|

පොලී අනුපාත පහළ දැමීමෙන් ආර්ථිකයට නව පණක් ලැබෙනවා – මහාචාර්ය සිරිමල් අබේරත්න

 

අර්බුදයට පෙර ගත් ණයවලින් නැවත ණය වාරික නොගෙවීම සිදු කළේ 4%ක් පමණයි

රාජ්‍ය හා පුද්ගලික බැංකු අතර ඇති තරගයේ වාසිය සාමාන්‍ය පාරිභෝගිකයාටයි

ලීසිං පොලී අනුපාත පහළ යාම ව්‍යාපාරික අංශයට වාසියක්

උද්ධමන අගය පහළ යෑම ආර්ථිකයේ වර්ධනාත්මක පියවරක්

බැංකු ණය, උකස් සහ සෙසු ණය පිළිබඳව පසුගිය කාලයේ පනවා තිබූ අධික ණය පොලී අනුපාතය දැන් පාලනය කොට ඇත. ඒ සඳහා ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග පිළිබඳවත් එමඟින් මෙරට ආර්ථිකයට සිදු වන ධනාත්මක බලපෑම කෙසේද යන්න පිළිබඳවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

 

l අපේ රටේ පසුගිය කාලයේදී ණය පොලී අනුපාත විශාල ලෙස ඉහළ ගිහින් තිබුණා. නැවත පොලී අනුපාත පහළ හෙළීමට පසුගියදා ආණ්ඩුව තීරණය කළා. මේ තත්ත්වය මෙරට ආර්ථික තත්ත්වය ස්ථාවර කිරීමට කුමනාකාරයේ බලපෑමක් සිදු කරාවිද?

ණය පොලී අනුපාත ඉහළ දැමීමට මූලික කරුණක් විදිහට දක්වන්න පුළුවන් හේතුව බවට පත් වුණේ පසුගිය කාලය තුළ මෙරට තුළ ඇති වූ විශාල ආර්ථික අර්බුදය සහ උද්ධමනකාරී තත්ත්වයයි. ඒ තත්ත්වය තුළ මෙරට ජනසමාජය තුළ ලොකු අස්ථාවර භාවයක් ඇති වුණා. ඒ සමඟ මුදල් හුවමාරුව වගේම මුදල් යොදවා කරනු ලබන ව්‍යාපාර කටයුතු යනාදිය අඩපණ වුණා. ඒ තත්ත්වය තුළ රටේ ආර්ථිකය නැවත යම් කිසි හෝ ස්ථාවර තත්ත්වයකට පත් කළ යුතුව තිබුණා. ඒ තත්ත්වය තුළ සිදු කළ යුතු පළමු කාර්ය බවට පත්වුණේ, මුදල් නැවත බැංකු වෙත ආකර්ෂණය කර ගැනීමයි. මහ බැංකුව ස්ථාවර තැන්පතුවල පොලී ප්‍රමාණය විශාල ලෙස ඉහළ දැමුවෙ ඒ නිසයි. ඒ වගේම ණය සඳහා තිබූ සාමාන්‍ය පොලී අනුපාත සියයට විසිපහ ඉක්මවන තරම් ඉහළ තැනකට පත් වුණා. එදා මෙරට උද්ධමනය සියයට පනහ, හැට, හැත්තෑව වගේ ලොකු අගයක් ගත්තා. එහෙත්, මේ තත්ත්වය අවුරුද්දක් ඇතුළත පාලනය කිරීමට මහ බැංතුවට හැකියාව ලැබී තිබෙනවා. ඒ තත්ත්වය තුළ මීට පෙරත් ණය පොලී අනුපාතය පහළ දැමුවා. දැන් නැවත මහ බැංකුව ණය පොලී අනුපාත සඳහා ස්ථාවර ගාණක් තීරණය කර තිබෙනවා. එමඟින් මෙරට ව්‍යාපාර කටයුතු ඇතුළු කාර්ය සඳහා නැවත හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. ඇත්තෙන්ම එය මෙරට ආර්ථිකය නැවත පණ ගැන්වීම සඳහා ලොකු පිටිවහලක් විදිහට හඳුන්වා දීමේ වරදක් නැහැ. පසුගිය කාලයේදී ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය ණය ලබා ගැනීමට අපහසුව තිබුණා. එයට හේතුව වෙලා තිබුණේ ණය මත පනවා තිබූ අධික පොලියයි. ඒ නිසා මෙරට ආර්ථිකය සක්‍රිය වීම බොහෝ දුරට සෙමෙන් සිදු වුණේ. මහ බැංකුව ගත් ණය පොලී අඩු කිරීමේ මෙම තීරණය නිසා නැවත සාමාන්‍ය පොලියක් යටතේ ණයක් ලබා ගැනීමට මෙරට ව්‍යාපාරික ප්‍රජාවට ලොකු ඉඩක් ලැබෙනවා. ඇත්තෙන්ම උද්ධමනය පහළ යාම ආර්ථිකය යම් තරමකට ස්ථාවර වීම වැනි සියලු කරුණු මේ සඳහා ප්‍රබල ලෙස බලපානු ලබනවා.

l මීට පෙරත් මහ බැංකුව ණය පොලී අනුපාත පහළ දමන බවට ප්‍රකාශ කළා. එහෙත්, එය ප්‍රකාශයක් පමණක්ම බවට පත් වුණා. මේ පාරත් ඒ තත්ත්වයම උදාවෙයි කියලා සමහරු කියනවා. මේ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

මෙතැනදී අපි සියලු පාර්ශ්ව ගැන සාධාරණව බැලිය යුතුයි. ඔවුන්ගේ ප්‍රශ්න මොනවාද කියන දේ විමසා බැලිය යුතුයි. ඒ අනුව තමයි, මෙවැනි ගැටලුවලට අවශ්‍ය කරන නිගමන වෙත පිවිසෙන්න පුළුවන්. මෙරට බැංකු පද්ධතිය තුළ විශාල අර්බුදයක් වගේම කඩා වැටීමකුයි තිබුණේ. ඒ තත්ත්වය පසුගිය අවුරුද්දේ රට තුළ ඇති වූ අර්බුදකාරි වාතාවරණය නිසා උග්‍ර වුණා. ඒ නිසා බැංකු පද්ධතියද පසුගිය කාලයේදී අපහසුතා රැසක් මැදයි ක්‍රියාත්මක වුණේ. ඒ නිසා බැංකු ණය පොලී අනුපාතය පහළ දැමීම වගේ කරුණුවලදී මෙම පසුගිය කාලයේදී සිදු වූ දේවල්ද ප්‍රධාන ලෙස බලපානු ලැබුවා. ඒ නිසා බැංකු මහ බැංකුව කියූ තරමින්ම පොලී අනුපාත පහළ නොහෙළන්න ඇති. ඒ සියලු කරුණු අනුව තමයි බැංකු එදා මහ බැංකුවේ ඉල්ලීම නොසලකා හැර තිබෙන්නේ.

එහෙත් මෙවර මහ බැංකුව ඉතාමත් දැඩිව ණය පොලී අනුපාත පහළ හෙළන ලෙස ඉල්ලීමක් වෙනුවට නියෝගයක් කර තිබෙනවා ඒ නිසා මෙවර ණය පොලී අනුපාතය පහළ දැමීමට මෙරට බැංකු පද්ධතිය එකඟතාවකට පත්වෙනු ඇතැයි ධනාත්මක විශ්වාසයක් තිබෙනවා.

l ණය පොලී අනුපාතය පහළ හෙළීම ස්ථිර කර ගැනීමට මහ බැංකුවට සහ රාජ්‍ය බැංකු පද්ධතියට මැදහත් වීමට හැකියාවක් තිබෙනවාද?

ඔව්. මෙරට බැංකු පද්ධතිය තුළ පුද්ගලික අංශයේ බැංකු සහ රාජ්‍ය අංශයේ බැංකු විශාල ප්‍රමාණයක් තිබෙනවා. මෙහිදී පුද්ගලික බැංකුවලට වඩා රාජ්‍ය බැංකු පද්ධතිය තුළට මහ බැංකුවට මැදහත් වෙන්න ඉතාමත් හොඳ ඉඩක් තිබෙනවා. රාජ්‍ය අංශය සතුව ප්‍රධාන පෙළේ බැංකු තුනක් තිබෙනවා. ඒ ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවයි. මේ බැංකු තුනට පූර්වාදර්ශ විදිහට ණය පොලී අනුපාත මහ බැංකුවේ නියෝගය ප්‍රකාරව අඩු කරන්න පුළුවන්. එහෙම අඩු කිරීම තුළ බැංකු අතර තියුණු තරගයක් ඇති වෙනවා. පුද්ගලික අංශයේ බැංකුවලට මේ තරගය මඟ හැර යාමට බැහැ. ඒ නිසා තම තමන්ගේ ණය පොලී අනුපාත මහ බැංකුවේ අනුපාතයට අනුව පහළ හෙළීමට ඔවුන්ටත් සිදු වෙනවා. ඒ අනුව රාජ්‍ය අංශය සහ පුද්ගලික බැංකු අතර ඇති වන තරගයේ වාසිය යන්නේ සාමාන්‍ය පාරිභෝගිකයාටයි. ඒ නිසා මේ නව පොලී අනුපාත ප්‍රතිපත්තිය නිසි විදිහට ක්‍රියාත්මක කිරීමට නම්, මෙම නව තරගකාරී පිළිවෙත අනුගමනය කළ යුතුයි.

l උකස් පොලී අනුපාත සහ ලීසිං පොලී අනුපාත පහළ යාම ජන ජීවිතයට බලපානු ලබන්නේ කුමන ආකාරයටද?

මෙම අංශවලත් පොලී අනුපාත මහ බැංකුවේ දැනුවත් කිරීම අනුව පහළ යාම සිදුවෙන්න ඕනෑ. එසේ පොලී අනුපාත පහළ යාම තුළ සාමාන්‍ය ජනතාවට ලොකු සහනයක් ලැබෙනවා. උකස් පොලී අනුපාතය පහළ යාම තුළ එහි වාසිය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ජනතාව වෙතයි ලැබෙන්නේ. ඒ වගේම ලීසිං පොලී අනුපාත පහළ යාමත් මෙරට ව්‍යාපාරික අංශය සහ ආර්ථික තත්ත්වයට තදින් බලපානු ලබන කරුණක් විදිහට හඳුන්වා දීමේ වරදක් නැහැ.

l ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධව තිබූ අධික පොලී ප්‍රමාණය සියයට විසි අට දක්වා පහළ යාම පිළිබඳව ඔබේ විග්‍රහය කුමක්ද?

ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත පහළ යාම තුළ එහි වාසිය සාමාන්‍ය පාරිභෝගිකයාට යනවා. ඒ වගේම එමඟින් සහනයක් ලැබෙනවා වගේම වෙළෙඳ පොළ ක්‍රියාකාරීත්වය ද වැඩි වශයෙන් සක්‍රිය වෙනවා. ඒක හොඳ දෙයක්. එමඟින් ආර්ථිකය ක්‍රියාකාරී බවට පත්වෙනවා. එපමණක් නොවෙයි, මේ ණය පොලී අනුපාත පහළ දැමීම තුළින් මෙරට සියලු අංශවල නව ආකාරයක් නව රටාවක් ඇති වෙනවා. නව ප්‍රබෝධයකින් යුතුව ආර්ථිකය ශක්තිමත් වෙනවා.

l ණය පොලී අනුපාත පහළ යාම තුළ මෙරට ආර්ථික තත්ත්වය, ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා තවදුරටත් ස්ථාවර වීමට කොතරම් කාලයක් ගත් වේවිද?

ඇත්තෙන්ම මහ බැංකුව ගත් මේ තීරණය අගය කළ යුතු දෙයක්. මෙම ක්‍රියාමාර්ග නිසා මෙරට ආර්ථිකය ශක්තිමත් වීම සිදු වෙනවා. ඒ වගේම මෙරට ආර්ථිකය තුළ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් වෙත ඇති අවස්ථා වගේම නිෂ්පාදනය තවදුරටත් ශක්තිමත් වීම සිදු වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් වීමට ආර්ථික ශක්තිය අවශ්‍ය කරනවා. ඒ සඳහා බොහෝ විට අත්පිට මුදල් වියදම් කරනවාට වඩා සිදු කරනු ලබන්නේ ණය මඟින් ව්‍යාපාර කටයුතු සිදු කිරිමයි. එමඟින් තමයි මෙරට ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන අවස්ථා වැඩි කිරීම සිදු වන්නේ. එහි වක්‍ර ප්‍රතිඵලය විදිහට තමයි ආර්ථිකය ශක්තිමත් වන්නේ. අද මහ බැංකුව ගත් තීරණය ඉතා හොඳ තීරණයක් වගේම අපේ ආර්ථිකයට නැවත ජීවය ලැබෙන දෙයක් විදිහට හඳුන්වා දීමේ වරදක් නැහැ.

l ඔබ කියන්නේ පසුගිය කාලයේ පීඩාකාරී ආර්ථික තත්ත්වය ඉදිරියේදී සමහන් වන බවද‍?

ඔව්. අපි ඒ විදිහට යහපත් අපේක්ෂා තියා ගනිමු. නව තීන්දු තීරණ ගැනීමට මූලික කරුණක් බවට පත් වූයේ අපේ රටේ තිබූ පීඩාකාරි උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුව වෙත යම් හැකියාවක් ලබා ගැනීමයි. සියලු දේවල් දැන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා කියලා, මම කියන්නේ නැහැ. එහෙත්, එදා තිබූ තත්ත්වයට වඩා හොඳ ආර්ථික වාතාවරණයක් තිබෙනවා. ඒ තත්ත්වය තවදුරටත් පවත්වා ගෙන යාම තමයි කළ යුතුව තිබෙන්නේ.

l පසුගිය කාලයේදී, පාරිභෝගිකයන් ගත් ණය ගෙවීමට ඇතැමුන්ට හැකියාව ලැබුණේ නැහැ. තවත් පිරිස් ණය ලබා ගැනීම නවතා තම නිෂ්පාදන කටයුතු සීමා කරනු ලැබුවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

අර්බුදයට පෙර ලබා ගත් ණයවලින් නැවත ණය වාරික නොගෙවීම සිදු කළේ සියයට හතරක් පමණයි. එහෙත්, දැන් තත්ත්වය වෙනස් වෙලා. අද වන විට ඒ ප්‍රමාණය සියයට හතරේ සිට දහය දක්වා වැඩි වෙලා තිබෙනවා. එයින් තහවුරුවන කරුණ බවට පත්වෙන්නේ පොලී අනුපාතය වැඩි වීම තුළ, ණය ගෙවීමට තිබෙන ශක්තිය ජනතාව තුළින් අඩුවෙලා කියලා. එය බැංකු පද්ධතිය පැත්තෙන් ගත්තාම අහිත කර දෙයක් විදිහට හඳුන්වා දිය හැකියි. ඒ වගේම ජනතාව ණය ගැනීම සීමා කිරීම ද එහි තවත් නරක ප්‍රතිඵලයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.

l උද්ධමනය පාලනය වූ බව සංඛ්‍යා ලේඛනවල සඳහන් වුණත්, මහපොළොවේ එවැනි තත්ත්වයක් දක්නට නැති බවට සමහරු කියනවා. මේ ගැන ඔබේ අදහස පැහැදිලි කරන්න පුළුවන්ද ?

උද්ධමනය පාලනය වීම කියන්නේ, බඩු මිල පහළ යාම කියලයි සමහරු හිතන්නේ. එහෙත් උද්ධමනය කියන්නේ බඩු මිල වැඩි වීමේ වේගයයි. උද්ධමනය අඩුවීම කියන්නේ බඩු මිල අඩුවීමේ වේගය අඩු වීමයි. දැන් තත්ත්වය ගෙන සලකා බැලුවාම බඩු මිල වැඩි වීමේ වේගය පසුගිය අවුරුද්දට වඩා අඩුයි. ඒ කියන්නේ උද්ධමන අගය පහළ ගිහින් තිබෙන්නේ. මෙය ආර්ථික වශයෙන් වර්ධනාත්මක තත්ත්වයක්. උද්ධමනය පැමිණි වේගයෙන්ම ඉහළ ගියා නම්, අද වන විට මෙරට තිබෙන ආර්ථික අර්බුදය ඉතාමත් බැරෑරුම් දිශාවක් වෙත යොමු වීමට ඉඩ තිබුණා. එහෙත් දැන් උද්ධමනය පාලනය කිරීමට හැකියාව ලැබීම වර්ධනීය තත්ත්වයක් විදිහට සඳහන් කිරීමේ වරදක් නැහැ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න

 

උදිත ගුණවර්ධන

දිනමිණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *