අපිට මඩ ගහන මේ කතුවරයා රටට ශිෂ්ඨාචාරය උගන්වන්න ආ කෙනෙක් – ගාමිණී වියන්ගොඩ

යහපාලන ආණ්ඩුව බලයට පත් වී වසර දෙකක් පිරෙන්නට දැන් නියමිත ය. ජනාධිපතිතුමාගේ මුළු නිල කාලය වන වසර 05න් 50%කට කිට්ටු කාලයක් දැන් ගතවෙමින් තිබේ. එහෙම අවස්ථාවක දී ආපසු හැරී බැලීමක් මෙන්ම ඉදිරිය ගැන කල්පනා කිරීමේ වගකීමක් පුරවැසි බලයට තිබේ. මේ සාකච්ඡාවේ දී ඒ සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කිරීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමක් ලෙස සළකමු.
ඒ වගේම අනික් පැත්තෙන් ගත්තාම පසුගිය සතියක පමණ කාලය තුළ හිතාමතා සිවිල් ව්‍යාපාරයට විරුද්ධව යම් ආකාරයක ප්‍රචාරක වැඩ පිළිවෙලක් දියත්වන බව පෙනෙන්නට තිබේ. ඒ ගැන මුලින්ම කථා කරන්නට මම කැමැත්තෙමි. පසුව අනික් කාරණය ගැන සාකච්ඡා කළ හැක.
ගිය සතියේ, සති අන්ත පුවත්පතක පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරුවන් 3 දෙනෙකු වන මමත්, සමන් රත්නප්‍රියත්, ධර්මසිරි බණ්ඩාරණායකත් පිලිබඳව ප්‍රවෘත්තියක් පලවී තිබුණි. අපි තුන්දෙනාට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිකම් 3ක් ලැබෙන්නට යන බව ත්, ධර්මසිරි බණ්ඩාරනායකට සංස්කාතික අමාත්‍ය පදවිය ලැබෙන්නට නියමිත බව ඒ ප්‍රවෘත්තියෙන් කියැවින. මේ සම්බන්ධයෙන් නගරය පුරාම පොස්ටර් ව්‍යාපාරයක් ද දියත්කර තිබුණි. වාර්තාවේ තිබුණු ආකාරයට ධර්මසිරි බණ්ඩාරනායකගෙන් ප්‍රකාශයක් ද අරගෙන තිබුණි. එවැනි ආරංචියක් නැති බව ධර්මසිරි එහි කියා තිබුණි. ඊට පසු අසා තිබුණා එහෙම දෙයක් ලැබුණොත් බාරගන්නවා ද යන්න. එතන දි ධර්මසිරි කියලා තිබුණා නොදන්න දෙයක් ගැන මට යමක් කියන්නට නොහැකි බව. නමුත් මේ සම්බන්ධව මගෙන්වත්, සමන්ගෙන්වත්, කිසි විමසීමක් කළේ නැත.
එහෙම නැතිව තිබිය දී තුන්දෙනාගේම නම් ඈඳලා මේ ප්‍රවෘත්තිය එම පුවත්පතේ පලවිය. වෙබ් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා එක දිගටම පසුගිය සතියේ මේ රාවය පැතුරුනි. මේකේ තිබෙන උත්ප්‍රාසාත්මක සහ ජඩකම වෙන්නේ දැන් විනාඩි 10කට පෙර එම පුවත්පතේ මාධ්‍යවේදිනියක් මට කථාකරලා අහනවා, මෙහෙම මන්ත්‍රි පදවියක් ලැබෙන්නට යනවා කියන්නේ ඇත්ත ද කියලා. මම ඇසුවා දැන් ද මගෙන් අහන්නේ මේක ඇත්ත ද කියලා. ගිය සතියේ ඔයගොල්ලන්ගේ පත්තරයේ මේක පලකළාට පසු මගෙන් විමසන්නේ නැතිව දැන්ද මගෙන් මේ ගැන අහන්නේ කියලා. දැන් මේක තමයි මාධ්‍ය සදාචාරය කියලා කියන්නේ. මේ පුවත්පතේ කතුවරයා මේ රටට ශිෂ්ඨාචාරය උගන්වන්නට පැමිණි මිනිසෙකි. එයා පසුගිය කාලයක් තිස්සේ මේ ශිෂ්ඨාචාරය උගන්වමින් ඉන්න කෙනෙකි. එහෙම කෙනෙක් තමයි මේ ආකාරයට පදනම් විරහිතව අභූත චෝදනාවක් එහෙම නැත්නම් මඩපාරක් එල්ලකර ඊ ළගට සුමානෙකට පසුව කථාකරලා අහන්නේ මේක ඇත්ත ද නැත්ත ද කියලා. මෙන්න මේ ආකාරයේ මාධ්‍ය සංස්කෘතියක් තමයි ලංකාවේ තියෙන්නේ.

දැන් අපිට වැදගත් වෙන්නේ ඒක නොවෙයි. මිනිස්සුන්ගේ තිබෙන අශිෂ්ටත්වය අපිට හදන්නට නොහැක. නමුත් අපිට වැදගත් වෙනවා මේක පිටුපස ඇති දේශපාලනය කුමක් ද යන්න සොයා බලන්නට. ඇයි මෙහෙම දෙයක් කරන්නේ. මේකේ හේතුව තමයි එක පැත්තකින් මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ සම්මත දේශපාලනඥයින්ව අවලංගු වෙමින් තියෙන කාලයක් මේක. නමුත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති ස්වාධිනව අදහස් දක්වන සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් කෙරෙහි ජනතාවගේ ප්‍රසාදයක් ඇතිවෙමින් තිබේ. මේ පුද්ගලයින් විශ්වාස කරනවා එතනටත් පහර දී ඒකත් අකර්මන්‍යකර මේ තිබෙන මජර සංස්කෘතිය දිගටම පවත්වාගෙන යන්නට හැකිවෙයි කියලා. පාර්ලිමේන්තුවේ නැත්නම් පාර්ලිමේන්තුවට යන්නට ඉන්න හෝ එහෙමත් නැත්නම් පක්ෂවලට සම්බන්ධ ඉන්න දේශපාලනඥයින්ට විරුද්ධව ගතහැකි ක්‍රියාමාර්ග ගණනාවක් තිබේ. විශේෂයෙන්ම ඔවුන්ගේ පැත්තෙන්මත් ඒවාට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයති. නමුත් සිවිල් සමාජ ක්‍රියාධරයන්ගේ පැත්තෙන් එහෙම අමුද්‍රව්‍ය සැපයීමක් සාමාන්‍යයෙන් සිදුවන්නේ නැත. මේක නිසා මොකක් හරි දෙයක් හදලා මේ මිනිස්සුන්ව දුර්වල කිරීම තමයි මේ අදාල ප්‍රවෘත්තිය පිටුපස ඇති දේශපාලනය.
ඉතින් ඒක නිසයි අපි මේ අවස්ථාවේ මේ කාරණය අවධාරණය කරන්නේ. මේ ගැන මේ සතියේ මම ලිපියකුත් ලියා ඇත. නමුත් අවාසනාව කියන්නේ මෙහෙම ප්‍රවෘත්තියක් පලවූවාට පසු මේක ආ පස්සට ගන්නේ කෙසේ ද? තව වසර 10ක් ගියත් මිනිස්සු කියාවි ඔය සිවිල් සමාජ ව්‍යාපාරයේ උන් කෑ ගැහැව්වේ මන්ත්‍රි ධූරයක් ගන්නට, නමුත් ඒක නොලැබුණු නිසා ඕකට තමයි ඔහොම කෑ ගහන්නේ කියලා. මේ අය බලාපොරොත්තු වෙන්නේද ඒකම තමයි. හැබැයි අපි පැහැදිළිවම කියන්නට ඕනේ පුරවැසි බලයේ කැඳවුම්කාර මණ්ඩලයේ ඉන්න අපි මොන ආකාරයෙන්වත් මෙවැනි දෙයක් අපිට ලැබුණත් අපි එය භාරගන්නේ නැත. කාරණා දෙකක් නිසා. එක කාරණයක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියකින් හෝ ඇමති පදවියකින් කරනවාට වැඩිය වැදගත් සහ තීරණාත්මක කාර්ය භාරයක් කිරීමේ හැකියාවක් සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය තුළ තිබේ. ඒක තමයි පළවෙනි කාරණය. දෙවැනි කාරණය තමයි සියදිවි නසා ගන්නට අදහසක් අපේ නැත.
දැන් අපේ ඊ ළග කාරණයට එනවිට අපේ වසර දෙකක් සම්පූර්ණ වෙන්නට යන යහපාලන ආණ්ඩුවේ ප්‍රගති සමාලෝචනය අපි කිහිප විටක්ම මීට පෙර කර ඇත. මේ රටේ ජනතාව ඇත්තටම දන්නවා මේ යහපාලන ආණ්ඩුව මේවන විට කර තිබෙන සාධනීය දේවල් පිළිබඳව. මේක හරියට අර එකට තියපු ඇවන්ගාඞ් එකේ ආයුධ ටික ඇතිල්ලිලා ඉලක්කම් මැකුණා සේ මේ දෙවලුත් කියලාම දැන් උරච්චි වෙලයි තියෙන්නේ. 19වෙනි ව්‍යවස්ථා සංශෙෘ්ධනය එයින් එකකි. තොරතුරු දැනගැනීමේ පනත මහජනතාවගේ අයිතියක් ලෙස ව්‍යවස්ථාවට ඇතුලත් කර ඇත. 19 සංශෝධනය යටතේ ජනාධිපතිවරයාගේ බලතල සෑහෙන ප්‍රමාණයක් අඩුකර තිබේ. අලුතින් පත්වන පාර්ලිමේන්තුව වසරකින් පසු විසුරුවා හැරීමට ඇති බලය අහෝසිකර ඇත. දැන් වසර හතරහමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්නට ජනාධිපතිවරයාට නොහැකි ය. තවත් පැත්තකින් ස්වාධින කොමිසන් සභා පත්කර ඇත. රාජපක්ෂගේ කාලයෙත් මේ කොමිසන් සභ සමහරක් තිබූ නමුත් ඒවා ස්වාධීන වූයේ නැත. හොඳම උදාහරණය මේ රටේ මානව හිමිකම් කොමිසම කියන එක ඇත්ත වශයෙන්ම එදා මහින්ද රාජපක්ෂගේ සිතැගියාවන් වලට වැඩකරන කොමිසන් සභාවක් බවට පත්වී තිබුණේ ය. අල්ලස් හා දූෂණ කොමිසම ඊටත් එහාගොස් මහින්දගේ උවමනාවන් සඳහා වැඩකරන කොමිසමක් බවට පත් වී තිබුනි. දැන් ඒවා සර්වප්‍රකාරයෙන්ම නිවැරදි නැතත් ආරම්භයක් ලෙස පදනමක් දමා යම්කිසි විදියක ප්‍රගතියක් ඇතිකරගන්නට අපි සමත්වී ඇත.
මේ වසර දෙකක ට ආසන්න කාලයක් තුළ මේ කියන ස්වාධීන කොමිසන් සභා සම්බන්ධයෙන් ඔබ දන්නවා ඇතැයි සිතමි. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා අපි අද අත්විඳින නිදහස අපිට අද ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම මාධ්‍යයට විශාල නිදහසක් ලැබී ඇත. අද ජනාධිපතිවරයාව, අගමැතිවරයාව විවේචනය කරන්නට පුලුවන් තමන් කැමති ආකාරයට. බයකින් සහ සැකයකින් තොරව, අද සවසට මොකක් හෝ විපතක් වෙයිද කියලා හිතන්නට අවශ්‍ය නැත. ඒකෙන් තොරව අද ඔවුන්ව විවේචනය කළ හැක. මේ අතරේ යම්යම් දේවල් සිද්ධවෙනවා තමයි කලුපැල්ලම් ආකාරයට. උදාහරණයක් ලෙස මාධ්‍යවේදින්ට ගුටිකන්නට සිද්ධවීම හමුදාපතිවරයෙකුගේ අතින්. මේවා කලුපැල්ලම් ය. ඒ වගේම යම් යම් මාධ්‍යවේදින්ට එරෙහිව යම් මාධ්‍ය ආයතනවලට එරෙහිව ඇතැම් දේශපාලනඥයින් කරන ප්‍රකාශ. මේ ආකාරයේ වැරදි තිබෙනවා. ඒවා නිවැරදි කරගත යුතු ය. හැබැයි මූලික වශයෙන් මාධ්‍ය නිදහස කියන එක මේ රටේ අද ස්ථාපිත කර තිබේ. ඒක මහින්දරාජපක්ෂගේ කාලයේ දී මොන ආකාරයෙන්වත්, අපේක්ෂා කළ හැකිව තිබූ දෙයක් නොවේ.
දැන් ඊ ළඟ ප්‍රශ්නය තිබෙන්නේ ජනාධිපතිතුමාව අනපේක්ෂිත ආකාරයට බලයට පත්කල ජනතාව, යහපාලනය කෙරෙහි තැබූ විශාල විශ්වාසය පදනම් වූ මූලිකම කාරණය වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේක තමයි අපි ඉදිරියේ දැනට තිබෙන බරපතලම අභියෝගය. ඒක කාරණා දෙකක් නිසා බරපතලම අභියෝගය වේ. එක පැත්තකින් මේ රටේ ප්‍රජාත්නත්‍රියකරණය කියන ක්‍රියාවලිය සාක්ෂාත් කරගැනීම සඳහා අපිට අලුත් ආණ්ඩු ක්‍රමයක් අවශ්‍යය ය. ඒ වගේම අනික් පැත්තෙන් ගත්තාම මේ රටේ ජාතික ප්‍රශ්නය විසඳිමට, මේ රටේ ජාතික සංහියාවට විසඳුමක් සෙවීමේ මාර්ගයක් වශයෙන් අපිට අවශ්‍ය කරනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. එතකොට මේ නව ව්‍යවස්ථාවේ මූලික අංග දෙකක් අපි එක දිගටම අවධාරණය කර තිබේ. පළවෙනි අංගය කෙරෙහි රටේ සමස්ත ජනතාවගේ එකඟත්වය තිබේ. ඒ තමයි විධායක ජනාධිපති ක්‍රමයේ අත්තනෝමතික භාවය අහෝසිකළ යුතුයි කියන එක. ඒ වෙනුවට ජනතාවට වග කියන ජනතා පරමාධිපත්‍ය කුළු ගැන්වෙන, පාර්ලිමේන්තුවක් ශක්තිමත් කළයුතුයි කියන කාරණය. මේකට කවුරුත් එකඟයි. නමුත් දෙවැනි කාරණය වන ජාතික සංහිඳූියාව සඳහා අවශ්‍ය කරන බලය බෙදා හැරීම ගැන ඇතැම් කොටස්වල විවිධ මතිමතාන්තර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපපක්ෂ මහත්මයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට එකගය. ඇයි එකඟ වෙන්නේ. මේ විධායක ජනාධිපති ක්‍රමය එයාට වැඩක් නැති නිසා ය. එයාට නැවත මේකට එන්නට නොහැක. ඒ නිසා එයා ඒකට එකඟ ය. හැබැයි දෙවැනි කාරණයට, එනම් බලය බෙදා හැරිම කියන එකට එනවා සියලුම බිල්ලෝ ටික. ඇවිල්ලා බෙදුම්වාදය, ඊලම්වාදය , බටහිර අධිරාජ්‍යවාදි කුමත්‍රණය ද යනාදි සියලුම දේවල් ටික එනවා ඒ කාරණයේ දී. ඒ නිසා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතිකර ගැනීම කියන එක අපි දකිනවා විශාල අභියෝගයක් ලෙසට අපිට මුහුණදීමට ඉතිරිවී තිබෙන. මේක ජයගැනීමට අපි අධිෂ්ඨාන කරගෙන සිටිමු. පරාජිතවාදින් අද හරියට සිටිති. ආණ්ඩුවෙන් එළියේ නොව ආණ්ඩුව ඇතුලේම ඔවුහු සිටිති. ඔවුන් කියන්නේම මේක ජනමත විචාරණයකින් පරදින බව ය. දැන්ම සිටම ඔවුන් මේ බව කියති. දැන්ම ඉඳන්ම කියන එකේ තේරුම, එහි පරාජය ඔවුහු අපේක්ෂා කිරීම ය. එහි අභිලාෂය වන්නේම එය පරාජය කිරීම ය. එතකොට අපි පරදිනවා තමයි. මම කියන්නේ 2015 ජනවාරි 08 මෛත්‍රිපාල සිරිසේන බලයට පත්කර ගැනීමම ජයග්‍රහණය කළ නොහැකිව තිබූ මහා කඩඉමක් ජයග්‍රහණය කිරීමකි. එක්තරා ආකාරයකට ඒක ජනමත විචාරණයකි. ඒක අපි ජයග්‍රහණය කළෙමු. ඒ අකාරයටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ජනමතයට අපි මුහුණදිය යුතුයි. ඒකත් ජයගහණය කළ යුතුයි. හේතුව, මේ රට ප්‍රජාත්නත්‍රවාදී කළ යුතුවා වගේම නැවත යුද්ධයකට මුහුණ දී විනාශයක් ඇතිවීම වැලකී සිටිමට අවශ්‍ය ජාතික සංහිඳියා පරිසරක් ඇතිකර ගැනීම. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලෙන්ම අපි ස්ථාපිත කළ යුතු ය. ඒක නිසා මේක තමයි මේ අවුරුද්දේ අවසන්වන මොහොතේ සිවිල් සමාජය හැටියට අවධාරණය කළ යුතුව තිබෙන්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *