අනුපාතික ඉහළ ගිය නිසා 2022 වසර අවසන් වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් මිල දී ගෙන තිබුණු මුළු භාණ්ඩාගාර බැඳුම්කර තොගයේ වටිනාකම 40%කින් අඩු වී තිබුණා. බැංකු ඇතුළු අනෙකුත් ආයතන සතු වූ බැඳුම්කර වල මිලද මේ අයුරින්ම පහත වැටී තිබුණා. එය වාහන මිල අඩු වෙද්දී කොයි වාහනයේ මිලත් අඩු වෙනවා වගේ වැඩක්. කෙසේ වුවත්, උද්ධමනය අඩු වෙද්දී සහ දේශීය ණය ප්රසස්ථකරණ යෝජනා ප්රකාශයට පත් වෙද්දී ද්වීතියික වෙළඳපොළෙහි බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ ගියා.
භාණ්ඩාගාර බැඳුම්කර ප්රසස්ථකරණයේදී සිදු වුනේ කුමක්ද?
භාණ්ඩාගාර බැඳුම්කර ප්රසස්ථකරණයේදී දැනට නිකුත් කර තිබෙන කිසිදු භාණ්ඩාගාර බැඳුම්කරයක මුහුණත අගය කප්පාදු කරනු ලැබුවේ නැහැ. එමෙන්ම, දැනට නිකුත් කර තිබෙන කිසිදු භාණ්ඩාගාර බැඳුම්කරයක කූපන් පොලී කප්පාදු කරනු ලැබුවේද නැහැ. කවුරු හෝ එසේ කියනවානම් එය දැන හෝ නොදැන ප්රචාරය කරන වැරදි තොරතුරක්. මෙහිදී ඇත්තටම සිදු වුනේ දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර ස්වේච්ඡාවෙන් අලුතෙන් නිකුත් කරන බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමක්. මේ වන විට මෙම හුවමාරුව අවසන් වී තිබෙනවා.
 
මෙම හුවමාරුව සිදු කිරීම නිසා එසේ කළ අයට පාඩුවක් වී තිබේද?
හුවමාරු කර ගැනීමේදී රජයට ආපසු භාර දුන් සියලුම බැඳුම්කර වල මේ මොහොතේ (පසුගිය සිකුරාදා දින) වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,002.7ක්. නිකුත් කර තිබූ බැඳුම්කර සියල්ලම රජය විසින් ආපසු ලබාගත්තේනම් අපට හුවමාරුවෙන් පසුව එම බැඳුම්කර වල වටිනාකම හරියටම දැනගන්න ලැබෙන්නේ නැහැ. කළ හැක්කේ උපකල්පන කිරීම පමණයි. සංවර්ධන බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ එවැන්නක්. නමුත්, මෙහිදී හුවමාරු කර ගැනුණේ මුළු බැඳුම්කර ප්රමාණයෙන් 37%ක් පමණක් නිසා එසේ හුවමාරු කර ගැනුණු බැඳුම්කර සියල්ලෙන්ම යම් ප්රමාණයක් (සමස්තයක් ලෙස බැඳුම්කර වලින් 63%ක්) තවමත් වෙළඳපොළේ තිබෙනවා. ඒ නිසා, අපට පහසුවෙන්ම මේ අයුරින් රජය විසින් ආපසු ලබාගත් බැඳුම්කර වල වටිනාකම හරියටම දැනගන්න පුළුවන්. එම වටිනාකම (හුවමාරුව සිදුවීමෙන් පසුව) රුපියල් බිලියන 3,002.7ක්. ඒ වෙනුවට, අලුතෙන් ලැබුණු බැඳුම්කර වල මේ මොහොතේ (පසුගිය සිකුරාදා දින) වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,007.1ක්. ඒ අනුව, මෙම හුවමාරුවෙන් එම හුවමාරුවට එකඟ වූ පාර්ශ්ව වලට කිසිදු පාඩුවක් වී නැති බව ඉතාම පැහැදිලියි.
සරල උදාහරණයක් ගත්තොත් රජය විසින් කළේ වෙළඳපොළේ තිබුණු තැඹිලි අරගෙන ඒ වෙනුවට කුරුම්බා දෙනවා වගේ වැඩක්. රජය විසින් වෙළඳපොළේ තිබුණු තැඹිලි සියල්ලම එකතු කරගත්තානම් එම තැඹිලි වල දැන් මිල කීයක් විය හැකිව තිබුණාද යන්න ගැන උපකල්පන කරමින් විවිධ අයට පාඩුව ගණන් හැදිය හැකිව තිබුණා. විගණකාධිපති විසින් 2015 බැඳුම්කර නිකුතුවේ පාඩුව ගණන් හැදුවේ මේ විදිහට. මේ වගේ අවස්ථාවක කවුරු හෝ විසින් කරන උපකල්පන වැරදි බව ඉතා පැහැදිලි වුනත් එය ඔප්පු කරන්න අමාරුයි. නමුත් බැඳුම්කර හුවමාරුවේදී රජය විසින් වෙළඳපොළේ තිබුණු තැඹිලි සියල්ලම එකතු කර නොගත් නිසා දැන් අපට තැඹිලි මිල මෙන්ම කුරුම්බා මිලද පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුව, ලාබ පාඩු බලා ගත හැකියි. ඒ සඳහා, තැඹිලි මිල කීයක් විය හැකිව තිබුනාද කියා උපකල්පනය කරන්න අවශ්ය නැහැ.
හුවමාරුවෙන් පාඩුවක් වුනේ නැත්නම් බැංකු හා අනෙකුත් ආයතන තමන්ගේ බැඳුම්කර හුවමාරු කරගන්න ඉල්ලුම් නොකළේ ඇයි?
බැඳුම්කර ලෙස පොදුවේ කතා කළත් සියලුම බැඳුම්කර සමාන නැහැ. ලිපියේ මුලින්ම විස්තර කළ පරිදි, බැඳුම්කර ඒවායේ කල් පිරීමේ කාලය අනුව එකිනෙකට වෙනස් වෙනවා. වෙළඳපොළේ වූ බැඳුම්කර 2023 සිට 2045 දක්වා කල් පිරෙන ඒවා.
ඕනෑම විශ්රාම පාරිතෝෂික අරමුදලක් විසින් බැඳුම්කර මිල දී ගන්නේ දිගුකාලීන ආයෝජනයක් ලෙසයි. ඒ නිසා, ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ හැකි තරම් දිගු කාලයකට ආයෝජනය කරන්නයි. එයින් වෙනස්ව, බැංකු විසින් කරන්නේ හදිසියකට මුදල් කිරීම සඳහා වසර කිහිපයකට බැඳුම්කර වල ආයෝජනය කරන එකයි. හුවමාරුවේදී අලුතෙන් නිකුත් කෙරුණු බැඳුම්කර වර්ග 12 කල් පිරෙන්නේ 2027 සිට 2038 දක්වා කාලය තුළයි. එම කාලය රජයට ජාත්යන්තර මූල්ය අරමුදලේ ඇස්තමේන්තු අනුව ආදායම් වැඩි කරගෙන ණය ආපසු ගෙවිය හැකි කාලයයි.
තමන්ගේ අරමුදල් ආපසු ලබා ගැනීම සඳහා වසර 3 සිට වසර 15 දක්වා කාලයක් (සාමාන්ය වශයෙන් වසර 9ක කාලයක්) බලා සිටීම විශ්රාම පාරිතෝෂික අරමුදලකට ප්රශ්නයක් නෙමෙයි. එහෙත්, බැංකු වලට හා අනෙකුත් ව්යාපාරික ආයතන වලට කොයි තරම් ඉහළ ප්රතිලාභයක් ලැබුනත් තමන්ගේ මුදල් එවැනි දීර්ඝ කාලයකට හිර කිරීමේ හැකියාවක් නැහැ. ඊට අමතරව, මෙම හුවමාරුවෙන් පාඩුවක් වේද නොවේද යන්න පිළිබඳව හුවමාරුවට පෙර හරියටම දැනගත හැකි ක්රමයක් තිබුණේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ යමෙක් අවදානමක් ගන්නේ කලාතුරකින්. දැන් තත්ත්වය අනුව බැලුවත්, පාඩුවක් සිදු වී නැතත් ගිණිය හැකි තරමේ ලාබයක්ද සිදු වී නැහැ.
ගහේ තැඹිලි වල්ල මෝරන තුරු සිට තැඹිලි-පොල් පොල් විදිහට ප්රයෝජනයට ගන්න ඉන්න කෙනෙක් අකැමැත්තක් නැතුවම තමන්ගේ තැඹිලි වල්ල පොල් වෙනුවට හුවමාරු කර ගන්නවා. නමුත්, තැඹිලි වල්ල මෝරන්න කලින් බාගන්න බලාගෙන ඉන්න කෙනෙක්ට තැඹිලි වෙනුවට මෝරපු පොල් වැඩක් නැහැ.
පාඩුවක් නැතිව හුවමාරුව කළ හැකි වීනම් රජය විසින් විශ්රාම පාරිතෝෂික අරමුදල් මත 30% බද්දක් පැනවූයේ ඇයි?
මෙය ඔවුන්ව පොළඹවා ගැනීම සඳහා කළ දෙයක් බව ඉතාම පැහැදිලියි. මෙම බද්ද පැනවුයේ නැතත් විශ්රාම පාරිතෝෂික අරමුදල් විසින් යම් බැඳුම්කර ප්රමාණයක් හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කරනවා. බද්ද පැනවීමෙන් පසුවද බදු සහනය ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම හුවමාරු කළ යුතු නැති බැඳුම්කර වර්ග ගණනාවක්ද හුවමාරු කර ගැනීම සඳහා විශ්රාම වැටුප් අරමුදල් හා වෙනත් අය විසින් අයැදුම් කර තිබීමෙන් එය පැහැදිලි වෙනවා. එසේ වුනානම් ඔවුන් කරන්නේ වැඩි වෙළදපොළ මිලක් තිබෙන බැඳුම්කර ඉතිරි කරගෙන අඩු මිලක් ඇති ඒවා පමණක් හුවමාරු කර ගැනීම සඳහා අයැදුම් කරන එකයි. එය ලොකු තැඹිලි තියාගෙන පොඩි තැඹිලි පමණක් කුරුම්බා සමඟ හුවමාරු කරගන්නවා වගේ වැඩක්. එවැන්නක් වුනානම්, එයින් රජයට විශාල පාඩුවක් වෙනවා. 30% බද්ද පැනවීම මගින් රජය කළේ අයැදුම් කිරීමට පෙර එසේ “බැඳුම්කර තේරීම” පාලනය කරන එකයි.
අනාගතයේ පොලී අනුපාතික ඉහළ ගියොත් මේ හුවමාරුව කළ අයට පාඩුවක් වෙන්නේ නැද්ද?
අනිවාර්යයෙන්ම පාඩුවක් වෙනවා. නමුත්, එය දිගුකාලීන ආයෝජන කිරීමේදී ගන්න වෙන සාමාන්ය අවදානමක් මිසක් බැඳුම්කර හුවමාරුව නිසා සිදු වන පාඩුවක් නෙමෙයි. දැනට පවතින වෙළඳපොළ මිල කියන්නේ අනාගතයේ සිදු විය හැකි ලාබ පාඩු සියල්ල පිළිබඳ මේ මොහොතේ තිබෙන නිවැරදිම පිළිබිඹුවයි. වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ ගියහොත් හුවමාරුවට ලැබුණු බැඳුම්කර වල මිල පහත වැටිය හැකියි. වෙළඳපොළ පොලී අනුපාතික පහළ ගියහොත් එම මිල ඉහළ යා හැකියි. පොලී අනුපාතික ඉහළ යා හැකි බව පෙනේනම් මේ අවස්ථාවේදී මෙම බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකුණා මුදල් කිරීම මගින් අනාගතයේ සිදු විය හැකි පාඩුව වලක්වා ගත හැකියි. නමුත් යම් හෙයකින් පොලී අනුපාතික අඩු වුවහොත් ලැබෙන්නේ ප්රතිවිරුද්ධ ප්රතිඵලයයි.
විශ්රාම පාරිතෝෂික අරමුදල් වලට පාඩුවක් වී නැත්නම් රජයේ ණය අඩු වුනේ කොහොමද?
බැඳුම්කර හුවමාරුව නිසා රජයේ ණය අඩු වෙන්නේ නැහැ. එය වැරදි අවබෝධයක් හෝ බොරු කතාවක්. සිදු වෙන්නේ ණය බර අඩුවීමක් මිසක් ණය අඩු වීමක් නෙමෙයි. ඔබේ වැටුප රුපියල් 25,000ක්නම්, නිවාස ණය වාරිකය රුපියල් 10,000ක් නම්, බැංකුව සමඟ කතා කර එම ණය වාරිකය රුපියල් 8,000ක් කර ගත් විට ඔබේ ණය බර අඩු වෙනවා. නමුත්, එයින් ඔබේ ණය අඩු වෙන්නේ නැහැ. ඔබට එම වාරිකය වැඩි කාලයක් ගෙවන්න සිදු වෙනවා. ඒ නිසාම, බැංකුවට පාඩුවක් වෙන්නෙත් නැහැ.
මේ වැඩේට සේවක අර්ථසාධක අරමුදල පමණක් ගාව ගත්තේ ඇයි?
අසත්ය ප්රකාශයක්. හුවමාරු කෙරුණු රුපියල් බිලියන 3,264.5ක බැඳුම්කර ප්රමාණයෙන් සේවක අර්ථසාධක අරමුදලේ කොටස රුපියල් බිලියන 2,667.5ක් පමණයි.
මීට අමතරව ඉදිරියේදී වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් කපනවද?
පට්ටපල් බොරුවක්. දැන් භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුව සිදු කර අවසානයි. මීට අමතරව, අනාගතයේදී අරමුදලින් එක සතයක්වත් කැපීමේ සැලසුමක් නැහැ.
ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදල් ටිකෙන් ටික අඩු වී යනවාද?
කිසිසේත්ම නැහැ. සේවක අර්ථසාධක අරමුදල අඩු වශයෙන් තව වසර 20-30ක්වත් යන තුරු වසරින් වසර වර්ධනය වෙනවා. අලුතෙන් ලැබෙන දායක මුදල් එයට එක හේතුවක් වුනත්, එම දායක මුදල් කොටස ඉවත් කළත් අරමුදල වර්ධනය වෙනවා. හුවාමාරු කළ බැඳුම්කර කොටස පමණක් සැලකුවත්, 2023, 2024, 2025 හා 2026 පළමු අර්ධය තුළ 12%ක කූපන් පොලියක් අරමුදලට ලැබෙනවා. එයින් පසුව 9%ක් ලැබෙනවා. මේ අනුව, අරමුදල දිගින් දිගටම ක්රමයෙන් වර්ධනය වෙනවා.
සාමාජිකයින්ට ලැබෙන ප්රතිලාභ වලට කුමක් වෙයිද?
සේවක අර්ථසාධක අරමුදලේ සේවකයින්ට ලැබෙන ප්රතිලාභ තීරණය වන්නේ අරමුදලේ ආයෝජන වලට ලැබෙන ප්රතිලාභ අනුවයි. 2026 දක්වා හුවමාරු කළ බැඳුම්කර වෙනුවෙන් 12%ක කූපන් පොලියක් ලැබෙනවා. මුලින් පැහැදිලි කළ පරිදි මෙම කූපන් පොලිය ගණනය කරන්නේ බැඳුම්කර වල මුහුණත අගය මතයි. හරියටම ගණන් දන්නේ නැතත්, සේවක අර්ථසාධක අරමුදල විසින් බැඳුම්කර බොහොමයක් මිල දී ගෙන තිබෙන්නේ අවමිලට නිසා අරමුදලට ලැබෙන සැබෑ ප්රතිලාභය 12%ට වඩා වැඩියි. 2026න් පසු කාලය සැලකුවද 9%ට වඩා වැඩියි. එහෙත්, සාමාජිකයින්ට ප්රතිලාභ ගෙවන්නට පෙර රජයට 14%ක් බද්දක් ගෙවිය යුතුයි. මෙම කරුණු සැලකිල්ලට ගත් විට 2027 වසර පමණ දක්වා සාමාජික ශේෂ මත 9%ක ප්රතිලාභ ලබා දීමේ ඉඩක් තිබෙන නමුත් ඉන් පසුව එම අනුපාතය තරමක් අඩු විය හැකියි.
මෙය තීරණය වන්නේ රටේ පවතින උද්ධමනය හා පොලී අනුපාතික මතයි. උද්ධමනය අඩු වෙද්දී පොලී අනුපාතික අඩු වෙනවා. පොලී අනුපාතික විශාල ලෙස අඩු වුවහොත් අලුතෙන් එකතු වන දායක මුදල් සහ ආයෝජන ආදායම් නැවත ආයෝජනය කරන්න වෙන්නේ අඩු පොලියකටයි. ඒ අනුව, සාමාජික ප්රතිලාභද අඩු විය හැකියි. උද්ධමනය හා පොලී අනුපාතික ඉහළ මට්ටමක තිබුණොත් ලැබෙන ප්රතිලාභයද ඉහළ යයි. එහෙත්, එය අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන සැබෑ වාසියක් නෙමෙයි. සැබෑ වාසිය වන්නේ උද්ධමනයට වඩා වැඩියෙන් ලැබෙන ප්රමාණයයි. උද්ධමනය 5% ලෙස තිබියදී 8%ක ප්රතිලාභයක් ලැබිය හැකිනම් එය උද්ධමනය 13% මට්ටමේ තිබියදී 15%ක ප්රතිලාභයක් ලැබෙනවාට වඩා වාසිදායකයි.
බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ කුමක්ද?
ECONOMATTA.BLOGSPOT.COM
බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ කුමක්ද?

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *