ජනවාරි 8ට පෙර වැදගත් තීරණ කිහිපයක් ක්‍රියාවට නැගීමේ සූදානමක් !

බලයට පත් වී වසර දෙකක් සපිරෙන ජනවාරි 08 වෙනිදාට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැදගත් තීරණ කිහිපයක් ක්‍රියාවට නැගීමට සූදානමින් සිටින බව ජනාධිපති නිළ නිවසින් යුක්තියට වාර්තාවේ. මේ තීරණවලට කැබිනට් සංශෝධනයක් ද ඇතුලත් බව වැඩි දුරටත් දැනගන්නට ඇත. ඒ අනුව රාජපක්ෂලාට එරෙහිව ක්‍රියාත්මක වන නීතිමය කටයුතුවල ප්‍රමාදයට බලපා ඇති එක්තරා අමාත්‍ය අංශයක් බාර ඇමතිවරයාට එම අමාත්‍යාංශය අහිමිවන බව ද දැනගන්නට තිබේ.
මෙයට අමතරව අතුරුදන්වූවන් පිළිබඳ කටයුතු කිරීම සඳහා පිහිටුවීමට නියමිත ආයතනයට අදාළ ගැසට් පත්‍රයට අත්සන් කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බව ද වාර්තා වේ. මේ තීරණ අතර වැදගත්ම තීරණයක් වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම සඳහා ජනාධිපතිතුමා එහි දේශපාලන නායකත්වය ගැනීමට ඇති සූදානම ය. දැනගන්නට ඇති පරිදි නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියකින් අනතුරුව ජනමත විචාරණයට ගොස් ඉන් අනතුරුව පලාත්පාලන ඡන්දයට මුහුණ දීමට ජනාධිපතිවරයා තීරණයකර ඇතිබව කියැවේ. එළඹෙන ජනවාරි 08 වෙනිදා හෝ එයට පෙර ජනාධිපතිවරයා මෙම තීරණ ප්‍රකාශයට පත්වීමට නියමිත බව ද වැඩි දුරටත් දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *