මීට වඩා බලය ඕනේ ද? 13 ඇති ද? ; දෙමළ පක්ෂ අතර ද මත ගැටුමක්

මීට වඩා බලය ඕනේ ද? 13 ඇති ද?

සර්ව පාක්ෂික සමුළුවේ දී දෙමළ දේශපාලන පක්ෂ අතර ද මත ගැටුමක් හටගත් බව රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සඳහන් කළේය.

සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාඝවන් මහතා,

“මෙතන දී අන්තිමට වුණේ දෙමළ පක්ෂ අතර, මොකද්ද කරගන්න ඕනේ කියලා ඒකමතික තීරණයක් තිබුණේ නෑ. සුමන්තිරන් මන්ත්‍රීතුමා, විග්නේෂ්වරන් මන්ත්‍රීතුමා සහ ඉතුරු අය අතරේ, මීට වඩා බලය ඕනේ ද? 13 ඇති ද? ඡන්දේ තියන්න ඕනේ ද කියන මතවාදය ගොඩක් මතුවුණා. ඒ අය ඒ ප්‍රශ්නය විසඳාගන්න ඕනේ. අපි පැහැදිලිව කියනවා අපිට සහෝදරත්වයෙන් ගොඩවෙන්න නම්, එකමුතුකම අවශ්‍යයි ආර්ථිකය ගොඩනැඟුණු කළ උතුරේ වගේම දකුණෙත් බොහෝ ප්‍රශ්න විසඳෙනවා. මම හිතන්නේ අපි ලබන මාසයේ දී නැවත හමුවීමට නියමිතයි. එහිදි මීට වඩා පැහැදිලි සහ සම්මුතවාදී ස්ථාවරයකට එන්න පුළුවන් වෙයි කියන එක මාගේ ස්ථාවරය. මගේ ආණ්ඩුකාර කාලෙත් මම කිව්වා. දෙමළ පොලීසියක් අවශ්‍ය නැත. තියෙන පොලීසියට දෙමළ අය බඳවා ගන්න.”

‍ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර තීන්දුවක් ගැනීම තම ස්ථාවරය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්නේ නම් එහි ඇති අඩුපාඩු සකස් කළ යුතු බවය.

ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර තිබේ.

පවතින ගැටලු විසඳීම සඳහා නව නීති සම්මත කිරීමේ බලය තමාට පමණක් නොවන විධායක ජනාධිපතිවරුන් හත්දෙනාට ද නොතිබූ බව පෙන්වාදුන් ජනාධිපතිවරයා පවතින ගැටලු විසඳාගැනීම වෙනුවෙන් නව නීති සම්මත කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුව සතුව බව පෙන්වාදුන්නේය.

පාර්ලිමේන්තුවේ එක් ඡන්දයක් පමණක් ඇති තමාට එම කාර්යය තනිව සිදුකළ නොහැකි බවත් එම කටුයුත්ත ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනා සාමුහිකව කැපවී ක්‍රියා කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.

ඊයේ පැවති සර්ව පාක්ෂික සමුළුවට ජාතික ජනබලවේගය හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින් සහභාගී වී  තිබේ.

එම හමුවෙන් අනතුරුව අදහස් දක්වමින් සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ ආණ්ඩුව ජනතාව නොමඟ යවමින් පළාත් සභා මැතිවරණය කල් දැමීමේ සූදානමක පසුවන බවය.

මේ අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනය වැනි කරුණු පිළිබඳ පිළිතුරු සෙවීමේ දී ජනාධිපතිවරයා අතීතය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේය.

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ ද එකඟතාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මේ අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විසඳුම පිළිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසුවේය.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *