ගොබෙල්ස්ලාගේ රාජපක්ෂ – සී. ජේ. අමරතුංග

 

ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසිවාදී පාලනය යටතේ ජර්මනියේ ප්‍රචාරක කටයුතු භාරව සිටි ගොබෙල්ස් ඇමැතිවරයා බොහෝ දෙනාට නැවත නැවත සිහිපත් වන්නේ බොරු ප්‍රචාර පිළිබඳව ඔහුගේ ඉගැන්වීම නිසාය. නාසි ප්‍රචාරක යන්ත්‍රයට ඔහු උපදෙස් දුන්නේ බොරු ගොතා නැවත නැවත ප්‍රචාරය කරන ලෙසයි. පළමුවරට, දෙවනවරට එම බොරුව විශ්වාස නොකළ ජනයා එයම නැවත නැවත කියනවිට පිළිගන්නා බව ගොබෙල්ස්ගේ අදහසයි. ඔහුගේ තවත් අදහසක් නම් මහජනයාට හිතාගන්නට බැරි තරම් ලොකු බොරු කියන ලෙසයි. ඔහු කීවේ සාමාන්‍ය ජනයාද කුඩා කුඩා බොරු කියන්නට පුරුදු වී සිටින නිසා පොඩි බොරුවක් ගැන ඔවුනට වහාම සැක සිතිය හැකි බවයි. ලොකු බොරුවක් කී විට එය සැක කරනවා අඩු බවයි. එතරම් ලොකු බොරුවක් කිව හැකි දැයි මහජනයාට හිතාගැනීමට බැරි තරම් බොරුව ලොකු වූ විට අවිශ්වාසය අඩුවන බව ගොබෙල්ස්ගේ න්‍යායයි.

ගොබෙල්ස්ගේ මෙම න්‍යාය දැන් නැවත සිහියට නැගෙන්නේ විපක්ෂයේ ඇතැමුන් දැන් කියාගෙන යන ඇතැම් ප්‍රකාශ අසන දකින විටය. එම ඇතැම් කතා කියනවිට ලොකු බොරු කීම හා නැවත නැවත බොරුකීම ගැන ගොබෙල්ස්ගේ න්‍යාය මතක්වීම ස්වභාවිකය.

රටේ සම්පත් විකුණනවා කියා ආණ්ඩුවට චෝදනා කිරීම විපක්ෂයේ පිරිස් දැන් නැවත ආරම්භ කොට ඇත. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, ශ්‍රී ලන්කන් එයාර් සමාගම සඳහා ව්‍යාපාරික ගිවිසුම්වලට එළඹීම මොවුන් කියන්නේ විකිණීමක් කියාය. ඔවුන් එතනින් නවතින්නේ නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ අපේ කාලයේ මේවා ලාභ ලැබුවා. මේ ගොල්ලො ඇවිත් පාඩු කරලා විකුණනවා’ කියාය. “වරායට නැව් එන්න දෙන්නේ නෑ. මත්තලට ගුවන් යානා එන්න දෙන්නේනෑ.’ යනුවෙන්ද ඒ මහතා කියා තිබුණි. ගොබෙල්ස් ගැන දන්නා ඕනෑම කෙනෙකුට මෙම කතා අසනවිට ඔහුව මතක්වීම වළක්වන්නට බැරිය.

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ මෙන්ම ශ්‍රී ලන්කන් එයාර් සමාගමට සිදුව තිබුණේ මොකක්ද කියා නොදන්නා කෙනෙක් වෙත්නම් ඒ කුඩා දරුවෙක් පමණක් විය යුතුය. මේවා පාඩු ලැබුවේ කෝටි සිය දහස් ගණනින්ය. එමි‍රේට්ස් යටතේ ලාභ ලබමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මහජන ධනය ගිලින සුදු අලියකු බවට පත්කොට තිබුණේ ඥාතීන්ට මුදල් ගරා ගැනීමටය. ගුවන් යානා මිලදී ගන්නවා කියමින් විශාල කොමිස් කුට්ටි සාක්කුවේ දමා ගන්නටය. ඒවා නවත්වා පාඩුව යන්තම් අඩුකරගෙන ඇත්තේ පසුගිය වසර එකහමාරක කාලය තුළදීය.

මිය ගොස් ඉපදුණු අය

හම්බන්තොට වරාය ප්‍රකටව තිබුණේ ලෝකයේ විශාලතම නාන තටාකය වශයෙනි. එයට නැවක් පැමිණීම ප්‍රවෘත්තියක් බවට පත්ව තිබුණි. පසුගිය කාලයේ නැව් එක දෙක එන්න පටන් ගත්තේ ප්‍රති නැව්ගත කිරීම් ආදිය සඳහා ලබා දුන් දිරි දීමනා හේතුවෙනි. එනම් කොළඹ වරායට තුබූ ආදායමත් අහිමි කර ගනිමිනි.

මත්තල ගැන කියන්නටම දෙයක් නැත. සතියකට ආවේ එක ගුවන් යානයකි. ඒ බජට් එයාර් ලෙස හඳුන්වන ලාබෙට මගීන් ගෙනියන යානයකි. එපමණකි.

අපේ කාලයේ ලාභ ලැබූ ආයතන පාඩු කරවා විකුණන්ට හදනවාය කියා කියන්නේ ව්‍යාපාරික ගිවිසුම් මගින් මේවා ගොඩදාන්න හදන එකටය. සුදු අලින් බවට පත්ව තිබෙන ආයතන ලාභ උපදවන ආයතන බවට පත්කරන එකටය.

විපක්ෂය ප්‍රචාරය ගෙනයන්නේ මහජනයා මේ වසර දෙක ඇතුළත මැරිලා ඉපදුණා කියලා හිතාගෙන වගේය. මේ තරම් කරුණු විකෘති කොට හිතාගත නොහැකි මට්ටමේ බොරු කියන්නේ එසේ දිගටම කියනවිට ඒවා විශ්වාස කරන්නට මහජනයා පෙළඹෙනු ඇතැයි සිතා විය යුතුය. කෙසේ වෙතත් මේ අවුරුදු අසූවකට පෙර ජර්මනිය නොවේ. විසි එක්වන සියවසේ ශ්‍රී ලංකාවයි. එදා ජර්මන් ජනයාට තොරතුරු ලැබුණේ ආණ්ඩුවේ ගුවන්විදුලියෙන් හා පුවත්පත්වලිනි. දැන් විසි එක්වන සියවසේ මෙරට ජනයාට තොරතුරු ලැබෙන මාර්ග විශාල ප්‍රමාණයකි.

අනෙක් අතට කොතරම් බොරු කීවත් ගොබෙල්ස්ලාට හිට්ලර්ගේ නාසි පාලනය රැකගන්නට බැරි විය. ඔවුන්ට අත්වූයේ විනාශයයි. අදත් එබඳුම ව්‍යාපෘති මත විශ්වාසය තබන උදවියට විනාශය අත්විය හැක්කේ වඩාත් ඉක්මනින්ය.

විපක්ෂයේ උදවිය කියන්නේ රටේ සම්පත් විකුණනවා කියාය. ඒ කියන්නේ මේවා කොතරම් පාඩු ලැබුවත් මහජන මුදලින් ගෙවමින් හා ඒවා හදන්නට ගත් ණයද ගෙවමින් ඔහේ පවත්වාගෙන යා යුතු බවයි. මෙම වරාය හා ගුවන්තොට ප්‍රධාන නැව් මාර්ග, ගුවන් මාර්ග අසල ගොඩ නගා ඇති බවද දැන් නැවත කියති. එය ඇත්තකි. ඒත් ඒවාට නැව්, ගුවන් යානා ආවේ නැත. එය සිදුවිය යුත්තේ වෙනම ව්‍යාපාරික සැලසුම් මගිනි. කවදා හෝ නැව්, ගුවන් යානා එනු ඇතැයි කියා කොතරම් කලක් මේවා නඩත්තු කරන්නද? එලෙස කරනවිට විනාශ වන්නේද මෙරට සංවර්ධනය සඳහා තිබෙන මුදල්ය.

කොළඹ වරායේ ආදායමෙන් හම්බන්තොට නඩත්තු කරනවිට ණය ගෙවනවිට කොළඹ වරාය ද සංවර්ධනය කළ නොහැකිය. කටුනායක ආදායමින් මත්තල ණය ගෙවනවිට, නඩත්තු කරනවිට කටුනායක ද අනතුරේය. ඒ අතර මෙබඳු ආයතන නඩත්තුවට රටම අගාධයට ඇදගෙන යාමට හේතුවිය හැකිය. මේවා ඇත්ත වශයෙන්ම විකුණා දැම්මද එයින් රටට වන්නේ යහපතකි. නමුත් රජය ඇත්තටම කරන්නට යන්නේ බදු පදනමක් යටතේ හවුල් සමාගම් මගින් මේවා කළමනාකරණය කරමින් සංවර්ධනය කිරීමයි.

ජාතික සම්පත් පවුලේ අයට

පාඩු ලබන රාජ්‍ය ආයතන රාශියක් නඩත්තු කිරීමට මෙරට ජනයාට සිදුව ඇත. කාලයක් තිස්සේම පාඩු ලබන ආයතන වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ලංගමය දුම්රිය සේවය ආදියයි. පාඩු ලැබුවද මෙම ඇතැම් සේවා රජය මගින් පවත්වාගෙන යා යුතුය කියා තර්කයක් ඇත. එනම් ඒවායේ උපායමාර්ගික වැදගත්කම, ඒකාධිකාරි ස්වභාවය හා මහජන සේවා වීම ආදී කාරණා නිසා පෞද්ගලික අංශයට පැවරිය නොහැකිය යන්නයි. එය යම් තාක් දුරකට ශක්තිමත් තර්කයකි.

කෙසේ වෙතත් හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, ශ්‍රී ලන්කන් එයාර් ආදී ආයතන සම්බන්ධයෙන් එබඳු තත්ත්වයක් නැත. ඒවා දිගින් දිගට රජයෙන් නඩත්තු කරනවා කියන්නේ මහජනයා මත බදුබර වැඩි කළ යුතුවීමයි. මහජනයාගේ බදු මුදලින් මේවා පවත්වාගෙන යාම වෙනුවට ඒවා පෞද්ගලික සමාගම් සමඟ හවුල්ව ව්‍යාපාරික කටයුතු ලෙස සංවර්ධනය කිරීමේ කිසිදු වරදක් නැත. මේවා සැබැවින්ම රටේ සම්පත් බවට පත්වන්නේ එවිටය. ඒ අනුව මේ කරන්නට යන්නේ සම්පත් විකිණීමක් නොව රටට අලුත් සම්පත් ගොඩනැඟීමයි. විපක්ෂයේ කට්ටිය විරුද්ධ වන්නේ ඒකටය. ටොම්පච ඇදබාමින් මහජන විරෝධයක් ගොඩනගන්නට හදන්නේ රටට සැබෑ සම්පත් බිහිකරනවාට විරුද්ධවය.

මාක්ස්ටත් වැඩි මාක්ස්වාදීන්

රටේ සම්පත් ගැන කතා කරන මේ උදවි‍යගේ මතවාදයට වෙනත් පදනමක්ද ඇති බව පෙනෙන්නට තිබේ. එනම් සියලු දේ රජය යටතේ තිබීම ප්‍රගතිශීලි බවය. නැතහොත් සමාජවාදී බවය. පෞද්ගලික අංශයට ලබාදීම ප්‍රතිගාමී බවය. ධනවාදී බවය. සමාජවාදයට එරෙහිවීමක් බවය.

විද්‍යාත්මක සමාජ වාදයේ ගුරුවරුන් වන කාල් මාක්ස් හා ‍ෙෆඩ්රික් එංගල්ස් මෙවැනි අදහස් සැලකුවේ බොලඳ අදහස් වශයෙනි. ‘අනේ මම නම් මාක්ස්වාදියෙක් නොවෙයි’ කියා කාල් මාක්ස් කීවේ මාක්ස්ගේ නම විකුණමින් මෙවැනි කතා කියන උදවිය ගැනය.

ෆෙඩ්රික් එංගල්ස් කීවේ රජයට පවරා ගැනීම සමාජවාදී නම් අපට නැපෝලියන් බොනපාට් පවා සමාජවාදීන්ගේ නාමලේඛනයට එකතු කිරීමට සිදුවන බවයි. එබැවින් රජය යටතේ ආයතන තිබීම ප්‍රගතිශීලී යැයි සිතීම මුලාවකි. එමෙන්ම එය සමාජවාදය ලෙස සලකා ක්‍රියාකිරීම මෝඩකමකි. ඇතැම්විට වඩා ප්‍රගතිශීලී වන්නේ අද සමාජයේ ඉදිරි ගමනට දායක වන්නේ රජයේ ආයතන පෞද්ගලිකකරණය කිරීමයි. එය බොහෝ අත්දැකීම් මගින් තහවුරු වී ඇති සත්‍යයකි.

සියලු දේ ජනසතු කළ යුතු යැයි සිතූ යුගයක් මේ රටේ අතීතයේ තිබිණි. 1977 පෙර පැවැති එම යුගය අවසන් කළේ ජේ. ආර්. ජයවර්ධන පාලනය විසිනි. සියයට දෙකක් තුනක් මට්ටමේ තිබූ මෙරට ආර්ථික වර්ධනය සියයට හත අට මට්ටමට ඉහළ ගියේ පෞද්ගලික අංශයට ඉඩ දුන් එම කාලයේ සිටය. වෙළෙඳ පොළ ආර්ථිකයට ආපසු හැරවිය නොහැකි පදනමක් වැටී තිබෙන්නේ ඒ නිසාය.

එකල අපට ටයර් හදන්නට ආණ්ඩුවේ සංස්ථාවක් තිබිණි. එය ලාභ ලැබුවේය. ඒ ගිනිගාණට ටයර් විකිණීමට තිබූ ඒකාධිකාරය නිසාය. පිටරටින් ගෙනෙන ටයර්වලට සියයට තුන්සියයක බදු නියම කොට තුබූ නිසාය. වාමාංශිකයන් කීවේ එය රජය විසින්ම පවත්වාගෙන යායුතු බවයි. එජාප රජය එය විකුණා දැමීය. දැන් මෙරට නිෂ්පාදිත ටයර් විදේශීය වෙළෙඳ පොළටද යැවේ. තරගකාරී මිලකට පාරිභෝගිකයාට ටයර් මිලදී ගත හැකිය. ලබන වසර වනවිට ලෝකයේ ප්‍රධාන ටයර් නිෂ්පාදකයකු මෙරට කර්මාන්ත ශාලාවක් අරඹන බවද වාර්තා වී ඇත.

මේ කාලය තුළ සිදුවී ඇති අනෙක් වෙනස නම් එදා රබර් කිරි රට යවා නිෂ්පාදන ගෙන්වූ මෙරටින් දැන් වැඩි වශයෙන් රබර් නිෂ්පාදන රට යැවීමයි. මේවා කරන්නේ පෞද්ගලික අංශයේ සමාගම් විසිනි. ඔවුන්ට එම අවස්ථාව ලැබුණේ ටයර් සංස්ථාව විකුණා රජයේ ඒකාධිකාරය අහෝසි කිරීම නිසාය. ටයර් සංස්ථාව නම් බොරු සම්පත වෙනුවට රටෙහි රබර් නිෂ්පාදනය කර පිටරට යවන සමාගම් රාශියක් දැන් රටට සම්පත් වශයෙන් පවතියි.

ටෙලිකොම් ආදර්ශය

ශ්‍රී ලංකා ටෙලිකොම් විකුණා ඒකාධිකාරිය අහෝසි කොට වෙනත් සමාගම්වලට ඉඩදීමෙන් ලැබුණු ආර්ථික වර්ධනය අතිවිශාලය. එදා දුරකථනයක් ගැනීමට වසර හතර පහක් පොරොත්තු ලැයිස්තුවේ සිටිය යුතු වූ රටේ දැන් දුරකථන විකුණන්නේ ඇ‍ඟේ ගහලාය. පසුගිය දශක දෙකක පමණ කාලයේ වැඩිම වර්ධනය ඇති ක්ෂේත්‍රය සන්නිවේදනයයි. එයට වෙනත් සාධකද ඇති නමුත් පෞද්ගලිකකරණය ප්‍රධාන සාධකය බව පැහැදිලිය. ව්‍යාපාර සංවර්ධනය සඳහා බොහෝ දේ අවශ්‍යය. භූමිය, ප්‍රාග්ධනය නැතහොත් මුදල්, කාර්මික ඥානය, ව්‍යාපාරික ඥානය ආදී මෙකී නොකී දේ එයට අදාළය. ඒවා අප සතුව නැතිනම්කොහෙන් හෝ සපයාගත යුතුය. ඒ සඳහා නොයෙකුත් ක්‍රමවේද ඇත.

ජේ. ආර්. ජයවර්ධන රජය කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ඉදිකරනවිට වාමාංශිකයන් කීවේ අපේ රට සූරාකන්න සුද්දන්ට ඉඩදෙනවා කියාය. මෙයින් අපට තුට්ටුවක වැඩක් නැති බවය. ඇඟලුම් හා වෙනත් කර්මාන්ත රැගෙන සුද්දෝ මෙහි ආවෝය. ටික කලකින් අපේ ව්‍යාපාරිකයෝ එම කර්මාන්ත හා වෙළෙඳ පොළ අත්පත් කර ගත්හ. දැන් මේ කර්මාන්ත රටේම සම්පතකි. රටක් ගොඩගන්නේ එබඳු ක්‍රියාමාර්ග මගිනි.

චීනයේ මාවෝ සේතුං ජීවත්ව සිටියදී කීවේ ‘ස්ව ශක්තිය මත විශ්වාසය තබමු’ කියාය. මාඕගේ මරණින් පසුව බලවත් වූ ඩෙන් ෂියාවෝ පෙන් එම මතය පිළිගත්තේ නැත. චීන වෙළෙඳ පොළ විදේශිකයන්ට විවෘත කළේය. අමෙරිකානු, යුරෝපීය, ජපන් සමාගම් පැමිණ චීනයේ කර්මාන්ත ආරම්භ කළේය. පසුව චීන සමාගම් ක්‍රමානුකූලව බලවත් විය. කොමියුනිස්ට් චීනය දැන් ප්‍රකෝටිපතියන් බහුල රටකි. චීන ආර්ථිකය බලවත් බව කිව යුතු නැත. සම්පත් බිහිවන්නේ එහෙමය.

එබැවින් රටේ සම්පත් විකුණනවා කියමින් හා එයට එක්කර අමූලික බොරු වපුරමින් ජනමනස විකෘති කරන්නට උත්සාහ දරන්නේ රටට විශාල විනාශයක් කරන්නටය. ර‍ෙට් සංවර්ධනය පටන් ගත් තැනම බිඳ දමන්නටය. මෙය දේශද්‍රෝහී ක්‍රියාවකි.

ගෝබෙල්ස්‍ලාගේ බොරු කීමේ න්‍යාය තවමත් ක්‍රියාත්මක කරන මෙම වර්ගයේ දේශපාලනඥයන් මේ වනවිටත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් සිටීම රටේ භාග්‍යයකි. මොවුන්ගේ ජන පදනම දියවෙමින් යන බව පැහැදිලි කාරණයකි. ටොම් පච සරණ යන්නේ එම දියවෙන පදනම රැකගන්නට කරන උත්සාහයක් වශයෙනි. එය සාර්ථක වන බවක් පෙනෙන්නට නැත. හිට්ලර්ලා ගොබෙල්සාලා මෙන්ම ‍ෙමාවුන්ද වැටෙන්නේ ඉතිහාසයේ කුණු කූඩයටය.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *