සංහිඳියා කාර්ය සාධක බලකායේ වාර්තාව බාරදීම 03 වෙනිදාට

යුද්ධයේ දී මානව හිමිකම් උල්ලංඝණය කළ බවට ජාත්‍යාන්තරයෙන් නැඟෙන චෝදනා සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සොයාබලා ඒ පිළිබඳව රජයට වාර්තාවක් ලබාදීම පිණිස පත්කළ උක්ත බලකාය තම වාර්තාව ජනවාරි 03වෙනිදාට ජනාධිපතිවරයාට බාරදීමට නියමිත බව යුක්තියට වාර්තා වේ.
මනෝරි මුත්තෙට්ටුවගමගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව දිවයින් පුරා ගොස් විපතට පත්වූවන් මෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු කරන අයගෙන් සාක්ෂි විමසා ඇති අතර මේ වන විට එම වාර්තාව සකස්කර ඇති බව දැනගන්නට ඇත. තවද දෙසැම්බර් 21වෙනි දින මෙම වාර්තාව භාරදීමට නියමිතව තිබී ඇතත් අගමැතිවරයා හා මේ සම්බන්ධයෙන් වැඩි උන්නදුවක් දැක් වූ හිටපු ජනාධිපතිනිය දිවයිනෙන් බැහැරව ගොස් ඇති හෙයින් මෙම බාරදීම කල්ගිය බව කියැවේ.
දැන ගන්නට ඇති ආකාරයට උක්ත කාරණය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් පමණක් නොව කමිටුවේ නිර්දේශ ද මේ වාර්තාවට ඇතුලත් ය. එම නිර්දේශ අතර යුධ අපරාධ සිදුවූ බවට කෙරෙන පරික්ෂණවලට ජාත්‍යාන්තරයේ ද සහාය ඇති විනිශ්චය සභාවක් පිහිටුවිය යුතුබවට කෙරෙන නිර්දේශයක් ද ඇතුලත් බව කියැවේ. අපක්ෂපාත බවට වන සහතිකයක් නැති විනිශ්චය සභාවකින් මානව හිමිකම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවෙන් ගැලවීමට නොහැකි බව පෙන්වා දෙන වාර්තාව 03වෙනිදාජනාධිපතිවරයාට බාරදීමෙන් අනතුරුව මහජනයාගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *