|

දුෂණ විරෝධය : ශ්‍රී ලංකාව කොතැනද? – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ මේනක හරන්කහ

twitter sharing button
facebook sharing button
print sharing button
whatsapp sharing button

 

 

දූෂණ විරෝධී පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එය කාලයක් තිස්සේ සම්මත කර ගැනීමට උත්සාහ ගත් නීතියකි. දේශීය හා විදේශීය වශයෙන් ඉදිරිපත් වන ප්‍රබල චෝදනාවක් වන්නේ ලංකාවේ දූෂණ විරෝධී නීති ශක්තිමත් ලෙස ක්‍රියාත්මක නොවන බවය. දූෂණය සහ අල්ලස පිටුදැකීම සඳහා වන යාන්ත්‍රණය ශක්තිමත්ව පවත්වා ගෙන යෑමේ හැකියාව අතින් ශ්‍රී ලංකාව පසුවන්නේ පහළ තැනකය. මෙහිදී ජාත්‍යන්තර දූෂණ දර්ශකවල ශ්‍රී ලංකාව පසුවන ස්ථාන විමසා බැලීම වැදගත්ය.

 

 

දූෂණ විරෝධී දර්ශකයට අනුව රාජ්‍ය 180 ගණනක් අතරින් ලංකාව පසු වන්නේ 102 වැනි ස්ථානයේය.
ඉන්දියාවට එම දර්ශකයේ හිමිව ඇත්තේ 85 වැනි තැනය. භූතානය 25 වැනි ස්ථානයේ පසුවෙයි. ඩෙන්මාර්කය, ස්වීඩනය, ෆින්ලන්තය, ස්විට්සර්ලන්තය සහ සිංගප්පූරුව එහි පළමු රටවල් 5 අතර පසු වේ.

දූෂණය හා වංචාව නිසා මෙරට ආර්ථිකය දැඩි ලෙස රෝගාතුර වී ඇති බවත් ඒවාට වගකිව යුතු දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක විය යුතු බවත් මහජන අරගලයේ දී ද ප්‍රකාශයට පත්වූවකි. එය දේශපාලන පක්ෂ බලයට පත්වීම සඳහා ලබා දෙන සුප්‍රකට පොරොන්දුවක් ද වේ.

සොරු ඇල්ලීම සහ ඔවුන්ට දඬුවම් නොදීම යන කාරණා නිතර දෙවේලේ ඇසෙන්නක් ද වේ. එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ දූෂණය හා අල්ලස පිටුදැකීමට අදාළ ශක්තිමත් නීතියක් රටේ නොමැති නිසාය යන්න මේ වන විට ප්‍රත්‍යක්ෂ වී ඇති කාරණයකි.

මෙහිදී අපේ අවධානය යොමු වන්නේ දූෂිතයන්ට එරෙහිව නඩු පවරා දඬුවම් ලබා දීම කෙරෙහි පමණි. එහෙත් දූෂණය පිටුදැකීම යන්න ඊට වඩා පුළුල් කටයුත්තකි. භූතානය, හොංකොං සහ සිංගප්පූරුව වැනි දියුණු දූෂණ විරෝධී නීති ක්‍රියාත්මක වන රාජ්‍යවල දැකිය හැකි විශේෂ ලක්ෂණයක් නම්, එම රටවල රාජ්‍ය යාන්ත්‍රණය මගින් අල්ලස හා දූෂණය පිටුදැකීමට අදාළ නීති පද්ධති සකස් කර ක්‍රියාත්මක කිරීමය.

සිංගප්පූරුවේ අත්දැකීම විමසා බැලුවහොත් නූතන සිංගප්පූරුව ගොඩනැගීමේ නියමුවා වූ ලී ක්වාන් යූ එරටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ විගසම කළ ප්‍රකාශයක් වූයේ රට පිරිසුදු කර නොගතහොත් ආර්ථිකමය වශයෙන් ඉදිරියට යා නොහැකි බවය. ගෙදර කුණු අප විසින් ම ඉවතලා පිරිසුදු කර ගනු ලැබිය යුතු බව ඔහු අවධාරණය කළේ ද එම අර්ථයෙනි.

රටක දූෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අරබයා මහජන නියෝජිතයන්ගේ සහාය හිමි වීම ඉතා වැදගත් වේ. මන්ද, මේ සම්බන්ධයෙන් ඔවුන් විසින් සකසනු ලබන නීතිවල ශක්තිමත්භාවයත් ඔවුන් සතුව ඇති දැනුමත් අල්ලසට හා දූෂණයට ඔවුන් සම්බන්ධ නොවීම යන තත්ත්වත් මෙහිදී වැදගත් වන හෙයිනි. දූෂණ විරෝධී කතිකාවේදී දෙවැනියට වැදගත් වන පාර්ශ්වය වන්නේ රාජ්‍ය සේවයයි. එහිදී රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමත් අල්ලසින් දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් පවත්වා ගෙන යෑමත් අවශ්‍ය වේ.

මෙහිදී අමතක නොකළ හැකි කාරණය වන්නේ දූෂණය පිටුදැකීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයට ද යුතුකමක් තිබෙන බවය. පොලිසිය, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල ස්වාධීන ක්‍රියාකාරීත්වය ද මෙහිදී වැදගත් වේ. අවසාන වශයෙන් මේ සියලු දේ සම්බන්ධයෙන් මහජනතාව කොතෙක්දුරට දැනුම්වත් ද යන්නත් එකී දැනුම්වත්භාවය ශක්තිමත් කිරීම පිණිස රජය පාර්ශ්වයෙන් කළ යුත්තේ කුමක් ද යන්නත් වැදගත්ය.

ශ්‍රී ලංකාවේ පළමු වරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය මගින් අල්ලස් හා දූෂණ විරෝධී නීතිය ශක්තිමත් කළේ 2015 දීය. ඒ, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගිනි. ඉන්පසු ගෙනා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා එම නීතිය දුර්වල කළ ද යළිත් 21 වැනි සංශෝධනයෙන් එය ශක්තිමත් කෙරිණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම යම්තාක් දුරකට හෝ ශක්තිමත් කිරීමට එමගින් නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දුනි. ඊට අතිරේකව අල්ලස හා දූෂණය පිටුදැකීම සඳහා රටේ පවතින්නේ 1994 අංක 16 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ පනත පමණි. 1994 සිට මේ දක්වා එම නීතිය යාවත්කාලීන වූයේ නැත.

නිසි ආකාරයෙන් දූෂණය හඳුනා නොගැනීම, නඩු නොපැවරීම සහ නඩු පවරන ලද පුද්ගලයන් වරදකරුවන් බවට පත් නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට කාලයක් තිස්සේ චෝදනා නැගේ. ඒ සඳහා පරිපාලනමය හා නීතිමය වශයෙන් පවතින දුර්වලතා හේතු වී තිබේ. මේ සන්දර්භයේ අල්ලස හා දූෂණය පිටුදැකීම පිණිස පවතින දේශීය යාන්ත්‍රණය ශක්තිමත් නැත යන්න අපි පළමුව පිළිගත යුතු වෙමු.

ජාත්‍යන්තර දූෂණ දර්ශකයෙහි පහළ ස්ථානවල පසුවන රාජ්‍ය බොහොමයක ආර්ථිකය පවතින්නේ ඌන සංවර්ධන මට්ටමකය. එයින් හැඟෙන්නේ දූෂණය හා ඌන ආර්ථික සංවර්ධනය අතර අනවරථ සබඳතාවක් පවතින බවය. ප්‍රබල දූෂණ විරෝධී යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු බවට ජාත්‍යන්තරයෙන් ද බලපෑම් එල්ල වෙමින් තිබේ. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා වැඩසටහනෙහි ද අන්තර්ගත ප්‍රමුඛ අංගයකි. ශක්තිමත් දූෂණ විරෝධී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමෙන් ආර්ථික අභිවෘද්ධිය පමණක් නොව සාමාජීය සංවර්ධනය ද ඇති කරගත හැකිය.

දූෂණය පිටුදැකීම සඳහා මේ වන විට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වරෙක ප්‍රකාශ කළේ එය දකුණු ආසියාවේ තිබෙන ශක්තිමත්ම දූෂණ විරෝධී නීතිය වන බවය.

මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම ද ලැබී ඇතැයි සිතිය හැකිය. මෙම පනත් කෙටුම්පතෙන් අපේක්ෂිත අරමුණු කිහිපයකි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සාධාරණ යුක්තිසහගත අරමුණු සඳහා අවැසි දූෂණ වංචා පිටුදැකීම සඳහා ක්‍රියා කිරීම, රාජ්‍ය පාලනයේ විනිවිදභාවය ඉහළ නැංවීම, රාජ්‍ය පාලනයේ පැවතිය යුතු වගවීම හා සුපිළිපන්භාවය ශක්තිමත් කිරීම, රජය කෙරෙහි වන මහජන විශ්වාසය වැඩිදියුණු කිරීම සහ දූෂණය මුලිනුපුටා දැමීම අරබයා මහජන සහභාගීත්වය ශක්තිමත් කිරීම යනාදිය ඒ අතර ප්‍රධානය.

මෙම පනත් කෙටුම්පත මගින් මීට පෙර පැවති අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ නීතියේ පවතින අඩුපාඩුකම් මගහරවා ගැනීමට උත්සාහ දරා ඇත. එසේම නවීන තාක්ෂණය ඔස්සේ දූෂිතයන් හසු කර ගැනීමට අදාළ විධිවිධාන ද මෙමගින් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, ලෝකයේ දියුණු රටවල පවතින දූෂණ විරෝධී නීතිවල අඩංගු අංග ලක්ෂණ මෙයට ඇතුළත් කිරීමට උත්සාහ දරා ඇත. දූෂණය හා වංචාව සම්බන්ධයෙන් පුළුල් අර්ථ නිරූපණයක් ද මේ පනත් කෙටුම්පතේ ඇතුළත්ය.

දූෂණය වංචාව රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේ ද සිදු වන බව අද වන විට ගෝලීය වශයෙන් තහවුරු වී තිබේ. එවැනි සන්දර්භයක පෞද්ගලික අංශයේ සිදු වන වංචා දූෂණ කෙරෙහිත් ඒවා වැළැක්වීම සඳහා එම අංශයට ඇති වගකීම ගැනත් මේ පනත් කෙටුම්පතෙන් සැලකිය යුතු අවධානයක් යොමු කර තිබේ. වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ වගකීමක් දේශපාලනඥයන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට ද තිබේ.

එය මේ පනත් කෙටුම්පතෙන් පිළිගෙන ඇති අතර ඊට අමතරව ඒවා ප්‍රකාශයට පත් කළ යුතු තැනැත්තන් ප්‍රකාශයට පත් කළ යුතු කාලසීමා යනාදියත් විස්තරාත්මකව මෙහි සඳහන් වේ. මේ අනුව රාජ්‍ය සේවකයෝ පෞද්ගලික අංශයේ සේවකයෝ දේශපාලනඥයෝ සහ මැතිවරණවලට තරග කරන අපේක්ෂකයෝ තමන්ගේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට බැඳී සිටිති. ඒවා හෙළි කිරීමේ යාන්ත්‍රණයත් මෙමගින් පැහැදිලි කර තිබේ. එය ඉතා වැදගත්ය.

මන්ද, මේ දක්වා ඊට අදාළ යාන්ත්‍රණය නිසි පරිදි ඉදිරිපත් කර නොතිබූ නිසාය. ඉහත සඳහන් කළ පාර්ශ්වවල ආදායම් තත්ත්ව සහ ඒවා ඉපැයූ ආකාරය ගැන අධ්‍යයනය කිරීමට මහජනතාවට හැකියාවක් තිබිය යුතුය යන්න නූතන ලෝකයේ පිළිගැනීමට ලක්ව ඇති කාරණයකි. මේ පනත් කෙටුම්පතෙන් පිහිටුවීමට යෝජිත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය මගින් වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන බවටත් ඒවා යම් සීමාවලට යටත්ව අධ්‍යයනය කිරීමට හැකි බවටත් මෙහි ප්‍රතිපාදන අන්තර්ගතය.

මේ පනත් කෙටුම්පතෙන් පිහිටුවීමට යෝජනා කර තිබෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව ශක්තිමත් එකක් බව පෙනේ. එම කොමිෂන් සභාව කොමසාරිස්වරුන් තිදෙනකුගෙන් සමන්විත වන අතර ඔවුන් පත් කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශවලට යටත්ව ජනාධිපතිවරයා විසිනි. එසේම මේ කොමිෂන් සභාවේ කාර්යමණ්ඩලය ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වීමට හැකි වන ආකාරයේ ප්‍රතිපාදන හඳුන්වා දී තිබේ.

බලතල අතින් බලන විට වර්තමානයේ ක්‍රියාත්මක කොමිෂන් සභාව සතු බලතලවලට වඩා වැඩි බලතල ප්‍රමාණයක් මෙයට පවරා දී ඇත. තවද කොමිසමේ සාමාජිකයන් ඉවත් කිරීම සඳහා අපහසු යාන්ත්‍රණයක් හඳුන්වාදීම හරහා ඔවුන්ගේ සේවා සුරක්ෂිතභාවය සහතික කර ඇත. ඒ අනුව, කොමිසමේ සාමාජිකයකු ඉවත් කරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් එය සම්මත කළ යුතුය.

කොමිසමේ විමර්ශන නිලධාරීන් සහ නඩු පවරන නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරි ස්වාධීනව පවත්වා ගෙන යෑම සඳහා අවකාශ පැවතිය යුතුය. ඒ අරබයා මෙම පනත් කෙටුම්පතෙන් සාධනීය ප්‍රතිපාදන හඳුන්වා දී තිබේ. බැඳියාවන් අතර ගැටුමක් පවතින අවස්ථාවක රාජ්‍ය නිලධාරියකු ඒ බව කලින් හෙළි කළ යුතුය. එවැනි බැඳියාවක් පවතින අවස්ථාවක රාජ්‍ය නිලධාරියකුට අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය නොහැකිය.

අන්තර්ජාතික නීතිය මගින් පිළිගත් දූෂණ විරෝධී නීතිවලට අනුගත වීමට ලංකාව බැඳී සිටින බව ද මෙම පනත් කෙටුම්පතෙන් අවධාරණය කරයි. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ආඥා පනත පිළිගන්නා බවටත් සෙසු අන්තර්ජාතික නීතිවල අංග ලක්ෂණ උකහා ගන්නා බවටත් මේ පනත් කෙටුම්පතේ 34 වැනි වගන්තියේ දැක් වේ. ඊට අමතරව නඩු පැවරීමේ ක්‍රියාවලිය ද ශක්තිමත් කර තිබේ. එහිදී නවීන තාක්ෂණය භාවිත කරමින් දූෂණ වංචා වැළැක්වීමට අදාළ සාක්ෂි ලබා ගන්නේත් නීති ක්‍රියාත්මක කරන්නේත් කෙසේ ද යන්න ගැනත් මෙයින් අවධානය යොමු කර තිබේ.

මේ විධිවිධාන පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ මෙම පනත් කෙටුම්පත කවර පරමාර්ථයකින් යුතුව ඉදිරිපත් කළ එකක් වුවද දූෂණ විරෝධී නීතිය සහ ඊට අදාළ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රතිපාදන මෙමගින් හඳුන්වා දී ඇති බවය. කෙසේ වෙතත් මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමේ දී දැඩි ලෙස සාකච්ඡාවට බඳුන් විය යුතුය.

මන්ද හුදෙක් පනත් කෙටුම්පතෙහි වගන්ති දෙස බැලීමෙන් පමණක් තීන්දු තීරණ ගත නොහැකි නිසාය. ඇතැම් වගන්තිවල ක්‍රියාත්මකභාවය ගැන අධ්‍යයනය කළ යුතුය. ඒ සඳහා සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාලයක් ලබා දිය යුතුය. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ඇතිව ඒකමතිකව මෙවැනි පනත් කෙටුම්පතක් සම්මත කළ හැකි නම් වැදගත්ය.

මේ පනත් කෙටුම්පත සම්මත කළ පමණින් එහි සාර්ථකත්වය මැනිය නොහැකිය. ක්‍රියාකාරීත්වයත් වැදගත්ය. මේ යටතේ වන ආයතන නිසි පරිදි ස්ථාපනය නොකරන්නේ නම් අපේක්ෂිත අරමුණු ඉෂ්ට කර ගත නොහැකිය. දැනට ක්‍රියාත්මක අල්ලස් කොමිෂන් සභාවට නිසි පරිදි මූල්‍ය පහසුකම් හා නිලධාරීන් ලබා නොදීම නිසා එහි කටයුතු අඩාළ වී තිබේ. එබැවින් මේ පනත් කෙටුම්පතෙන් පිහිටුවීමට යෝජිත අල්ලස් කොමිසමට අවශ්‍ය මූල්‍ය හා අනෙකුත් පහසුකම් සැපයීමත් මේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් වන ජනතා අවබෝධය හා අවධානය පුළුල් කිරීමත් අවශ්‍ය වේ.

 

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ

මේනක හරන්කහ

 

සටහන – උපුල් වික්‍රමසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *