ශ්‍රී ලංකාවට සිංගප්පූරු පාඩම් – සුනන්ද මද්දුමබණ්ඩාර
සිංගප්පූරුව සැලකෙන්නේ ධනවාදී ආර්ථික ක්‍රමය ඉහළින්ම ක්‍රියාත්මක වන රාජ්‍යයක් වශයෙනි. චීනය සමාජවාදි ආර්ථික ක්‍රමය ඉහළින්ම ක්‍රියාත්මක වන රාජ්‍යයක් වශයෙන් හැඳින්විණ. චීනයේ සමාජවාදයේ නිර්මාතෘවරයා වූ මාඕ සේතුන්ගේ අභාවයෙන් පසු බලයට පත් වූ ඩෙන්ග් ෂියාඕපින්ග්ට (Deng Xiaoping) කොමියුනිස්ට්වාදී චීනයේ පැවැති සමාජවා දී ආර්ථික ක්‍රමය වෙනුවට වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් හඳුන්වා දීමට අවශ්‍ය විය. එහෙත් ධනවාදී ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඩෙන්ග්ට පුළුල් වැටහීමක් තිබුණේ නැත.
එනිසා චීනයට වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් හඳුන්වාදීම පිළිබඳව ඩෙන්ග් සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූගෙන් උපදෙස් ලබා ගත්තේය. චීනයේ රාජ්‍ය නිලධාරීන් සිංගප්පූරුවට යවා ධනවාදී ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව හැදෑරීමට නියම කළේය. චීනය ඩෙන්ග් යටතේ වෙළෙඳපොළ ආර්ථිකයකට පරිවර්තනය වෙද්දී ආදර්ශය සැපයූවේ සිංගප්පූරුව විසිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිංගප්පූරුවේ නිල චාරිකාවක යෙදුණේය. ඉතා කෙටි කාලයක් සිංගප්පූරුවේ රැඳී සිටි ජනාධිපතිවරයා සිංගප්පූරු – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව සිංගප්පූරුවේ ජනාධිපති, අගමැති සහ ඇමතිවරුන් සමග සාකච්ඡාවලට සහභාගී විය. පැරිස් සම්මුතියේ 6වැනි වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම ද සංචාරය අතර සිදු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය වන සහයෝගීතාව ලබා ගැනීමේ අරමුණින් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරක යෙදී සිටින බව පෙනේ. ශ්‍රී ලංකාවේ ආර්ථික සම්බන්ධතාවල දී ඉතා වැදගත් වන ඉන්දියාව, ජපානය වැනි රටවල පසුගිය දිනවල දී නිල සංචාරවල යෙදී ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඔහු කටයුතු කළේය.
මේ නිල චාරිකාවල දක්නට ලැබුණු එක්තරා විශේෂත්වයක් පිළිබඳව ද සටහන් කිරීම වැදගත් වනු ඇතැයි සිතමි. විදෙස් සංචාරවල කාලය ඉතාමත් කෙටි කර තිබීම ඉන් එකකි. ජපානයේ ගත කළේ දින 03ක් වන අතර ඉන්දියාවේ ගත කළේ දින 02කි. සිංගප්පූරුවේ චාරිකාව සඳහා යෙදවූ කාලය ද දින 02කි. මීට පෙර රාජ්‍ය නායක චාරිකා හා සැසඳමේ දී ඉතා සුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා තෝරාගනු ලැබ සිටි අතර ප්‍රදර්ශනාත්මක හෝ ප්‍රචාරක වැඩසටහන්වලින් තොරව ඒවා නිම වී ඇත. රජයේ මාධ්‍යවේදීන් හෝ පෞද්ගලික අංශයේ මාධ්‍යවේදීන් කැඳවාගෙන යෑමක් සිදු වූයේ නැත.
මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට සමහර විදේශ රටවල සහාය අවශ්‍ය වී ඇත්තේ අප මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ණය ප්‍රතිව්‍යූහකරණය අත්‍යාවශ්‍ය කොන්දේසියක්ව පවත්නා බැවිනි. ජනාධිපතිවරයා පසුගිය දිනවල සංචාරය කළ ජපානය සහ ඉන්දියාව වැනි රටවල් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය සැපයුම්කරුවෝ වෙති. ණය ප්‍රතිව්‍යූහකරණයේ දී එම රටවල සහාය ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය විය.
ඒ අතරම ආර්ථික අර්බුදයට දිගු කාලීන විසඳුමක් සොයා ගැනීම සඳහා විදේශ රටවල් සමග ආයෝජන ප්‍රවර්ධනය කර ගැනීමට මෙන්ම වෙළෙඳ සම්බන්ධතා පුළුල් කර ගැනීමට ද සිදුවේ. ජනාධිපතිවරයාගේ මෑත කාලීන නිල චාරිකාවල දී මෙම අරමුණු දෙකම ජය ගැනීම මූලික ඉලක්කය වී ඇති බව පෙනේ.
1977 මහ මැතිවරණ අවස්ථාව වන විට ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට ගොදුරු වී සිටියේය. හාල්, සීනි, අල, පරිප්පු, මිරිස්, තුනපහ වැනි ආහාර ද්‍රව්‍ය පමණක් නොව රෙදිපිළි ගොඩනැගිලි ද්‍රව්‍ය ආදී සියලුම භාණ්ඩවල විශාල හිඟයක් පැවතුනි. පාන් රාත්තලක් ගැනීමට පාන්දර සිට බේකරිවල පෝලිම්වල රස්තියාදු වීමට මහජනතාවට සිදු විය.
එවන් තත්ත්වයක සිට ආර්ථිකය නගා සිටුවීමත් මහජනතාවට පීඩාවකින් තොරව ජීවත් වීමට ඉඩ සැලසීමත් මැතිවරණයෙන් දිනන ඕනෑම ආණ්ඩුවක වගකීම බවට පත්විය. මිනිසුන්ගේ ආහාර පාන ලබා දීමත් රට හරි මගට ගැනීමත් ජේ.ආර්. ට ඉටු කිරීමට සිදු වූ වගකීම විය. ඔහු රටේ ගැටලුවලට විසඳුම් ලබා දුන්නේ නිදහස් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය හඳුන්වා දීම මඟින් රට තුළ විශාල ආර්ථික පෙරළියක් ඇති කරමිනි.
ජේ.ආර්. නිර්මාණය කළ මෙම පෙරළිය ආපසු හැරවීමට කිසිවකුටත් නොහැකි විය. ඒ අවස්ථාව වන විට රටේ පැවැති ප්‍රධාන දේශපාලන පක්ෂ කඳවුරු දෙකකට බෙදි තිබුණි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දක්ෂිණාංශික කඳවුර ධනවා දී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමාජවා දී කඳවුර මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළේය.
එසේ වුවද ජේ.ආර්. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසුව රටේ සියලුම දේශපාලන පක්ෂ එම ප්‍රතිපත්තිය පිළිගත් අතර එය වෙනස් කරන බවට කිසිම පක්ෂයක් ප්‍රකාශ නොකරයි. එවැනි තත්ත්වයක් යටතේ 1977 සිට අද දක්වාම ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද 70 ආර්ථික අර්බුදයෙන් පසු රට ගොඩ නැගීම සඳහා ජේ.ආර්. කටයුතු කළ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීමට සිදුව තිබේ. ජේ.ආර්. රට භාර ගන්නා විට ආර්ථිකය බංකොළොත් වී තිබුණේ නැත. එහෙත් රනිල්ට භාර ගැනීමට සිදු වූයේ ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ රටකි.
ලබාගෙන ඇති ණය මුදල් ගෙවිය හැකි ආකාරයකට වෙනස් කරගෙන (ණය ප්‍රතිව්‍යූහකරණය), ණය ද ගෙවමින් ආර්ථිකය තුළ සිදුව තිබෙන පසු බැසීම නවත්වාගෙන ඉදිරියට යෑමට සිදුව තිබේ. එදා ජේ.ආර්. මෙන්ම අද රනිල් ද රටේ ආර්ථිකය වෙනස් කර ඉදිරි ගමන පිළිබඳව සුබදායක දැක්මක් ඇති කර ගැනීමට කටයුතු කරමින් සිටී.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කර දැන් සෑහෙන කලක් ගත වී තිබේ. එසේ වුව ද එම ගිවිසුම තවමත් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම ගිවිසුම ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දුන්නේය. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර සියලු කටයුතු නිදහස්ව සිදු වීමට ඉඩ දුනහොත් එය ශ්‍රී ලංකාව සඳහා බොහෝ ගැටලු ඇති කරනු ඇතැයි සමහර ආර්ථික විද්‍යාඥයන් ද වෙළෙඳුන් ද දේශපාලනඥයන් ද සැක පළ කරන බව පෙනේ.
එසේ වුව ද සිංගප්පූරුව අද ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත්තේ මුල සිටම නිදහස් වෙළෙඳපොළ ක්‍රමයක් මත පදනම් වූ ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිංගප්පූරුව සූදානම් වීම නිසාය. එරට විශාලත්වය වර්ග කිලෝමීටර 734කි. ජන සංඛ්‍යාව මිලියන 5.37කි. වර්ග කිලෝමීටරයක් තුළ ජීවත්වන ජන සංඛ්‍යාව 7804කි.
එය ලොව වැඩිම ජනඝනත්වයයි. රටේ ඇති කුඩා ඉඩ කඩ සහ කුඩා ජන සංඛ්‍යාව හේතුවෙන් මහා පරිමාණ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යෑමට ඇති හැකියාව ඉතා අඩු මට්ටමක පවතී. එහෙත් සිංගප්පූරුව ලෝකයේ ඕනෑම ආයෝජකයකුට, නිෂ්පාදකයකුට, වෙළෙන්දෙකුට එරටට පැමිණීමට ඉඩ ලබා දුන්නේය. අවශ්‍ය ඉඩම් නිදහසේ මිලදී ගැනීමට ඉඩ දුන්නේය. අද සිංගප්පූරුවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 72,794කි. ඒක පුද්ගල ආදායම අනුව සිංගප්පූරුව ලොව රටවල් අතර අටවැනි ස්ථානයේ පසුවේ.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කරන ලද්දේ 2018 මැයි මස පළමුවන දිනය. එය අත්සන් කර වසර 04ක් ගෙවි ගිය ද 2022 දක්වාම ගිවිසුම ක්‍රියාත්මක වූයේ නැත. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එය වහාම ක්‍රියාත්මක කරන ලෙස නියෝග කළ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී ටෝකියෝ නුවර දී සිංගප්පූරු අගමැතිවරයා හමු වූ අවස්ථාවේ දී රටවල් දෙක අතර ද්වී පාර්ශවීය වෙළෙඳ සම්බන්ධතා පුළුල් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කළේය.
ගිවිසුම අත්සන් කිරීමට පෙර දෙරට අතර සිංගප්පූරු ඩොලර් බිලියන 2.7 ක ද්විපාර්ශවීය වෙළෙඳ ගනුදෙනු සිදු විය. සිංගප්පූරුව ශ්‍රී ලංකාවට සිංගප්පූරු ඩොලර් බිලියන 2.5ක් වටිනා භාණ්ඩ අපනයනය කළේය.
ශ්‍රී ලංකාව සිංගප්පූරුවට රුපියල් මිලියන 178ක් වටිනා භාණ්ඩ අපනයනය කළේය. දෙරට අතර වෙළෙඳ පරතරය සිංගප්පූරු ඩොලර් මිලියන 2322කි. එහි අදහස වන්නේ ගිවිසුමට පෙර සිංගප්පූරුව ශ්‍රී ලංකාවට භාණ්ඩ විශාල ප්‍රමාණයක් අලෙවි කර ඇති නමුදු ශ්‍රී ලංකාව සිංගප්පූරුවට අලෙවි කර ඇත්තේ ඉතා කුඩා භාණ්ඩ ප්‍රමාණයක් බවය. නිදහස් වෙළෙඳ ගිවිසුම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමෙන් දෙරට අතර වෙළෙඳාමේ වාසිය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ දී විදේශ සම්බන්ධතා විසින් ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන තත්ත්වයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුව ඇත. පසුගිය ආර්ථික අර්බුදයේත්, රට බංකොළොත් වීමේත් මූලිකම හේතුව වන්නේ රට විසින් උපයනු ලබන විදේශ විනිමය ප්‍රමාණය රටේ අවශ්‍යතා ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවීමයි. එනිසා විදේශවලින් ණයට ගැනීමට සිදු විය.
එවන් තත්ත්වයක් යළිත් ඇති නොවීමට නම් අපට අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය ණය නොවී අප විසින්ම උපයාගත යුතුව ඇත. අපනයන ප්‍රමාණය වර්ධනය වන අයුරින් රටේ නිෂ්පාදනය ඉහළ යන නිෂ්පාදන ආර්ථිකයක් වෙත අප වහා වෙනස් විය යුතුව ඇත. විදේශ සම්බන්ධතා කඩිනමින් පුළුල් කර ගැනීම පිළිබඳව අප අවධානය යොමු කළ යුතුව ඇත්තේ මෙම තත්ත්වය පිළිබඳව අවධානයකින් යුතුවය. ප්‍රදර්ශනාත්මක විදේශ හමුවීම්වලට වඩා ඵලදායී හමුවීම් ඉතා වැදගත් වන්නේ ඒ නිසාය.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය