ඉන්දියාවෙන් ‘බැක් ඩේට්’ කර ලැබුණු රනිල්ගේ ‘මැන්ඩේට්’ එක

 

රට පාලනය කරන්න වැදගත් වන්නේ කයිවාරුව හෝ බොරු පුරාජේරුව නොවේය. දැනුම, බුද්ධිය සහ දැක්මක් තිබීමය. ඒවා කැටි කළ වැඩපිළිවෙළක් තිබීමය. වැඩපිළිවෙළ ක්‍රියාවට නැඟීමට හැකියාවක් තිබීමය. පරිපාලන හැකියාව සහ කළමනාකරණ හැකියාව එහිදී සුවිශේෂීය. එසේම රාජ්‍ය තාන්ත්‍රිකභාවයත් පළපුරුද්දත් අවශ්‍යමය. ජනපති රනිල් පාලන බලය ගත් මොහොතේ විපක්ෂයේ නරි උඩ බිරුවේ ඔහුට “මැන්ඩේට් එකක්” නැති නම් ජනතා වරමක් නැති බව කියමින්ය. නමුත්, ජනපති රනිල් වික්‍රමසිංහගේ පදවි ප්‍රාප්ත්තියට වසරක් පිරෙන තැන, රට ඇත්තේ වසරකට පෙර තිබූ තැන නොවේය. මෑත ඉතිහාසයේ මෙරට රාජ්‍ය නායකයකු සිදු කළ දුෂ්කර සහ අභියෝගාත්මක නිල සංචාරය ලෙස ජනපති රනිල් වික්‍රමසිංහගේ ඓතිහාසික ඉන්දියානු නිල සංචාරය කා අතරත් කතාබහට ලක්ව ඇත.

ඒ, අර්බුදයෙන් ගොඩ එන්න ඉන්දියාවේ සහය ඉල්ලීමට සාපේක්ෂව සුළු ජාතීන් සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ද ඉන්දියාවට සැපයීමට තිබූ නිසාය. එහිදී පිච්චියට හිඳුණු රටක් ලෙස රාජ්‍යතාන්ත්‍රික කේවල් කිරීමක් කරන්න හෝ දෙයක් මෙරටට තිබුණේ නැත. එහෙම පසුබිමක ඉන්දියාවේ සංචාරය කිරීම අතිශයම අභියෝගාත්මකය. නමුත්, ජනාධිපති රනිල් සතුව ඒ සඳහා ද බලගතු අවියක් තිබිණ. ඒ මෙරට ජාතික ගැටලුවට අදාළ ඔහුගේ දැක්ම, ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළය.

ජාතික ගැටලුව විසඳීමට අදාළ උතුර නැඟෙනහිර ද්‍රවිඩ දේශපාලන නායකයන් සමඟ අවසන් වරට පැවති සාකච්ඡාවේදී තම ස්ථාවරය ප්‍රසිද්ධියේ කීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ “මම මේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන තැනදී මේකේ කෙළවරක් දක්වාම යන්න හිත හදාගෙනයි ඉන්නේ” ( I am determined to go all the way) කියා සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ මුහුණටම කියමින්ය. මෑත ඉතිහාසයේ මෙරට රාජ්‍ය නායකයකු එතරම් ධෛර්යවත්ව මේ ගැටලුව සම්බන්ධව අදහස් දක්වා නැත.

පළමුවෙන් අසල්වැසියා

ශ්‍රී ලංකාව ඉන්දියාව යා කරන පාලමක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර සිටියේ මීට කාලයකට පෙරය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්ධන නළ පද්ධතියක් ඇතුළු බහුවිධ බලශක්ති මාර්ගයක අවශ්‍යතාව ද එසේමය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාලමක් ඉදි කළ යුතු බව මෙදා යෝජනා කර සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී පාලමක් සහ තෙල් නළ මාර්ගයක් ඉදි කිරීම සම්බන්ධයෙන් වන ශක්‍යතා පිළිබඳ කටයුතු කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. ඉන්දීය ප්‍රතිපත්ති තුළ ශ්‍රී ලංකාව සෑම විටම වැදගත් ස්ථානයක පසුවන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.

වඩාත් වැදගත් වන්නේ, ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය සහ “සාගර්” දැක්ම යන දෙකෙහිම ශ්‍රී ලංකාව ද වැදගත් ස්ථානයක් ගන්නා බවත් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අවශ්‍යතා සහ සංවර්ධනය එකිනෙකට බැඳී පවතින බවට විශ්වාස කරන බවටත් අග්‍රාමාත්‍ය මෝදී මෙහිදී ප්‍රකාශ කිරීමය.

ඉන්දීය – ශ්‍රී ලංකා හවුල්කාරී වැඩපිළිවෙළ අනාගතවාදී දැක්මක් තුළ සිට ජනාධිපති රනිල් කටයුතු කිරීමට සමත්ව ඇති බව මෙයින් පැහැදිලිය.

සැබවින්ම ජනාධිපතිවරයාගේ මේ එළඹුම තුළ ඇත්තේ නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපය තුළ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමය.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ඒකාබද්ධ ප්‍රකාශයක් ලෙස ඉන්දු –ලංකා සබඳතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කෙරුණේ ඒ අනුවය. මෙහි මූලික පදනම වූයේ දිගු කාලීනව, රටවල් දෙකෙහි මෙන්ම කලාපයේ පුළුල් වර්ධනයක් සහ සමෘද්ධිය අරමුණු කරන කඩිනම් ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් සකස් කර ගැනීමය. සමුද්‍රීය කටයුතු, ගුවන් සබඳතා, බලශක්ති සහ විදුලිබල සබඳතා, වෙළෙඳ, ආර්ථික සහ මූල්‍ය සබඳතා, පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ වන සංවර්ධන ක්‍රියාදාමයක් මේ හවුල්කාරිත්ව දැක්මෙන් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සාරාංශගත කළ හැකිය.

සමුද්‍රීය සම්බන්ධතාවය

අන්‍යෝන්‍ය අවබෝධය පරිදි කලාපීය සැපයුම් සහ නාවික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණින් කොළඹ, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරාය සහ සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම.

ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී බෝට්ටු සේවා නැවත ආරම්භ කිරීම සහ රාමේෂ්වරම්, තලෙයිමන්නාරම හා අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ අනෙකුත් ස්ථාන අතර මගී බෝට්ටු සේවා කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කිරීම.

ගුවන් සම්බන්ධතාවය

යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම මඟින් දෙරටේ ජනතාව අතර සබඳතා වැඩි දියුණු කර ඇති අතර, එය කොළඹ දක්වා තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම චෙන්නායි සහ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ගමනාන්ත අතර සම්බන්ධතා ගවේෂණය කිරීම.

ජනතාවට වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබා දීම සඳහා පලාලි ගුවන් තොටුපළේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුළුව සිවිල් ගුවන් සේවා සඳහා ආයෝජන සහ සහයෝගීතාව දිරිමත් කිරීම සහ ශක්තිමත් කිරීම.

බලශක්ති සම්බන්ධතාවය

පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීමේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමේ නිගමනයන්ට අනුව සුළං සහ සූර්ය බලය ඇතුළුව ශ්‍රී ලංකාවේ සැලකිය යුතු පුනර්ජනනීය බලශක්ති විභවයන් වර්ධනය වනු ඇති අතර එමඟින් 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වේ.

ශ්‍රී ලංකාව සහ BBIN (බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව සහ නේපාලය) රටවල් ඇතුළු අනෙකුත් කලාපීය රටවල් අතර ද්විපාර්ශ්වික විදුලිබල වෙළඳපොළ සක්‍රීය කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ ධාරිතාවකින් යුත් බලශක්ති ජාල අන්තර් සම්බන්ධතාවයක් ඇති කිරීම, ශ්‍රී ලංකාවේ විදුලිබල පිරිවැය අඩු කිරීමට පමණක් නොව ශ්‍රී ලංකාව සඳහා වටිනා සහ විශ්වසනීය විදේශ විනිමය මූලාශ්‍රයක් නිර්මාණය කිරීමට උපකාර කිරීමට ද එමඟින් හැකියාව ඇත.

සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG)යටිතල පහසුකම් පිළිබඳව ඇති කර ගත් එකඟතාව ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම සහ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය තුළ පුනර්ජනනීය බලශක්ති මිශ්‍රණයන් උත්පාදනය ඉහළ නැංවීම.

ත්‍රිකුණාමලයේ වැව් ගොවිපළ සංවර්ධනය කිරීම. එම ප්‍රදේශයේ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතා ව්‍යාපෘති සංවර්ධනය කිරීම. මෙය දෙරටේ උත්සාහයේ පිළිබිඹුවකි. අන්‍යෝන්‍ය අවබෝධය මත කර්මාන්ත, බලශක්ති සහ ආර්ථික ක්‍රියාකාරකම්වල ජාතික හා කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය තවදුරටත් සංවර්ධනය කිරීමට එකඟ විය.

ශ්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වාසදායක බලශක්ති ප්‍රභවයන් සැපයීම. එය සහතික කිරීමේ අරමුණින් ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නළ මාර්ගයක් (multi-product petroleum pipeline) ඉදි කිරීම. මේ සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම.

ශ්‍රී ලංකාවේ වර්ධනය වන ඛනිජ තෙල් ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම.

මූල්‍ය සම්බන්ධතා

ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම්වල වැදගත්කම අවධාරණය කිරීම. ඒ අතර ප්‍රතිපත්ති අනුකූලතාව, ව්‍යාපාර කිරීමේ පහසුව, ප්‍රවර්ධනය කිරීම සහ එකිනෙකාගේ ආයෝජකයින්ට සාධාරණ ලෙස සැලකීම තුළින් අන්‍යෝන්‍ය ආයෝජන සඳහා තවදුරටත් පහසුකම් සැලසීමට එකඟ වීම.

ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායන් සහ විවිධ ක්ෂේත්‍රවල නිෂ්පාදන, ආර්ථික කලාපවලට ඉන්දියාවෙන් කෙරෙන ආයෝජන සඳහා පහසුකම් සැලසීම.

නව සහ ප්‍රමුඛතා ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන පුළුල් ලෙස වැඩි දියුණු කිරීම. මේ අරමුණින් ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම.

දෙරට අතර වෙළඳ ගනුදෙනු පියවීම් සඳහා මුදල් ඒකකයක් ලෙස ඉන්දියානු රුපියල (INR) නම් කිරීමට ගත් තීරණය වඩාත් ශක්තිමත් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වාණිජ සම්බන්ධතා ඇති කර ඇති අතර, ව්‍යාපාර සහ සාමාන්‍ය ජනතාව අතර වෙළඳාම සහ ගනුදෙනු තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා Unified Payments Interface (UPI) පදනම් කරගත් ඩිජිටල් ගෙවීම් ක්‍රියාත්මක කිරීමට එකඟ විය.

ඉන්දියාවේ ආර්ථික සංවර්ධනය සහ පාලනයට ඩිජිටල්කරණය මඟින් පරිවර්තනීය වෙනස්කම් සිදුවීම වැදගත් බලවේගයකි. ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ පුරවැසි කේන්ද්‍රීය සේවාවන් ජනතාවට ඵලදායී හා කාර්යක්ෂමව සැපයීමට ප්‍රමුඛතාවයන් අනුව ඉන්දියාවේ ඩිජිටල්කරණ පොදු යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට එකඟ විය.

පුද්ගල සම්බන්ධතා

සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම. දඹදිව වන්දනා චාරිකාව සහ රාමායණ චාරිකාව මෙන්ම ශ්‍රී ලංකාවේ පුරාණ බෞද්ධ, හින්දු සහ අනෙකුත් ආගමික සිද්ධස්ථාන පිළිබඳව දැනුම්වත් කිරීම සහ ප්‍රචලිත කිරීම. ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා අනුව ශ්‍රී ලංකාව තුළ නව උසස් අධ්‍යාපන සහ නිපුණතා මණ්ඩප (Skilled Campus) පිහිටුවීම.

කෘෂිකර්මය, ජලජීවී වගාව, තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර, මූල්‍ය සහ කළමනාකරණය, සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාව, පෘථිවි හා සමුද්‍ර විද්‍යාව, සාගර විද්‍යාව, අභ්‍යවකාශ යෙදුම් යන ක්ෂේත්‍රයන් මෙන්ම ඉතිහාසය, සංස්කෘතිය, භාෂා, සාහිත්‍යය, ආගමික අධ්‍යයන සහ අනෙකුත් මානව ශාස්ත්‍ර වැනි අන්‍යෝන්‍ය අවශ්‍යතා ඇති ක්ෂේත්‍රවල ද පර්යේෂණ සහ අධ්‍යයන ආයතන අතර අන්තර් සහයෝගීතාව පුළුල් කිරීම.

ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ වරායන් වෙත ගොඩබිම් ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීම. ෙමමඟින් දෙරටෙහි ආර්ථික වර්ධනය සහ සෞභාග්‍යය ඇති කිරීම.

රනිල්ගේ “මැන්ඩේට්” එක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනුයේ මේ කුඩා දූපත් රාජ්‍යය එහි භෞතික ප්‍රමාණයට සීමා නොකොට පුළුල් කිරීමටය. ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු කලාපීය සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීම සහ සමෘද්ධිය උත්ප්‍රේරණය කිරීම ( Promoting Connectivity – Catalysing Prosperity) මත පදනම්ව සංවර්ධිත හා බලවත් කලාපීය රාජ්‍ය සමූහයක හවුල්කාරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමය.

සැබවින්ම මේ තුළ රට ආර්ථිකමය වශයෙන් ලබන ජයග්‍රහණයක් පමණක් ලියැවී නැත. ඒ වෙනුවට එය ආර්ථික මෙන්ම දේශපාලන වශයෙන් බලවත් රටක් බවට ශ්‍රී ලංකාව පත්කරන උපාය මාර්ගික එළඹුම ද ඇත. වඩාත් වැදගත් කරුණ වන්නේ මේ මොහොතේ ජනාධිපති රනිල්ගේ උපාය මාර්ගික සැලැස්ම ඉන්දීය ප්‍රවේශය සමඟ කිසිඳු ඝට්ටනයකින් තොරව ඉදිරියට යාමට තරම් දියුණු වීමය. දෙරට වෙනුවෙන් මෙන්ම කලාපය වෙනුවෙන් දිගු ගමනක් සඳහා රනිල් – මෝදී සම්මුතිවාදී දියුණු රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක් ගෙන ඇත. ඊට අදාළව ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වසනීයත්වය පසුගිය වසරක පාලන කාලය තුළ ජනපති රනිල්ගේ පාලන ස්වභාවය තුළම ඇති කරගෙන ඇත.

ඉන්දීය නිල සංචාරය තවත් එක් නිදර්ශනයක් පමණි. මේවා බලාගෙන ඉන්න බැරි විපක්ෂය හෙට යළිත් ඉන්දීය ආක්‍රමණයක් ගා ගෙන රට බේරාගන්නැයි කියා මොරදීගෙන පිස්සු නටනු ඇත. පාරට බහින්න කියා ජනතාවට බල කරනු ඇත. අන්න එවිට විපක්ෂය නෑ කියූ ජනපති රනිල්ගේ “මැන්ඩේට්” එකේ තරම බලාගන්න පුළුවන.

දිනමිණ 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *