දහතුනට තර්ක විතර්ක – කුසල් පෙරේරා

ජනාධිපති වික්‍රමසිංහ අගෝස්තු මුල් සතියේ පාර්ලිමේන්තුවට පැමිණ රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමේ ඔහුගේ යෝජනා ඉදිරිපත් කළේය. 

 

 

 

කෙසේ වුවද එය අවසන් වූයේ පාර්ලිමේන්තුවේ සුපුරුදු ගාලගෝට්ටියකිනි. මේ වනවිට ඔහුගේ යෝජනා දෙපැත්තකින් ප්‍රතික්ෂේප වන්නේය. එක පැත්තකින් පාර්ලිමේන්තුවේ සිංහල නියෝජනය ඊට දැඩි ලෙස විරුද්ධ වන්නාහ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය එතැනින් ඔබ්බට කිසි ලෙසකින් වර්ධනය නොකළ යුතු යැයි ඔවුන්ගේ පොදු හඬය.

අනෙක් පැත්තෙන්, දෙමළ දේශපාලන සංවිධාන කිහිපයක්ද ජනාධිපතිගේ යෝජනා ප්‍රතික්ෂේප කරති. ඔවුන්ගේ තර්කය මූලික වශයෙන් ගොනු වන්නේ නවදිල්ලි යෝජනා අනුවය. 13 වැනි සංශෝධනය ඊට අදාල සියලු ප්‍රතිපාදන සමගින් පූර්ණ ලෙස ක්‍රියාත්මක කළ යුතු බව ඔවුහු කියන්නාහ.

13 සඳහා අලුත් සංශෝධන ගැන කතා කරන ජනාධිපති දෙමළ ජාතික සන්ධානය යෝජනා කළ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රතික්ෂේප කරන්නේ යැයි සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් කියන්නේය. එහෙත් ඒ සියල්ල දෙමළ ජනතාව ඉල්ලා සිටින බලය හවුලේ බුක්ති විඳීමේ සන්ධීය ආණ්ඩු පාලනයකට යටත් ය.

මේ මොහොතේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වර්ධනය කිරීමට අදහස් කරන ජනාධිපතිගේ වුවමනාව කුමක් දැයි පේන බැලීම මොහොතකට පැත්තකින් තබා, 13 සඳහා විශේෂයෙන් සිංහල-බෞද්ධ සමාජයේ ඇති විරෝධය කුමක්දැයි කතා කිරීම වඩා ප්‍රයෝජනවත් යැයි සිතමි.

එයට දිගු ඉතිහාසයක් ඇත. හැකි තරම් කෙටියෙන් ඒ ඉතිහාසය ගැන කතා කළහොත්, දකුණේ සිංහල සමාජයේ සංවිධානාත්මකව එය ගොනු වන්නේ සිංහල හා මුස්ලිම් වෙළඳ ප්‍රජාවගේ තරගය හමුවේ 1915 දී දිග හැරුණු ජාතිවාදී ගැටුමෙහි ප්‍රකාශයක් ලෙසිනි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය සමග කේවල් කිරීමේදී එවැනි ගැටුම් වලින් තොර ලාංකීය එකමුතුවක් වෙනුවෙන් නායකත්වයක් ඇවැසි යැයි 1919 දෙසැම්බරයේදී “ලංකා ජාතික කොංග්‍රසය” පිහිටුවා ගනු ලැබූණි.

එහි පුරෝගාමී නායකත්වය ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්ගේ වූයෙන් ආරම්භක සභාපති වූයේ ඔහු ය. එහෙත් වසරක් ගත වන්නටත් පෙර 1920 ඔක්තෝබරයේදී එෆ්.ආර්. සහ ඩී.එස්. සේනානායකලාගේ මැදිහත්වීමෙන් ශ්‍රීමත් ජේම්ස් පීරිස් සභාපති ලෙස පත්කර ගනු ලැබීය. එතැන් සිට “ලංකා ජාතික කොංග්‍රසය” නාගරික සිංහල ප්‍රභූන්ගේ සංවිධානයක් බවට පත් විය.

ලංකා ජාතික කොංග්‍රසය එලෙස සිංහල ප්‍රභූ ආධිපත්‍යයට හිමි වූ අතර, වෙළඳ ප්‍රජාවගේ සිංහලකම සඳහා සුජාත බවක් ලැබෙන්නේ ලංකා ජාතික කොංග්‍රසයෙන් වෙන්වී බණ්ඩාරනායකගේ නායකත්වයෙන් 1935 දී “සිංහල මහ සභාව” පිහිටුවා ගැනීමත් සමග ය. බණ්ඩාරනායකගේ සිංහල මහ සභාව සිංහල-බෞද්ධ පළාත්බද නායකයන්ගේ සහ සල්ලිකාර වෙළඳුන්ගේ අනුග්‍රහය ලැබූවක් විය.

ලංකාවට නිදහස ලබා දෙන විට ලංකා ජාතික කොංග්‍රසය සමග සිංහල මහ සභාවද හවුල්වී එක්සත් ජාතික පක්ෂය (එ.ජා.ප) පිහිටුවා ගත්හ. එ.ජා.පය පිහිටුවා ගැනීමේදී බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ගේ අනුමැතිය වෙනුවෙන් වාර්ගික හා ආගමික එකමුතුව සඳහා යැයි ඩී.එස්. සේනානායක කුමක් කීවත් නිදහස් ලංකාවේ පළමු පාර්ලිමේන්තුවෙහි ආණ්ඩු පාලනය අතට ගත් වහා ඔහුගේ ආණ්ඩුව ක්‍රියාත්මක වූයේ ලංකා ජාතික කොංග්‍රසයේ සහ සිංහල මහ සභාවේ සිංහල ජාතිවාදී දේශපාලනය වෙනුවෙනි.

කන්ද උඩරට ඉන්දියානු සම්භවයක් තිබූ ශ්‍රමිකයන් ලක්ෂ ගණනකගේ පුරවැසි හා ඡන්ද අයිතිය 1948 දී අහෝසි කරනු ලැබූයේ ඒ අනුවය. අනතුරුව සිංහල මහ සභාව 1951 දී එ.ජා.පයෙන් ඉවත්ව බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රී.ල.නි.ප) පිහිටුවා ගත් පසු ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ මූලික දේශපාලන මැදිහත්වීම් සිදුවූයේ සිංහල-බෞද්ධ මතවාදය සමස්ත සමාජයේ අධිපති මතවාදය බවට පත් කිරීමට ය.

එවැනි සමාජයක් විසින් පරම්පරා කිහිපයක් වැය කර පුරුදු පුහුණුකර හදා ගත් සියලු වෘත්තීන්ද ජාතිවාදී වෘත්තීන්ය. ඒ හැමකින් නැවත නැවතත් කියන්නේ මේ රට සිංහල-බෞද්ධයන්ගේ රටක් යැයි කියා ය. රටේ ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට මූලික හිමිකම් අහෝසි කෙරෙන මේ වර්ගවාදී ආගම්වාදී දේශපාලන ගැටලුව විසඳ නොගෙන මේ රටට දියුණු ප්‍රජාතන්ත්‍රවාදී අනාගත පැවැත්මක් නොමැත. එනිසා දැන් වහා අවශ්‍ය වන්නේ විසඳුම් සෙවීමේ ජනතාවාදී ප්‍රවේශයකි. ඒ සඳහා වන දේශපාලන එකඟතාවකි.

එය නායක සාකච්ඡා මගින් මෙතෙක් නොලැබුණකි. නිස්සාරවූ එවැනි සාකච්ඡා ආකෘතීන් දෙකක් විය. එකක් විදේශ මැදිහත්වීම් හා පහසුකම් සැපයීම් සමග කෙරුණු සාකච්ඡාය. අනෙක, විදේශ මැදිහත්වීම් හා පහසුකම් සැපයීම් නොමැතිව දෙමළ දේශපාලනයේ තීරණාත්මක සාධකය බවට පත්වූ විමුක්ති කොටි නායකයන් සමග කෙරුණු ඍජු සාකච්ඡාය. මේවා අවසන් වශයෙන් අත හරින්නට සිදු වූයේ දකුණේ නායකයන් බහුතර සිංහල ඡන්ද ගණන් කරමින් සාකච්ඡා කිරීමය.

එවැනි අසාර්ථක සාකච්ඡා අතර තෙවැනි ආකෘතියක් ඇති වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උත්සාහයක් වශයෙනි. ඔහු 2006 ආරම්භයේදී කැඳවූ සර්ව පාක්ෂික සාකච්ඡාවල දෙවැනි සැසි වාරයේදී ස්ථිර නියෝජිතයන්ගේ කමිටුවක් මගින් සාකච්ඡා ගෙන යා යුතු යැයි 2006 ජූලි 11 වන දින “සර්ව පාක්ෂික නියෝජිත කමිටුව” ස්ථාපිත කළේය. එහි වැදගත් තර්කයක් විය.

අවසානයක් දක්වා මෙවැනි සාකච්ඡා සාර්ථකව කිරීමට, විවිධ පුද්ගලයන් විටින් විට සහභාගී වීමෙන් කළ නොහැක. සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සහායට ඔහු විශේෂඥ කමිටුවක්ද පත් කළේය. ඔහුගේ උත්සාහයෙහි ඔහු විශේෂයෙන් ඉන්දියාවට සහ දෙවනුව දකුණේ සිංහල සමාජයට කියූ කතාවක් තිබිණ.

ඔහු ඉන්දියාවට කියුවේ දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලුව සඳහා දේශීය විසඳුමක් ඉදිරිපත් කිරීමට, මීට පෙර නායකයන් මෙන් ඔහු ප්‍රභාකරන් සමග සාකච්ඡා නොකරන බවය. එය නවදිල්ලි ස්ථාවරයද විය. දකුණේ සිංහල ජනතාවට කියූවේ, දේශීය විසඳුමක් ඔහු තීන්දු කරන්නේ ඔහුගේ ආධිපත්‍ය යටතේ වන දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් වෙනුවෙන් පමණක්ය යන්න ය.

ඒ වනවිට මහින්ද විශ්වාසය තැබූයේ දකුණේ ගෞරවයට හා පිළිගැනුමට ලක්ව සිටි කයිට්ස් හි එල්.ටී.ටී.ඊ බිම් බෝම්බ ඇටවීමකින් 1992 දී මිය ගිය ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ජනප්‍රිය ප්‍රකාශයක් මත ය. එල්.ටී.ටී.ඊයට එරෙහි සාර්ථක හමුදා මෙහෙයුමකින් පසුව ලුතිනන් කොබ්බෑකඩුව මාධ්‍යයට කියා තිබූණේ, හමුදාවට කළ හැක්කේ දෙමළ සන්නද්ධ සටන්කාමීන් බිත්තියට හේත්තු කිරීම පමණක් බවත් මෙය දේශපාලන ගැටුමක්වන හෙයින් අවසානයක් සඳහා දේශපාලන නායකයන් දේශපාලන විසඳුම් ලබා දිය යුතු බවත්ය. එබැවින් මහින්ද බලාපොරොත්තු වූයේ ශීඝ්‍රයෙන් දිග හැරෙමින් තිබූ යුද්ධයෙන් රාජ්‍ය හමුදා ප්‍රභාකරන් බිත්තියට තල්ලු කළ විට ඉදිරිපත් කිරීම සඳහා පොදු එකඟතාවක් ඇති විසඳුමක් අත තබා ගැනීමට ය.

මෙම සර්ව පාක්ෂික කැඳවීමට ඔහු දෙමළ ජාතික සන්ධානය ඇතුලුකර නොතිබිණ. ඒ මන්දැයි දිනක් මා ඔහුගෙන් විමසූ විට ඔහු කියූවේ, දකුණේ එකඟතාවක් නොමැතිව දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කිරීමෙන් පලක් නොවන බවය. ඔහු සිතා ඉන්නේ දකුණේ එකඟතාවක් ලබා ගන්නා විසඳුමක් ගැන දෙමළ ජාතික සන්ධානය සමග අනතුරුව සාකච්ඡා කිරීමට යැයි ඔහු කීවේය.

ඔහුගේ මේ සර්ව පාක්ෂික සාකච්ඡාවලට එ.ජා.ය සහභාගී නොවූයේ එ.ජා.පයෙන් කැඩී ගිය රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිකම් ලබා ගත් කරු ජයසූරියගේ නායකත්වයෙන් වූ කණ්ඩායම එහි අසුන් ගැනීමය. සෝමවංශගේ මූලිකත්වයෙන් සාකච්ඡාවලට සහභාගි වූ ජ.වි.පෙ අතරමගදී ඉවත් වූයේ තුට්ටුවක වටිනාකමක් ඇති හේතු දැක්වීමක් සමගින් නොවේ. ඔවුන් කීවේ විශේෂඥයන්ගේ නිර්දේශ භාර ගැනීමට ඔවුන් සහභාගි නොවන බවය.

මෙම සර්ව පාක්ෂික නියෝජිත කමිටුව සියලු මත භේද, මත ගැටුම්, පරස්පර, විසම්මුතීන් විතැන් කරමින් පොදු එකඟතාවකට පැමිණීමට අවුරුදු 04 ක කාලයක් ගත කළහ. ඒ කාලය පුරා ඔවුහු සති පතා වරකට පැය තුන හතරක් සාකච්ඡා කළෝය. විශේෂඥ කමිටුවේ බහුතරයේ සහ සුළුතරයේ වාර්තා ලැබුණු පසු 2007 අගෝස්තුවේදී කමිටුවේ සභාපති තිස්ස විතාරණ විසින් අන්තර් වාර කෙටුම්පතක් සාකච්ඡාවට බඳුන් කරනු ලැබුවේය.

එය යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අන්තර්ගතය හඳුන්වා දීමක් විය. එහි වූ පරිච්ඡේද 21, එකින් එක වෙන වෙනම රැස්වීම් 128 කදී සාකච්ඡා කර අවසන් වූයේ 2010 ජුනි මසය. අනතුරුව අමාත්‍ය තිස්ස විතාරණ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපති වශයෙන් ඔවුන්ගේ අවසන් වාර්තාව 2010 ජූලි මස ජනාධිපති මහින්ද රාජපක්ෂට බාර දෙන විට, මහින්ද යුද ජයග්‍රහණයේ පළමු සංවත්සරයද පවත්වා අවසන් ය. එනිසා ඔහුට, ඔහු බලාපොරොත්තුව සිටි “දේශීය විසඳුම” තවදුරටත් අවශ්‍ය නොවුණි.

ඒ ඉතිහාසය කවරක් වූවත් මේ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ අවසන් වාර්තාව දේශපාලන කාරණා දෙකක් හේතුවෙන් අදටත් වලංගුය. පළමුවැන්න, බලය බෙදීමේ දේශීය දේශපාලන විසඳුමක් වෙනුවෙන් දකුණේ පුළුල් එකඟතාවක් ලබා ගැනීමට ඒ ක්‍රියාදාමය හේතු විය. එයට ශ්‍රී.ල.නි.ප, මහජන එක්සත් පෙරමුණ, සම්මත සිංහල-බෞද්ධ නායකයකු ලෙස සැලකෙන කරු ජයසූරිය, සහ චම්පික රණවක, ගම්මන්පිල හා රතන හාමුදුරුවෝ ජාතික හෙළ උරුමය වශයෙන්ද එකඟව ඇත. ඊට අමතරව සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂද මුස්ලිම් කොංග්‍රසයද, ලංකා කම්කරු කොංග්‍රසය, ඩග්ලස් දේවානන්ද, මනෝ ගනේෂන් වැනි සෙස්සන්ද ඇත.

දෙවැන්න අතිශය වැදගත් වන්නේ මොවුන් සැවොම එකඟව ඇත්තේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට වඩා ප්‍රායෝගික ප්‍රජාතන්ත්‍රවාදී බලය බෙදීමකට වීම ය. එහි “ඒකීය රාජ්‍ය” සම්බන්ධ ගැටුම ඉතා සූක්ෂම ලෙස නිරවුල් කරගෙන ඇත. යෝජිත පාර්ලිමේන්තුව ද්වි මණ්ඩල නියෝජනයකි. බලය බෙදීමේදී ප්‍රධාන අවිනිශ්චිතයක් වන සමගාමී විෂය ලේඛනය අහෝසිකර ඇත. උතුරු-නැගෙනහිර දෙපළාතෙන් පිට ස්ථිර පදිංචිය ඇති මුස්ලිම් හා කන්ද උඩරට දෙමළ ජනතාව සඳහා වෙන වෙනම “ප්‍රජා මණ්ඩල” දෙකක් ඔවුන්ගේ ඡන්දයෙන් පත් කිරීමට යෝජිතය.

එවැනි එකඟතාවක් කෙටුම්පත් කෙරුණු සර්ව පාක්ෂික හමුවක් වෙනත් නැත. එබැවින් දැන් විය යුත්තේ නැවත නැවතත් නායක සාකච්ඡා සඳහා කාලය අපතේ යැවීමක් නොවේ. දැන් අවශ්‍ය වන්නේ මේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර එය සමාජ සාකච්ඡාවකට බඳුන් කිරීමය.

වසර 04 ක් පුරා සාකච්ඡා කර එයට එකඟ වූ නායකයන් දැන් එයට විරුද්ධ වන්නේ නම්, ඔවුන්ගේ දේශපාලනයේ අවස්ථාවාදය හා ප්‍රෝඩාව හෙළිකරලීම පහසු ය. එබැවින් අද ජන සමාජයේ වෘත්තීය සමිති ඇතුළු සියලු සමාජ සංවිධාන ජනාධිතිගෙන් සහ දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටිය යුත්තේ විසඳුමක් සඳහා ඒ අවස්ථාව විවෘත කරන ලෙස ය. මාධ්‍යයටද එවැනිම වගකීමක් ඇති බවත් මතක් කළ යුත්තකි.

 

 

 

 

කුසල් පෙරේරා

 

ලංකාදීප 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *