ගුණදාස අමරසේකර කියන්නේ ලංකාවට රජෙක් ඕනෑ බවයි – මහාචාර්ය ලියනගේ අමරකීර්ති – වීඩියෝ

සිංහල බෞද්ධ සමාජයේ ප‍්‍රධාන දේශපාලන දෘෂ්ටිවාදියෙකුද දේශපාලන පණ්ඩිතයකුද ක‍්‍රියාකාරිකයෙකුද වන ගුණදාස අමරසේකර ජාතික චින්තනය නම් සිය චින්තන ව්‍යාපෘතියේ අවසාන පියවර යැයි කියන ප‍්‍රකාශනයක් පළ කර තිබේ. සිය සුපුරුදු පුස්තිකා ස්වරූපයෙන් පළ කර ඇති එහි මහින්ද රාජපක්ෂවාදීන්ගේ අද දවසේ දේශපාලනයත්, සිංහල ජාතිකවාදී දේශපාලනයේ එක් ධාරාවක ඊ ළඟ න්‍යායික පියවරත් ප‍්‍රකාශයට පත් කරනු පෙනේ. එහි දවසේ දේශපාලනය ප‍්‍රකාශ වන්නේ වර්තමාන මෛත‍්‍රී -රනිල් ආණ්ඩුව ගැන එහි එන කැපෙන යෙදුම් නිසාය. මේ කැපෙන කියුම් ඔහුට කියන්නට හැකි වී ඇත්තේ මහින්ද රෙජීමයේ වූ සිංහල අධිපතිවාදී ලක්ෂණ මෙම රෙජීමයේ සාපේක්ෂ වශයෙන් අඩු වී තිබීම නිසාය. ආර්ථික ප‍්‍රතිපත්තිමය වශයෙන් මහින්ද රෙජීමය සහ මෙම රෙජීමය අතර විශාල වෙනසක් නැත. රටේ පාලන ව්‍යුහය ප‍්‍රජාතන්ත‍්‍රකරණය කිරීම සම්බන්ධයෙන් මෙම රෙජීමය කර ඇති ඇතැම් සාධනීය වෙනස්කම් කිහිපයක්ද ඇත. පාර්ලිමේන්තුවට වැඩිබලතල ලබාදීම, ස්වාධීන කොමිෂන් සභා කිහිපයක් පත් කිරීම යනාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය යම් තරමකට හෝ අර්ථවත් කිරීමේ පියවර සමහරක් මේ රෙජීමය විසින් ගනු ලැබ තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේ රටේ ජනතාවත්, දේශපාලකයන්ටත් තේරෙන හෝ ගැලපෙන දෙයක් නොවන බව කියන අමරසේකරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යම් හෝ හරයක් දෙන්නට මේ රෙජීමය දරණ තැත නොපෙනේ. මහින්ද රාජපක්ෂ යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතිශයින්ම අපයෝජනය කළ පුද්ගලයෙකිය යන කාරණයද අමරසේකරට අදාළ නැත. කෙසේ වෙතත් අද දවසේ දේශපාලනය පිළිබඳ අමරසේකර මේ පොත් පිංචෙහි කරන විවේචනවලින් මෙම රෙජීමය ආරක්ෂා කිරීම මට අයිති කටයුත්තක් නොවේ.
ජාතිවාදයෙනුත්, රාජපක්ෂ සහ රනිල් දෙපිරිසම නියෝජනය කරන නව ලිබරල් ධනවාදයෙනුත් අප රට බේරාගැනීමේ පුළුල් මහජන පෙරමුණක්, එනම් විවිධාකාරයේ සමාජවාදීන්ගෙන්ද සිවිල් බුද්ධිමතුන්ගෙන්ද සැදි පෙරමුණක් ගොඩනැගීම අත්‍යවශ්‍යය යැයි දකින අයට සිරිසේන-රනිල් රෙජීමය ආරක්ෂා කිරීම අවශ්‍යම වන්නේ නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *