මානව හිමිකම් කොමිසමේ වැඩට සහය දෙන්නේ නැහැ – ජීනිවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරියගෙන් ප්‍රකාශයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියා මගින් සාමාජික රටවල සම්පත් විනාශ කිරීමක් සිදුවන බැවින් ශ්‍රී ලංකාව එයට සහය නොදෙන බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය මානව හිමිකම් කොමිසමට ප්‍රකාශ කළේය.

මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට ජීනිවා නුවර එක්සත් ජාතින්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන හිමාලි අරුණතිලක මහත්මිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන්  පිළිතුරු ලබාදෙමින් වැඩි දුරටත්  පැවසූවේ , එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව මෙවර ද ප්‍රතික්ෂේප කරනු ලබන බවයි.

එහිදී  අදහස් දැක්වූ ජීනිවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය මෙසේ ද පැවසීය

“ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වගවීමේ ව්‍යාපෘතියක් ඇතිකිරීම සඳහා සම්මත කරගැණුනු 46/1 සහ 51/1 දරන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව ප්‍රතික්ෂේප කරනු ලබනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරයා ඉදිරිපත් කළ ලිඛිත වාර්තාව එහි නිගමනයන් සහ නිර්දේශ ද ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරනවා. සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණය ඇතුළු පිළිගත නොහැකි අන්තර්ගතයන් සහිත අදාළ යෝජනාවලට මූලික වශයෙන්ම එකඟවිය නොහැකි බැවින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සමාජික රටවල් බොහෝමයක් කටයුතු කළා. මෙය මානව හිමිකම් මණ්ඩලයේ සහ එහි සාමාජික රටවල සම්පත් අනවශ්‍ය ලෙස යොදා ගැනෙන නිශ්ඵල ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකාවේ අදහසයි. එබැවින් ඊට අප සහාය නොදක්වන අතර රටට සහ එහි ජනතාවට ප්‍රයෝජනවත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනෙකුත් යාන්ත්‍රණයන්ට පමණක් අප ඵලදායි ලෙස සම්බන්ධවෙනවා. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ මෙම ලිඛිත වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ වත්මන් වාතාවරණය සැබෑ ලෙස නිරූපනය වන්නේ නැහැ. පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව අත්කරගත් ආර්ථික, සාමාජීය සහ මුල්‍ය ස්ථාවරත්වය දේශිය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව තිබෙනවා. ආර්ථික සහ මුල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත තැනැත්තන් පවා ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රකෘතිමත්භාවය පිළිබඳ විශ්වාසයෙන් පසුවනවා.”

ලෙස ජීනිවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය කියා සිටියාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *