සජිත්ගේ ‘අශිෂ්ට ‘ කතාව දළදා මාලිගාව ප්‍රතික්ෂේප කරයි

 

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා පෙර කිසිකලෙක නොකළ අයුරින් දළදා මාළිගාවට විදුලි බිල්පතක් යවමින් ආණ්ඩුව සිය අශිෂ්ඨ පිළිවෙත පෙන්නුම් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා විසින් ප්‍රතික්ෂේප කළ බව අද දෙරණ වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.

සජිත් ප්‍රේමදාස මහතා නිවේදනය කළේ මීට පෙර නොකළ ලෙස රජය බිල් පතක් යව ඇති බව සහ එය අශිෂ්ට ක්‍රියාවක් බව යි.

කෙසේ වෙතත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසන්නේ සෑම වසරකම ඇසළ පෙරහැර පැවැත්වීමට පෙර විදුලිබල මණ්ඩලය මෙවැනි ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බවය.

මෙවර ඓතිහාසික මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අගෝස්තු 21 වන දින වීථී සංචාරය කිරීමට නියමිත අතර අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 30 වන දින පැවැත්වේ.

විපක්ෂනායක සජිත් ප්‍රෙමදාස මහතා  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ බෞද්ධයින්ගේ මුදුන්මල්කඩ වන ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැරට පෙර කිසිකලෙක නොවු විරූ පැරිදි විදුලි බිල්පතක් ලියා ආණ්ඩුව ස්වකීය අශිෂ්ඨ, අමනෝඥ පිළිවෙත හෙළිදරව් කර ඇති බවය.

එමෙන්ම අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පවසා තිබුණේ  විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන උදෙසා සහනදායි විදුලි බිලක් වෙත යොමුවීම ආණ්ඩුව නොවලහා කළ යුතු අතර ඒ උදෙසා සංස්කෘතික අරමුදලේ දායකත්වය ලබා ගැනීම කළ හැකි බවය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ පිළිබඳ අදහස් පළකළේය.

මේ පිලිබඳ අද දෙරණ වාර්තාවේ මෙසේ සඳහන් ය.

ඒ අනුව මේ පිළිබඳව අප (අද දෙරණ)  ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගෙන් විමසීමක් කළේය.

ඔහු සඳහන් කළේ, සෑම වසරකම ඇසළ පෙරහැර පැවැත්වීමට පෙර විදුලිබල මණ්ඩලය මෙවැනි විදුලිබිලෙහි පිරිවැය සම්බන්ධ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන අතර ඒ අනුව ශ්‍රී දළදා මාලිගාව, සතර මහ දේවාල සහ මහනුවර මහ නගර සභාව එක්ව සාකච්ඡා කර අදාළ ගෙවීම සිදුකරන බවය.

මීට පෙර වසරවලදී පෙරහැරෙන් පසුව අදාළ ගෙවීම් සිදුකළත් මෙවර පෙරහැරට පෙර එම මුළු මුදල ගෙවන ලෙස දැනුම් දුන් බවත්, එහි ගැටලුවක් නොමැති බවත් දියවඩන නිලමේවරයා පැවසීය.

“අද දෙරණ” මේ පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ මහනුවර නියෝජ්‍ය සාමාන්‍යධිකාරි උපුල් බණ්ඩාර මහතාගෙන් විමසූ විට ඔහුද ඒ බව තහවුරු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *