අස්වැසුම නොලබන සමෘද්ධි ලාභීන්ට සමෘද්ධි දීමනා දිගට ම

 

දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කට සමෘද්ධි දීමනාව තව දුරටත් ලබා දීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට සමෘද්ධි සහනාධාරය ලබන පිරිස අතරින් පවුල් 1,280,000ක් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති අතර ඉන් පවුල් 887,653ක් සුදුසුකම් ලබා ඇති බවය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

දැනට ඉදිරිපත්ව ඇති අභියාචනා සහ විරෝධතා සලකා බැලීමේ කටයුතු කඩිනමින් සිදුවෙමින් පවතින අතර එය අවසන් වූ වහාම නව අයදුම් පත් භාරගැනීම ද ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

දැනට පවුල් 1,792,265ක් අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඉන් 946,612ක් සුබ සාධන ප්‍රතිලාභ ලැබීම සඳහා අලුතින් ඇතුළත් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අස්වැසුම පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති අතර අභියාචනා සහ විරෝධතා පිළිබඳ සලකා බැලීමෙන් පසු එම ඉලක්කය කරා ළඟාවීමට හැකි වනු ඇති බව ද සේමසිංහ මහතා පැවැසීය.

මේ අතර දැනට වැඩිහිටි, වකුගඩු සහ ආබාධිත ආධාර ලබන පිරිස වෙනුවෙන් මීට පෙර ක්‍රියාත්මක වූ පරිදි ම අදාළ මුදල් ගෙවීම සිදුකරනු ලබයි.

ඒ අනුව වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මඟින් ද වකුගඩු සහ ආබාධිත දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ද ලබා ගැනීමේ හැකියාව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට ආගමික ස්ථානවල සිටින පූජ්‍ය පක්ෂයට, වැඩිහිටි නිවාස, ළමා නිවාස සහ ආබාධිත මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් 11,660 දෙනාට ද පෙර පරිදි සිය දීමනා හිමි වනු ඇත.

මේ අතර, අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා අද වන විට ගිණුම් ලක්ෂ 10ක පමණ තොරතුරු මේ වන විට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී ඇති අතර ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හැකි ඉක්මණින් ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබූ පිරිසගෙන් ඉල්ලා සිටී.

ඒ සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවල ද විවෘතව පවතිනු ඇත.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *