මාලිමා රැල්ලට මොකද වුනේ? – රටේ රාළ

ජවිපෙ නායකයන් හීනෙන්වත් හිතපු නැති විදිහට මාලිමාවේ රැල්ල නිමාවට පත්වුනා.දැන් අන්තර්ජාලය ඇතුලේ කුණුහරුප කියාගෙන හිටපු මාලිමා ප්රේමියෝ සෑහෙන දෙනෙක් අතුරුදන් වෙලා. උනේ මොකද්ද කියලා හිතාගන්න බැරිව ජවිපෙ නායක කාරකාදීන් නන්නත්තාර වෙලා ඉන්නවා.දැනට ජවිපෙ පහලට බලවේගයට කියලා තියෙන්නේ රැල්ල විස්වාසයක් බවට පත්වෙලා ජනතාවගේ හදවත පතුලේ තැන්පත් වෙලා කියලයි.ඔය කතාවෙන් ජවිපෙට තව වැඩි දවසක් යන්න බෑ.
ඇත්තටම මාලිමාවට මොකද්ද වූනේ?ඒක ටිකක් කතා කරන්න ඕනි ප්රශ්නයක්.ජන පදනම ඇතුලේ මාලිමාව බින්දුවටම වැටිලා කියලා රටේ රාළ කියන්නේ නෑ.තවමත් මාලිමාවට යම් ජන පදනමක් තියනවා.හැබැයි මිට මාස කීපයකට උඩදී මාලිමාව වටේට ගොඩනැගිලා තිබුණ ජන පදනමට සාපේක්ෂව හිතුවොත් නං මාලිමාවේ දැවැන්ත බිඳ වැටීමක් තියනවා.ජනමනස ඇතුලේ මාලිමාවට තිබුණ උත්කර්ෂය නං බින්දුවට වැටිලා. එකම විකල්පය මාලිමාව විතරයි. උත්තරය අනුර විතරයි කියපු කතා දැන් අහෝසි වෙලා ගොඩක් කල්. ඒකට හේතුව මාලිමාවේ සහ ජවිපෙ නායකයන්ගේ ඇත්ත හැඩරුව සමාජයට නිරාවරණය වෙලා තිබීමයි.
මාලිමාවට රැල්ලක් හැදුනා කියන්න තියන හොඳම උදාහරණය තමයි සමූපකාර ඡන්දවලදී මාලිමාවේ කණ්ඩායමට විශාල බලයක් හිමිවීම.සමහර සමූපකාර සමිතිවල අධ්යක්ෂ මණ්ඩලයේ 100% ක බලය හිමිවුනේ මාලිමාවට.මාලිමාවෙන් සමූපකාර ඡන්දෙට දාන්න කණ්ඩායමක් හිටියට සමුපකාරය ගොඩදාන්න වැඩපිලිවෙලක් මාලිමාවට තිබුණේ නෑ.සමූපකාර සමිතිවල දැන් වෙලා තියෙන එකම වෙනස තමයි දිගටම පාඩු ලබපු සමූපකාර සමිති දැන් මාලිමාවේ අධ්යක්ෂ මණ්ඩලයක් යටතේ පාඩු ලැබීම විතරයී.
ඇත්තටම මාලිමාවටත් වෙන්නේ ජවිපෙට තිස්සමහාරාම ප්රාදේශීය සභාවේදී වෙච්චිදේම තමයි. තිස්සමහාරාම ප්රාදේශීය සභාවේ බලය ජනතාව ජවිපෙට දුන්නා ඔයාලට මතක ඇති.හැබැයි තිස්සමහාරාම ප්රාදේශීය සභාව ගෙනියන්න වැඩපිලිවෙලක් ජවිපෙට තිබුණේ නෑ.මුල් දවස්වල රටේම ඉන්න ජවිපෙ සාමාජිකයන් ගෙනත් තිස්ස කුණු කානු ටික සුද්ද කලා.පාරවල් අතුගෑවා.ඒවත් වැඩි දවසක් කරන්න බැරි වුනා. තිස්සමහාරාම ප්රාදේශීය සභාව ගොඩදාන්න තිස්සමහාරාම ජනතාවත් එකතු කරගත්ත සැලැස්මක් හදාගන්න ජවිපෙට බැරි වුනා.
ප්රතිඵලය වුනේ තිස්සමහාරාම ප්රාදේශීය සභාවෙන් පස්සේ මේ රටේ ජනතාව ජවිපෙට එක ප්රාදේශීය සභාවකවත් බලය නොදීමයි. සමූපකාර සමිතිවල බලය අල්ලපු මාලිමාවටත් වෙන්නේ ඕකම තමයි. ආය කවදාවත් මාලිමාවට සමූපකාර ඡන්දයවත් දිනන්න බැරි වෙනවා.ජවිපෙ ඇත්තටම දුවන්නේ වචනවලින් විතරයි.වචනවලින් දුවන්න පුළුවන් බොහොම කෙටි කාලයයි.කටින් බතල හිටවන්න ඕනි කෙනෙකුට පුළුවන්.හැබැයි ඒවා ප්රායෝගික කරන්න ගියහම තමයි ගොඩක් අයට වැඩ වරදින්නේ.
විමල් වීරවංශ කියන්නේ අති දක්ෂ කතිකයෙක්.විමල්ට එයාගේ කතා ඔස්සේ රටේ ජනතාව එක එක පැතිවලට ගෙනියන්න පුළුවන්කම තිබුණා.වේදිකාවේදී විමල් විරයෙක්. හැබැයි ප්රායෝගික දේශපාලනය ඇතුලේ විමල් වීරයෙක් නෙවෙයි. රාජපක්ෂලාට උපරිම මට්ටමෙන් දේශපාලන බැලමෙහෙවරකම් කරපු දේශපාලන බයියෙක් විතරයි.දැන් මේ සමාජයේ විමල්ගේ වචනවලට කිසිම වටිනාකමක් නෑ. රටේ රාළ කියන්නේ විමල්ට හෙලිකොප්ටරයෙන් ඉල්ලලා නං ආයෙත් පාර්ලිමේන්තු එන්න බෑ.
ඇත්තටම මාලිමාවට අත්වෙන්නෙත් ඒ ඉරණමම තමයි. දැන් මාලිමාවේ නායකයා කියන වචන ජනතාව විශ්වාස කරන්නේ නෑ.මාලිමාවේ නායකයෝ දැන් කියන්නේ කටට එන ඒවා.ඒක නිසා අනුරගේ,ටිල්වින්ගේ,ලාල්ගේ, හදුන්ගේ,බිමල්ගේ,විජිතගේ,වසන්ත සමරසිංහගේ….කතා ඒ විදිහටම පිලිගන්න ජනතාව ලෑස්ති නෑ.වමේ නායකයන්ගේ වචන හරි බරයි. නිරවුල්.පද පෙරලි නෑ.හැබැයි දැන් මාලිමාවේ නායකයන්ගේ වචන කියන්නේ තනිකරම පද පෙරළි. නැත්තං අහසේ තියන දේවල්. නැත්තං පට්ටපල් බොරු.
පාර්ලිමේන්තු අල්ලලා මේක අවසන් කරමු කිව්ව ලාල් කාන්තයි,සුනිල් හදුන්නෙත්තියි දැන් කියනවා එහෙම කිව්වේ නෑ කියලා.රටට ඩොලර් එවන්න එපා කියපු ටිල්වින් සහ හදුන්නෙත්ති දැන් කියනවා එහෙම කිව්වේ නෑ කියලා.IMF යන්න ඕනි.IMF එකෙන් අපට බරපතල කොන්දේසි දාන්න ඕනි කියපු හදුන්නෙත්ති දැන් එහෙම කිව්වේ නෑ කියනවා.අනුර එකක් කියනවා,හරිනි තව එකක් කියනවා. ටිල්වින් ඊටත් වැඩිය වෙනස් එකක් කියනවා.වසන්ත සමරසිංහට අනුව ජූනි 30 න් පස්සේ අපේ බැංකු පද්ධතිය කඩා වැටිලා තියෙන්න ඕනි.
අනුර කුමාරට අනුව ජූලි 21 වෙනිදා මහ බැංකුව ස්වාධීන ආයතනයක් වෙනවත් එක්ක අපේ රටේ මූල්ය පාලනය සහ ආර්ථික වැඩපිලිවෙල විධායකයෙන් සහ ව්යවස්ථාදායකයෙන් ගිලිහිලා ගිහින් තියෙන්න ඕනි.ඕස්ට්රේලියාවේ ගිහින් ආපු අනුර ලංකාවට ගොඩ බැස්ස ගමන් කිව්වේ ඕස්ට්රේලියාවේ ලෙඩෙක් ගෙනියන්න ඇම්බියුලන්ස් දෙකක් එනවා කියලා.එකක් කැඩුනොත් අනිකේ අරන් යන්නලු එහෙම එන්නේ.අනුර බැරිවෙලාවත් ජපානේ ගියොත් එහේ ලෙඩෙක් ගෙනියන්න ඇම්බියුලන්ස් තුනක් එනවා කියලා කියයි.
වැඩිහිටියන්ට සැලකීම පැත්තෙන් ජපානය කියන්නේ ලෝකයේ ගොඩක් ඉස්සරහින් තියන රටක්. මරණාසන්න රෝගියෙක් රෝහලකට ගේන්න හරි ප්රතිකාර කරන්න හරි එන ඇම්බියුලන්ස් එක්ක පොලිස් වාහනයකුත් එනවා. අනුර ඒක දැක්කොත් කියයි ජපානයේ පොලිසියට බදවා ගන්නේ දොස්තරලා කියලා.දැන් වෙලා තියෙන්නේ මාලිමාවේ රැල්ල විස්වාසයක් බවට පත්වෙලා ජනතාවගේ හදවත පතුලේ තැන්නත් වීම නෙවෙයි.මාලිමාවේ නායකයොත් ගහන්නේ අමු කෙප්ප කියලා අදහසක් ජනතාවගේම හදවත පතුලේ තැන්නත් වෙලා තිබීමයි.මුලදී මාලිමාව සම්බන්ධව තියපු විශ්වාස නැතිවෙලා තිබීමයි.
වර්තමාන ජවිපෙ කියන්නේ තවදුරටත් වමේ ව්යාපාරයක්වත්, විප්ලවවාදී ව්යාපාරයක්වත් නෙවෙයි.ජවිපෙ කියන්නේ තවත් ධනපති දේශපාලන පක්ෂයක් විතරයි.හැම අතින්ම ජවිපෙ නායකයෝ ධනපති දේශපාලන පක්ෂයක නායකයන්ට සමානයි. එයාලා ගත කරන්නේ අධි සුඛෝපභෝගී ජීවිත.අනුරගේ ප්රචාරක වැඩ කරන්නේ Advertising firm එකකින්.අනුරගේ ඇඳුම, භාවිතා කරන පාට,සටන් පාඨය පවා හදන්නේ එතනින්.හොඳට බලන්න පරණ ජවිපෙ සාමාජිකයෝ එකතු වෙලා හදපු අභිමානවත් වේදිකා දැන් තියනවද කියලා.දැන් Advertising Firm එකකට අධික මුදලක් දීලා හදන වේදිකා තමයි මාලිමාවේ තියෙන්නේ.
ධනපති පක්ෂයක ප්රචාරක වැඩවලට වියදම් කරන මුදල් වගේ දෙතුන්ගුණයක් දැන් මාලිමාව වියදම් කරනවා.මේ රටේ ධනපති දේශපාලන පක්ෂවල ප්රචාරක වැඩසටහන් සහ අනුරගේ ප්රචාරක වැඩසටහන කරන්නේ එක Advertising Firm එකකින් කිව්වොත් ඔයාලා පුදුම වෙයි.ඇත්තටම මාලිමාවට මෙච්චර සල්ලි කොහෙන්ද?මජර ක්රමයට හම්බ නොකරනවා නම් ඔච්චර සල්ලි කන්දරාවක් ජවිපෙට පිනට දෙන්න මේ රටේ ජනතාවට පුළුවන් කමක් නෑ.
ඒ තක්කඩි සංස්කෘතිකට දැන් ජවිපෙ සියලු නායකයෝ අනුගත වෙලා ඉවරයි.ඒ සංස්කෘතියෙන් මිදිලා ඉන්නවා නම් ඉන්නේ ජවිපෙ පහල සාමාජිකයෙක් විතරයි.ජනතා විශ්වාසය පළදු කර ගැනීමේ වරඳ විසින් මාලිමාවේ රැල්ල වාෂ්ප වෙලා ගිහින්.ජවිපෙ නායකයන් තවමත් හොයන එයාලට තේරුම් ගන්න බැරි ඇත්ත ඒකයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *