උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිගේ ගණන් වැරදියි – කෝප් කමිටුවේ දී හෙළිවෙයි

 රුපියල් 250ක් වැනි මුදලකට ඉන්ධන ලබාදීම සිදුකළ හැකි බවට මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයා රට තුළ ඉන්ධන අර්බුදයක් පැවති අවස්ථාවක සිදුකර තිබූ ප්‍රකාශය අසත්‍යය බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී අනාවරණයවී තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ඊයේ (06) දිනයේදී මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් කැඳවා තිබු අවස්ථාවේ මෙම කරුණු හෙලිදරව් වී තිබේ.

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයා ඉන්ධන අඩු මිලට ලබාදිය හැකි බවට සිදුකර තිබු ප්‍රකාශය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමුවී තිබේ.

ඉන්ධන මිල සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයා සිදුකළ ගණනය කිරීම්වල අඩුපාඩු පැවති බව විගණකාධිපති ඩබ්ලිව්. පී. චූලානන්ද වික්‍රමරත්න මහතා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කොට ඇත.

එහිදී රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන් මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතාගෙන් අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමක් සිදුකර තොරතුරු තහවුරු කරගෙන තිබේ.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයා සිදුකළ අදාළ ප්‍රකාශය අසත්‍යය බවට ජනතාවට කරුණු දක්වන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *