මහ බැංකු අධිපතිගේ බෑනා හොඳ රාජ්‍ය නායකයෙක් !

පසුගියදා මහත් ආන්දෝලනයකට ලක් වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ මහ බැංකු අධිපතිගේ බෑනා කොළඹ මුල්‍ය වෙළඳපොළ රාජ්‍යයේ හොඳ රාජ්‍ය නායකයෙක් බව වෙළෙඳපොළ තතු දත් ආරංචි මාර්ග කියයි . හිටපු මහ බැංකු අධිපතිවරයාගේ අනුග්‍රහයෙන් 2013 ඔක්තෝබර් මාසයේදී මහ බැංකුවේ බැඳුම්කර හා බිල්පත් සඳහා මූලික බෙදාහරින්නකු ලෙස පත්වන මෙම ව්‍යාපාරිකයා වසරක් තුළ මහ බැංකුව සමඟ කළ ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන දෙසීය ඉක්මවන බව හෙළිදරව් වී තිබේ .

මෙම කාලය තුළ මහ බැංකුව සමග යහපත් සබඳතා පවත්වාගෙන යාමට මොහුට හැකිවී තිබේ . හිටපු මහ බැංකු අධිපතිවරයාගේ සහෝදරියක් මෙම කාලය තුළ මොහුගේ සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙසද කටයුතු කර ඇත . පසුගිය පෙබරවාරි 27 වැනිදා සිදුවූ ආන්දෝලනාත්මක බැඳුම්කර ගනූදෙනුවෙන් දින කිහිපයකට පසු මාර්තු නවවැනිදා ඇය හදිසියේම තම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත .

ඊට පෙර පසුගිය ජනවාරි දහසය වැනිදා මෙම ව්‍යාපාරිකයා තමන්ගේ සමාගමේ අධ්‍යක්ෂ තනතුරින් ඉල්ලා අස්වී ඇත . මාමාට මහ බැංකු අධිපති තනතුර ලබාගැනීමට මග පාදනු වස් එසේ කළ බව කියති .

බැඳුම්කර වෙළෙඳපොළට පිවිසීමට පෙර කාලයක් තිස්සේ මොහු කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කරමින් කොටස් මිල ඉහළ පහළ දමමින් විශාල ලෙස ලාභ ලැබූ බව කියති . කොටස් වෙළෙඳපොළ රාජ්‍යයේ ද තවත් හොඳ රාජ්‍ය නායකයින් රැසක් මෙම කාලයේ ක්‍රියාත්මක වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි .

එම කාලයේ සිදුවූ තවත් රජ ගනුදෙනු පිළිබඳ තොරතුරු දැන් හෙලිදරවූ වෙමින් පවතියි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *