|

ආණ්ඩුවේ කන්තෝරු ගොළුබෙලි ගමන – වෙරිටේ රිසර්ච් පර්යේෂණායතනයේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ සුභාෂිණී අබේසිංහ

 

ලංකාවේ වර්තමාන ආර්ථීක අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ විදේශ විනිමය උපයන මාර්ග පුළුල් කර ගැනීමට නොහැකිවීමයි. විදේශ ණය ගෙවීමට අවශ්‍ය විදේශ විනිමය නැතිව දැන් අර්බුදයකට මුහුණ දී සිටිමු. ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් කර ගැනීමට සැරසෙන්නේ ගෙවීමට තිබෙන ණය කල් දමා ගැනීම පමණකි.

 

 

 

ඒ ණය ගෙවීම සඳහා ලංකාව විදේශ විනිමය ඉපයිය යුතුමය. විදේශ විනිමය ඉපයීම සඳහා දැන් සුලබව පාවිච්චි කරන මාර්ගය වන්නේ විදේශ ශ්‍රමිකයන් එවන සල්ලිය.

විදේශ විනිමය උපයන අනෙක් ප්‍රධාන මාර්ග දෙක වන්නේ අපනයන හා ඍජු විදේශ ආයෝජනය. එහෙත් ඒ මාර්ග දෙක මගින් රටට අවශ්‍ය තරමට විදේශ විනිමය උපයා ගැනීමට රටක් ලෙස අපි අසමත්ව සිටිමු.

ජාත්‍යන්තරයේ තරග කිරීමට අපේ අපනයනකරුවන්ට තිබෙන බාධක රැසකි. ඉන් එක් කාරණයක් වන්නේ තමන්ගේ අපනයන කටයුතුවල නියැලෙද්දී විවිධ රාජ්‍ය ආයතන සමග ගනුදෙන කරන්නට ගතවන කාලය හා පිරිවැයයි. අපනයනකරුවන් ලෙස සාර්ථකවීමට නම් නියමිත වෙලාවට නියමිත මිලට නියමිත ප්‍රමිතියෙන් යුතුව ගැනුම්කරුවා වෙත අදාළ භාණ්ඩ සැපයිය යුතුමය. එහිදී අදාළ රාජ්‍ය ආයතනවලින් ගතයුතු අවසාන අනුමැතිය, ලියාපදිංචි කිරීම් ආදී විවිධ කටයුතු සම්පූර්ණ කර ගැනීමට ගතවන කාලය හා පිරිවැය ඉතා වැදගත්ය. ආනයන අපනයන ක්‍රියාවලිය විනිවිදභාවයෙන් ඉතාමත් අඩු, සංකීර්ණ, කාලය විශාල වශයෙන් වැයවන ක්‍රියාවලියක් නම් අපට ලෝකය සමග තරග කරන්නට අපහසුය.

ඒ නිසාම ලෝකයේ වෙනත් රටවල් අපනයන ප්‍රවර්ධන කටයුතුවල දී විශාල අවධානයක් යොමු කරන්නේ රාජ්‍ය ආයතන මගින් අපනයනකරුවන්ට ලබාදෙන විවිධ සේවාවල කාර්යක්‍ෂමතාව වර්ධනය කර ගැනීමටය. එහි අරමුණ කාලය හා පිරිවැය අඩුකර ගැනීමය. ඒ සඳහා ගතහැකි පියවර ඉතා බොහෝය. අපේ රට හා අනෙකුත් රටවල් අත්පත් කරගෙන තිබෙන සාර්ථකත්වය මැන බැලීමට අවශ්‍ය තොරතුරු රැසක් ලෝක වෙළෙඳ සංවිධානය සතුව පවතියි.

ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජික රටවල් 125 කි. ඒ රටවල් 2017 දී වෙළෙඳාම පහසු කිරීම සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කරයි. ඒ ගිවිසුම හඳුන්වන්නේ වෙළෙඳාම පහසු කිරීමේ ගිවිසුම නමිනුයි. ඒ ගිවිසුමේ දී වෙළෙඳාම පහසු කිරීම සඳහා ඒ ඒ රටවලට ගතහැකි විවිධ ක්‍රියාමාර්ග පුළුල් ඛාණ්ඩ 36 ක් යටතේ වර්ග කර තිබේ. අදාළ සාමාජික රටවල් ඒ ගිවිසුමේ සඳහන් වෙළෙඳාම පහසු කිරීමට ගත හැකි ක්‍රියා මාර්ග කොපමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක කර තිබේ ද කියා ලෝක වෙළෙඳ සංවිධානය දැනුවත් කළ යුතුය. ඒ දැනුවත් කිරීම ඔස්සේ ඉහත කී තොරතුරු පද්ධතිය සැකසෙයි.

ලංකාව හා අනෙක් රටවල් විශේෂයෙන්ම ලංකාව සමග ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරග කරන රටවල්වන මැලේසියාව, තායිලන්තය, කම්භෝජය, ඉන්දියාව, බංග්ලාදේශය, වියට්නාමය වැනි අසියාතික රටවල් සහ ලෝකයේ අනෙකුත් දියුණු වෙමින් පවතින රටවල ප්‍රගතිය සමග ලංකාව අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය ඒ තොරතුරු පද්ධතිය ඔස්සේ සංසන්දනය කළ හැකිය. එය කළ හැකි නිර්ණායක දෙකකි.

2017 ආරම්භ වනවිට එනම් ඉහත කී වෙළෙඳාම පහසු කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක වීම ආරම්භ වනවිට ඒ රටවල් ඒ අවුරුද්දේ දී වෙළෙඳාම පහසු කිරීමේ ක්‍රියාමාර්ග කොපමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක කළ හැකි ද කියා ලෝක වෙළෙඳ සංවිධානයට කළ දැනුම්දීම ඉන් එක නිර්ණායකයකි. යම් රටක් යම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන බව 2017 දීම ලෝක වෙළෙඳ සංවිධානය දැනුවත් කළා නම් ඒ රට වෙළෙඳාම පහසු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ඒ වනවිටත් ගෙන තිබූ බව ඉන් ගම්‍ය වෙයි.

මැලේසියාව 2017 වනවිටත් ගෙන තිබූ ඒ ක්‍රියා මාර්ග සංඛ්‍යාව සියයට 94 කි. තායිලන්තය 2017 වනවිට ගෙන තිබූ ක්‍රියාමාර්ග ගණන සියයට 91.5 කි. කාම්බෝජය 2017 වනවිට ගෙන තිබූ ක්‍රියාමාර්ග ගණන සියයට 82 කි. ඉන්දියාවේ ඒ ප්‍රතිශතය සියයට 72 කි. එහෙත් ලංකාව 2017 වනවිට සූදානම්ව සිටියේ ඒ ක්‍රියාමාර්ගවලින් සියයට 29 ක් ක්‍රියාත්මක කිරීමටය. ඒ අනුව 2017 වනවිටත් ලංකාව තමන් තරග කරන ආසියාවේම අනෙක් රටවලට වඩා ඉතාමත් පසුගාමීව සිටි බව හෙළිවෙයි.

සතටු විය හැකි කරුණු දෙකක් 2017 සම්බන්ධයෙන් කිව හැකිය. ඒ එකක් වියට්නාමය ගැනය. 2017 දී වියට්නාමය සිටියේ ලංකාව වගේම පසුගාමී තත්ත්වයකය. 2017 වනවිට වියට්නාමය ගෙන තිබුණේ ඉහත කී ක්‍රියාවලින් සියයට 26කි. පොදුවේ ගත්තම ඒ 2017 වනවිට ලෝකයේ දුප්පත් රටවල් සූදානම්ව සිටියේ ද ඒ ක්‍රියා මාර්ගවලින් සියයට 27 ක් ක්‍රියාත්මක කිරීමටය. ඒ අනුව 2017 ලංකාව ඒ දුප්පත් රටවල් සමග සම තැනක සිටි බව අනාවරණය වෙයි.

එහෙත් 2017 වනවිට ලංකාව තම තරගකරුවන් වන ආසියාතික රටවල් සහ ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින මැදි ආදායම් රටවල් සමග සංසන්දනය කරනවිට සිටියේ ඉතාමත් පසුගාමී තත්ත්වයකය. ඒ රටවල් සියල්ල පොදුවේ ගත්විට 2017 වන විට ඒ ක්‍රියාමාර්ගවලින් සියයට 59ක් පමණ ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටි බව අප අමතක නොකළ යුතුය. 2017 වන විටත් ලංකාව ඒ බොහෝ රටවලට පසුගාමීව සිටි බව ඉන් අනාවරණය වෙයි.

2023 ජූනි මාසය වෙද්දි ලංකාව සිටින්නේ කොතැන දැයි ඒ තොරතුරු පද්ධතිය ඔස්සේ මැන බැලිය හැකිය. 2017 සිට 2023 වන විට ගෙවී තිබෙන අවුරුදු ගණන හයකි. 2017දී ලංකාව සේම වියට්නාමය ද සිටියේ ඉතා පසුගාමී තත්ත්වයකය. 2017දී ලංකාවේ තත්ත්වය සියයට 29ක් වූ අතර, වියට්නාමය සියයට 26ක් විය. 2023 වෙද්දී ලංකාව තම තරගකරුවන් වන අනෙක් රටවල් හඹා ගොස් ඒ රටවල් පසු කරන්නට කෙතරම් වේගයකින් කටයුතු කර තිබේද යන්න 2023 ජූනි මාසය වෙද්දී ලංකාව සිටින තැනින් අනාවරණය වෙයි.

ලංකාව මේ අවුරුදු හයේ දී සියයට 29 සිට සියයට 31.5ක් දක්වා වර්ධනය වී සිටියි. එහෙත් වියට්නාමය සියයට 26 සිට සියයට 87 දක්වා ඉහළ නැග සිටියි. ලංකාව තම රටේ වෙළෙඳාම පහසු කිරීම සඳහා නැතිනම් රටට ඩොලර් උපයා දෙන අපනයනකරුවන්ට සේවා සහ පහසු කම් සැලසීමට ඉබි ගමනක යද්දී, වියට්නාමය අශ්වයකු සේ වේගවත් ගමනක් ගොස් තිබෙන බව ඉන් අනාවරණය වෙයි.

වියට්නාමය සේම ලංකාව ද පහළ මැදි ආදායම් රටවල්ය. 2017දී ලංකාව ලෝකයේ දුප්පත්ම රටවල් සමග සම තැනක සිටියත්, 2023 ජූනි වෙද්දී ඒ දුප්පත් රටවල් ලංකාව පසුකරමින් සියයට 41.4ක් දක්වා ඉහළ ගොස් සිටියි. ඒ දුප්පත් රටවල් ගණන 20ක් පමණ වෙයි. බංග්ලාදේශය එක උදාහරණයකි. 2017දී සියයට 34ක් වූ බංග්ලාදේශය දැන් සියයට 44.5කි. ලංකාවට සමාන රටවල් එදා සියයට 59ක සිටිය දී ලංකාව සිටියේ සියයට 29කය. මේ අවුරුදු හයේ දී ඒ පරතරය තවත් ඉහළ ගොසිනි. ලංකාව දැන් සියයට 31ක සිටිය දී ඒ රටවල් සියයට 79කට ඉහළ ගොස් සිටියි.

අපනයන වැඩිකර ගැනීමටත්, අපනයන මූලික කරගත් විදේශ ආයෝජන වැඩි කර ගැනීමටත් ආනයන අපනයන ක්‍රියාවලියේ විනිවිදභාවය වර්ධනය කළ යුතුය. එය කාර්යක්ෂම කළ යුතුය. වංචාවට, දූෂණයට තිබෙන ඉඩකඩ ඇහිරිය යුතුය. පවතින තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නායකත්වය හා සම්පත්ය. තාක්ෂණික, මානව සහ මූල්‍යමය සම්පත් අවශ්‍යය. ඒවා දිය යුත්තේ රජයෙනි. දෙවැනි කාරණය නිවැරැදි නායකත්වයයි.

පසුගිය අවුරුදු හයේ දී ලංකාවේ ජාතික වෙළෙඳාම පහසු කිරීමේ කමිටුවේ සභාපතිත්වය හෙබ වූයේ ශ්‍රී ලංකා රේගුවයි. එම ආයතනයට ඒ යාන්ත්‍රණයට අවශ්‍ය තාක්ෂණික, මානව සහ මූල්‍යමය සම්පත් ලබා ගැනීමට රජයට කළ හැකි බලපෑම ඉතා අඩුය. එසේම රේගු දෙපාර්තමේන්තුවට රටේ ජාත්‍යන්තර වෙළෙඳාම පහසු කිරීමට තිබෙන වුවමනාව, ඕනෑකම, ගාය, ඇම්ම, රුදාව, අමාරුව හා උණ ඉතා පහළය.

අනෙක ශ්‍රී ලංකා රේගුව වංචාවේ හා දූෂණයේ තෝතැන්නයි. එවැනි ආයතනයක නිලධාරියකුට වෙළෙඳාම පහසු කිරීමට ගත යුතු පියවර හා ක්‍රියාමාර්ග ගනිතැයි විශ්වාස කළ නොහැකිය. හේතුව ඒ පියවර ගතහොත් වංචා හා දූෂණවල නියැලීමට තිබෙන දොරටු වැසී යන හෙයිනි. ඒ නිසා එවැනි ආයතනවල ප්‍රධානීන් වෙළෙඳාම පහසු කිරීමේ කමිටුවක සභාපතිත්වය දැරීමම ගැටලුකාරීය. ඉන්දියාවේ මේ කමිටුවේ සභාපතිත්වය දන්නේ එරට අමාත්‍ය මණ්ඩල ලේකම්ය. වියට්නාමයේ ​ෙම් කමිටුවේ සභාපතිත්වය දරන්නේ එරට නියෝජ්‍ය අගමැතිය. ඒ රටවල් මෙතරම් ප්‍රගතියක් අත්පත් කර ගෙන තිබෙන්නේ එවැනි ප්‍රබල හා බලපෑම් සහගත නායකත්වයක් ඊට ලබාදීම නිසාය.

අනෙක් කාරණය ඕනෑම දෙයක් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරි සැලසුම් සහ ප්‍රගතිය ඇගයීමේ ක්‍රියාවලියක් තිබිය යුතුමය. එසේම ඒ ක්‍රියාකාරි සැලසුම ප්‍රසිද්ධ කළ යුතුය. ඉන්දියාවේ වෙළෙඳාම පහසු කිරීමේ ක්‍රියාකාරි සැලැස්ම අන්තර් ජාලයට ගොස් අපටත් බලාගත හැකිය. එසේම ප්‍රගතිය ඇගයීම සඳහා සහ අධීක්ෂණය සඳහා ඉතා හොඳ යාන්ත්‍රණයක් ස්ථාපිත කර තිබේ. එහෙත් ලංකාවේ වෙළෙඳාම පහසු කිරීමේ ක්‍රියාකාරි සැලැස්ම ප්‍රසිද්ධියට පත් කර නැත.

එසේම ප්‍රගතිය ඇගයීම සහ අධීක්ෂණය සඳහා හොඳ ක්‍රියාවලියක් හෝ යාන්ත්‍රණයක් ද ස්ථාපිත කර නැත. ඒ නිසා ලංකාව අද සිටින තත්ත්වයෙන් ගොඩගැනීමට නම් පළමුව ජාත්‍යන්තර වෙළෙඳාම පහසු කිරීමේ සැලැස්මක් ප්‍රසිද්ධියට පත් කළ යුතුය. දෙවනුව එහි ප්‍රගතිය මැනීමට හා එය අධීක්ෂණයට විධිමත් හා කාර්යක්ෂම යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුයි. තෙවනුව ඒ කටයුතු සඳහා තාක්ෂණික, මානව සහ මූල්‍යමය සම්පත් දිය යුතුය. සිව්වනුව ඒ සියල්ල මැනවින් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රබල හා බලපෑම් සහගත නායකත්වයක් තිබිය යුතුය.

අප මේවා කියන්නේ ඇයි දැයි සිතන්නට, කල්පනා කරන්නට සහ ක්‍රියාත්මක වන්නට කැමැති කෙනකුගේ දැන ගැනීම සඳහා තවත් කාරණයක් කිව යුතුය. ඒ ලංකාවේ අපනයනය ආදායමයි. ලංකාවේ අපනයන ආදායම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2021 දී සියයට 17කි. ලංකාව සැලසුම් කරගෙන සිටියේ 2010 සිට 2020 වෙද්දී අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 10.6 සිට 20 දක්වා වර්ධනය කර ගැනීමටය.  එහෙත් 2023 වෙද්දිත් එය ඩොලර් බිලියන 13කි.

ලංකාවේ අපනයන ආදායම 2020 දී ඩොලර් බිලියන පහකි. 2021දී ඩොලර් බිලියන 12කි. බංගලාදේශ​ෙය් 2000දී ඩොලර් බිලියන හයකි. 2021දී ඩොලර් බිලියන 44කි. ඉන්දියාව 2000 සිට 2021 වෙද්දී ඩොලර් බිලියන 42 සිට 395 දක්වා තම අපනයන ආදායම වර්ධනය කරගෙන තිබේ. තායිලන්තය 2000 සිට 2021 වෙද්දී ඩොලර් බිලියන 69 සිට 272 දක්වා තම අපනයන ආදායම වර්ධනය කර ගෙන තිබේ. වියට්නාමය 2000 සිට 2021 වෙද්දී තම අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 14 සිට 336 දක්වා වර්ධනය කරගෙන සිටියි.

ලංකාව සිටින්නේ කොතැනක ද කියා ඒ තොරතුරුවලින් හෙළිවෙයි. අපනයන ආදායම වැඩි කර ගැනීමට කළ යුතු දේවල් රාශියකි. මෙහිදී අප කතා කළේ ඒ අතරින් වෙළෙඳාම පහසු කර ගැනීම ගැන පමණකි. එය කිරීමේ මූලික වගකීම තිබෙන්නේ රජයටය. ලංකා රජය මෙතෙක් ක්‍රියාත්මක වී තිබෙන ආකාරය ඉහතින් දැක්වූ තොරතුරුවලින් මැනවින් ප්‍රදර්ශනය වෙයි. ඉදින් වෙළෙඳාම පහසු කිරීම සඳහා ඉදිරියටත් යන්නේ මේ වේගයෙන් නම් රටට දෙවි පිහිට යදිනවා හැර වෙන කුමක් කරන්නද?

වෙරිටේ රිසර්ච් පර් යේෂණායතනයේ ආර්ථික පර් යේෂණ අධ්‍යක්‍ෂ 

සුභාෂිණී අබේසිංහ

සාකච්ඡා සටහන – ගුණසිංහ හේරත්

ලංකාදීප

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *