වරායේ ප්‍රාණ ඇපකරුවෝ – සී. ජේ. අමරතුංග


හම්බන්තොට වරායේ සේවක වැඩ වර්ජනය ජනමාධ්‍යයේ මුල් පුවත් මැවීමට ප්‍රධාන හේතුවක් වූයේ විදේශීය නැව් දෙකක් ඒවායේ කාර්ය මණ්ඩලද සමඟ රඳවාගෙන සිටීම නිසාය. වරාය භාර ඇමැති අර්ජුන රණතුංග මහතා කීවේ මෙය මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාවකට සමාන බවයි. ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීමක් බවයි. කෙසේ වෙතත් නාවික හමුදාව යොදවා නැව් මුදාගැනීමට ක්‍රියාත්මක වූයේ දින හතරකට පසුවය.

නැව් මුදාගැනීමට නාවික හමුදාව කළ ක්‍රියාන්විතය නැවතත් පුවත් මැවීය. එහිදී ප්‍රධාන පුවතක් වූයේ සිවිල් ඇඳුමෙන් සිටිමින් මෙහෙයුමට නායකත්වය දුන් නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියකුට කළ පහරදීමය. එය ඉතා විවාදාත්මක සිදුවීමක් බවට පත්විය. නාවික හමුදාපතිවරයාගේ ක්‍රියාව මෙන්ම මාධ්‍යවේදියාගේ මාධ්‍ය සදාචාරය පිළිබඳවද ප්‍රශ්න කෙරිණි. හෙළා දැකීම්, විරෝධතා, ප්‍රශ්න, පිළිතුරු අපට අසන්නට දකින්නට ලැබිණි. එය වෙනම සාකච්ඡා කළ යුතු කාරණයකි.

අවිචාර ක්‍රියාව

අනෙක් අතට අවධානයට ලක්වූයේ හම්බන්තොට වරායේ මෙම සේවකයන්ගේ ක්‍රියාවයි. ඔවුන් මෙම උද්ඝෝෂණය කළේ සාධාරණ පදනමක් ඇතිවද, ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කළේද, එසේත් නැතහොත් හදිසියේම නැව් දෙකක් රඳවා ගනිමින් කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරත වූයේද යන ප්‍රශ්න මතුවිය. ඒ පිළිබඳව වාද විවාද සිදුවනු දක්නට ලැබිණි. සේවකයන් කීවේ තමන්ගේ රැකියා අහිමිවීමේ තර්ජනයක් ඇති බවයි. රජය කීවේ අනියම් පදනමින් බඳවාගෙන සිටි මෙම පිරිසගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කරමින් සිටියදී කම්කරුවන් විචාරයකින් තොරව කඩාකප්පල්කාරී ක්‍රියාවක නියැලුණු බවයි දේපළ හානිකළ බවයි. ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අර්ජුන රණතුංග ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෙහි කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා රජය ක්‍රියාත්මක කිරීමට යන වැඩපිළිවෙළ බව පැහැදිලිය. රජය කරන්නට යන්නේ මෙම වරාය සෑදීමට චීනයෙන් ලබාගත් අතිවිශාල ණයට හිලව් වන්නට වරාය සංවර්ධනයේ ප්‍රධාන කොටස්කාරිත්වයක් චීන සමාගමකට ලබාදෙමින් චීන ශ්‍රී ලංකා හවුල් සමාගමක් මගින් වරාය මෙහෙයුම් කටයුතු සිදුකිරීමයි. එයට අවශ්‍ය තරම් මෙහෙයුම් ලබාගැනීමේ මාර්ගයක් ලෙස හම්බන්තොට ප්‍රදේශයේ අක්කර පහළොස් දහසක කර්මාන්ත කලාපයක් සංවර්ධනය කිරීමටද පියවරගෙන ඇත.

අවබෝධතා ගිවිසුම

මේ වැඩපිළිවෙළෙහි මූලික අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගිය සතියේ සිදුවිය. හම්බන්තොට වරාය සේවකයන් විරෝධතාවය ආරම්භ කරන ලද්දේ එම සිදුවීමත් සමඟය. ඔවුන් කියන්නේ චීන සමාගම සමඟ එම ගිවිසුමට නොයන ලෙස හා හම්බන්තොට වරාය මේ පවතින ආකාරයටම පවත්වාගෙන යමින් තමන්ව වරාය අධිකාරියේ සේවයට බඳවා ගන්නා ලෙසයි. එහි තේරුම නම් මේ සේවකයන්ගේ පැවැත්ම වෙනුවෙන් හම්බන්තොට වරායේ සංවර්ධන වැඩසටහන නවතා දැමිය යුතු බවයි.

පසුගිය රජයෙන් හැදු හම්බන්තොට වරාය ප්‍රසිද්ධියට පත්වූයේ නැව් නොඑන වරාය වශයෙනි. මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන්ද තත්ත්වය එයම ය. එම රජයෙන් ඉදිකළ සූරියවැව ක්‍රීඩාංගණය ඉඳහිට ප්‍රයෝජනයට ගැනෙන්නේ විවාහ මංගල උත්සව සඳහා බව වාර්තා විය. මේ සියල්ල සඳහා වියදම් කළේ රට උගසට තබා ගිනිපොලියට ගත් ණය මුදල්වලිනි. එය දැන් මෙරටට දරාගන්නට බැරි බරක් බව කවුරුත් දන්නා කාරණයකි. ඒ ගැන ගණන් හිලව් කතා කිරීම පවා අවශ්‍ය වන්නේ නැත.

හිටපු ජනාධිපතිවරයා පසුගියදා උත්සාහ කර තිබුණේ මත්තලට ගුවන් යානා නොඑන්නේ හා හම්බන්තොටට නැව් නොඑන්නේ රජය එයට අවහිර කර ඇති නිසා කියා කියන්නටය. මේවා ලැජ්ජාව වසා ගැනීමට කරන කතා බව කවුරුත් දනිති. ඇත්ත කතා පිළිබඳව වාර්තා ජාත්‍යන්තර ජනමාධ්‍යවල පවා පළවීය. හම්බන්තොටට නැවක් දෙකක් ගෙන්වා ගන්නේ විශේෂ පහසුකම් වරප්‍රසාද ලබාදීම මඟිනි. වාහන ප්‍රතිනැව්ගත කිරීමට එබඳු වරප්‍රසාද ලබාදී ඇත. එමඟින් ලබාගැනීමට තුබු ආදායම්ද අහිමි කරගෙනය. ඇත්ත කතාව ඒකය.

හම්බන්තොට, මත්තලට මේ ඉරණම ඇතිව තිබෙන්නේ ඒවා නිසි අධ්‍යයනයකින් තොරව ඉදිකිරීම නිසා බව පැහැදිලි කාරණයකි. ඒවායින් ප්‍රයෝජන ගැනීමේ ව්‍යාපාරික සැලැස්මක් නොතිබිණි. පසුගිය රජය පැවැති කාලයේ එවැන්නක් ගැන හිතුවේවත් නැත. ඔවුන්ගේ එකම ව්‍යාපාරය චීනයෙන් විශාල ලෙස ණය ගනිමින් මහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි. එමඟින් විශාල මුදල් යටිමඩි ගසා ගත් බවද රටම දන්නා කාරණයකි. එබඳු ඇතැම් ව්‍යාපෘතිවලින් ලබාගත් මුදලින් ගත් ඇතැම් දේපළ අද හමුවන්නේ අයිතිකරුවන් නැති මාළිගා, ඉඩම්, ගෙවල් දොරවල් වශයෙනි. සිදුවූ සංවර්ධනයේ තරම පෙනෙන්නේ ඒ ආකාරයටය.

විශාල ණය බර

ප්‍රතිඵලය වූයේ ආර්ථිකයට ශක්තියක් විය යුතුව තිබූ ව්‍යාපෘති බරක් බවට පත්වීමය. හම්බන්තොටට හා මත්තලට ගත් ණය ගෙවීම ආර්ථිකයට දරාගත නොහැකි බරක් බවට පත්ව තිබිණි. එම ණය ගෙවන්නට වී තිබුණේ වෙනත් කටයුතුවලින් උපයා ගන්නා මුදලිනි. නැතහොත් මහජනයාගේ බදු මුදලිනි. එම ණය එලෙස ගෙවන විට රටේ සංවර්ධනයට මුදලක් ඉතිරිවන්නේ නැත. රාජපක්ෂ ආණ්ඩුව රට හිරකර තිබූ ණය උගුලේ තත්ත්වය එයයි. එම උගුලෙන් කොතැනකදී හෝ මිදුනේ නැතිනම් රටට සිදුවන්නේ තව තවත් ණයවීමටය. එසේ වුවහොත් ගැලවීමක් නැත. වළක වැටුණු මිනිහා වළ කටෙන්ම ගොඩ ආ යුතු බවට කතාවක් ඇත. ආණ්ඩුව කරන්නට ගත්තේද එයමය. රට වළේ වැටුණේ ප්‍රධාන වශයෙන්ම මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති නිසාය. ආණ්ඩුව රට ගොඩගන්නට යන්නේද ඒ දෙකම උපයෝගී කරගෙනය. නැතහොත් ආණ්ඩුව වැඩ අල්ලන්නේ එතැනිනි.

මේ වනතෙක් මෙම ව්‍යාපෘති දෙකම පැවැතියේ අතින් කාලා හරක් බලන තත්ත්වයේය. ඒවා නඩත්තුවටත් ණය ගෙවීමටත් මහජන මුදලින් වියදම් කළ යුතුය. එයින් ලැබෙන ආදායමක් නැත. විපක්ෂයේ ඇතැමුන් කියන්නේ ආදායම් ලැබුණා කියාය. ඒ ලැබුණ මුදල ගණන් බැලුවහොත් ණය ගෙවීමට තබා නඩත්තුවටවත් ප්‍රමාණවත් නැති සොච්චමකි.

ආණ්ඩුව කළේ මත්තලත්, හම්බන්තොටත් ගොඩගන්න ව්‍යාපාරික සැලැස්මක් හැදීමය. ඒ අනුව ඒවාට චීනයෙන් ලබාගත් ණයට හිලව්වන ලෙස ඒවායේ වැඩි අයිතිය චීන සමාගම්වලට ලබාදෙමින් හවුල් ව්‍යාපාරයක් ගොඩනගනු ලබයි. වරායෙත්, ගුවන්තොටුපොළේත් මෙහෙයුම් කටයුතු වසර අනූනවයක බද්දක් යටතේ එම සමාගමට පැවරෙයි. මෙම ව්‍යාපෘති දෙක සාර්ථකව පවත්වාගෙන ආදායම් ලබාගැනීමේ වගකීම චීන සමාගම්වලට පැවරෙයි.

මෙහි අනෙක් වාසිය නම් චීන ණය ආයෝජනයක් බවට පත්වීම නිසා එම මුදල් ගෙවීමේ වගකීමෙන් මෙරට ජනයා නිදහස්වීමයි. එයින් රටේ ණය බර අඩුවී සංවර්ධනය සඳහා මුදල් යෙදවීමේ හැකියාවද වැඩි වෙයි. එය තවත් වාසියකි.

වත්මන් සැලසුම්

අනෙක් අතට චීනුන් ලවා මෙම ව්‍යාපෘති ගොඩ දමන්නට හදන්නේ අක්කර පහළොස් දහසක කර්මාන්ත කලාපයක් ඔවුන් ලවාම සංවර්ධනය කිරීම මගිනි. එම කලාපයට විවිධ රටවල ආයෝජන ගෙන්වා ගැනීම චීනුන් විසින් කළ යුතුය. ප්‍රතිඵලය නම් කර්මාන්ත ඇතිවීමයි. විවිධාකාර භාණ්ඩ හා සේවා නිෂ්පාදනයයි. හම්බන්තොටට නැව් එන්නේත්, මත්තලට ගුවන් යානා එන්නේත් මේ සංවර්ධනය සිදුවන තරමටය. ආණ්ඩුවේ ව්‍යාපාරික සැලැස්ම එයයි. වළේ වට්ටා තුබූ රට වළකටින්ම ගොඩගන්නේ එහෙමය. මෙය හරිගියාම විපක්ෂයේ කොටඋඩය. විපක්ෂය අවි අමෝරාගෙන මේ වැඩේ නවත්වන්නට වළිකන්නේ ඒ බව දන්නා නිසාය. විවිධ විරෝධතා සංවිධානය කරන්නේද ඒ සඳහාමය.‍‍‍

විමල් වීරවංශලා, ගම්මන්පිලලා කියන්නට පටන්ගෙන තිබෙන්නේ හම්බන්තොට වරාය චීනයට විකුණන බවකි. එහෙත් එවැන්නක් ඇත්තටම නොවන බව ඔවුහු දනිති. ඇත්තටම සිදුවන්නේ වරායේ මෙහෙයුම් කටයුතු චීනයට වැඩි අයිතිය ඇති චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමකට අනූ නව අවුරුද්දකට බදුදීමයි.

හම්බන්තොට චීනයට විකිණීම ගැන කියන්නේ අනූ නව අවුරුදු බදු ක්‍රමය ගැනයි. මේ ආකාරයෙන් බදු ගිවිසුම් ගහන පළමුවන වතාව මෙය නොවේ. කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සිංගප්පූරු සමාගමකින් ඉදිකොට පවත්වාගෙන යන්නේ මෙබඳුම බදු ක්‍රමයකටය. කොළඹ ඉහළම වටිනාකමින් යුතු ඉඩම් ක්‍රිස් සමාගමට හා වෙනත් සමාගම්වලට පසුගිය ආණ්ඩු කාලයේ දුන්නේද අනූනව අවුරුදු බදු ක්‍රමයකටය. ඒවා ගැන කිසිවකු කතා කරන්නේ නැත. ඒ ක්‍රමය හම්බන්තොට වරායට යොදනවිට කියන්නේ විකුණනවා කියාය. විපක්ෂය මෙබඳු පච කෙලින්නේ මෙරට ජනතාව මෝඩයින් කියා සිතාගෙන විය යුතුය.

රැවටූ සේවකයන්

පසුගිය රජයෙන් හම්බන්තොට වරායට බඳවා ගත් පිරිසද සිටින්නේ අසාධාරණයට ලක්වූ තත්ත්වයක බව පෙනෙන්නට තිබේ. ඇමැති අර්ජුන කියන්නේ මොවුන්ගෙන් වැඩි පිරිස නිල් බළකායේ අය බවයි. පසුගිය රජය රැකියාවලට බඳවා ගත් ආකාරය අනුව එය එසේ විය හැකි බව කාට වූවද තේරුම් යනු ඇත. එසේ වූවද එම පිරිසට ස්ථිර රැකියා ලබාදී නැත. බඳවාගෙන ඇත්තේ පුහුණුවකටය. වරාය අධිකාරියටද නොවේ. අලුතින් හැදූ වෙනත් සමාගමකටය. එලෙස බඳවා ගත් පන්සියයකට ආසන්න මෙම පිරිස රාජපක්ෂලාගේ මැතිවරණ වැඩට යොදාගෙන ඇති බවද කියති. වැඩ සිදුවන්නේද එහෙමය.

මෙයද තක්කඩි වැඩකි. මෙම පිරිසද සිටියේ රාජපක්ෂලා විසින් ප්‍රාණඇපයට ගත් පිරිසක් වශයෙන් බව පෙනෙන්නට ඇත. ඔවුනට ස්ථිර රැකියා නොදුන්නේ ඔවුන්ගෙන් තමන්ගේ මැතිවරණ කටයුතු කරවා ගන්නටය. ආව තේව කරගන්නටය. සියල්ල කරන්නේ රැකියා ස්ථිර කිරීමේ කැරට් අලය පෙන්වමිනි. තමන්ගේම පාක්ෂිකයන් වන මොවුන්ට මෙලෙස සළකන්නේ දිගටම ඔවුන් වහල්භාවයේ තියාගන්නටය. රැකියා ස්ථිර නොකරන්නේ ඒකමය. මෙය රාජපක්ෂවරුන් හම්බන්තොට වරායේදී පමණක් කළ දෙයක් නෙමේ. රජයේ ආයතන බොහෝමයක අනියම් සේවකයන් තබා ගත්තේ ඒ ආකාරයෙනි. එයින් බොහෝ පිරිසක් ස්ථිර කිරීමට මෛත්‍රී රනිල් ආණ්ඩුව පියවර ගත්තේය.

යටි අරමුණු

තත්ත්වය එය වූවද හම්බන්තොට වරාය පවත්වාගෙන යා යුත්තේ පන්සීයක් පමණ වන මෙම පිරිසගේ පැවැත්ම සඳහා නොවන බවද පෙන්වා දිය යුතුය. ආණ්ඩුවේ සැලසුම අනුව හම්බන්තොට වරාය සංවර්ධනය වනවිට බිහිවන රැකියා දශ ලක්ෂ ගණනකට ඒ නිසා කිසිවකුට රැකියා අහිමි වේ යැයි බියවීම අවශ්‍ය නැත. හම්බන්තොට කර්මාන්ත කලාපයෙන් තවත් රැකියා ලක්ෂ ගණනක් බිහිවනු ඇත. හම්බන්තොට ප්‍රදේශයේ කිසිදු තරුණයකුට රැකියා ගැන බියක් ඇතිකර ගැනීමට මේ තත්ත්වය යටතේ හේතුවක් නැත. මෙයින් පෙනෙන්නේ රැකියා නැතිවන බව කියා මෙම තරුණ පිරිස නොමග යවා මෙහෙයවන කණ්ඩායමට ඇත්තේ වෙනත් යටි අරමුණක් බවයි. එය නම් සැබවින්ම රැකියා බිහිවීම වැළැක්වීමයි.ආණ්ඩුව දැන් සකසා ඇති මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැගෙන විට රටත් සමඟ ආණ්ඩුවත් ගොඩ යන බව විපක්ෂය තේරුම් ගෙන ඇති කාරණයකි. එසේ වුවහොත් විපක්ෂය නන්නත්තාර වන බවද ඔවුහු දනිති. ඔවුන් මේ උත්සාහ දරන්නේ එම විපතින් ගැලවීමටය. රටට කුමන විපතක් වූවත් ඔවුනට කම් නැත. එසේ වූවද විපක්ෂයේ මෙම කඩාකප්පල්කාරී සැලසුම් තවදුරටත් සාර්ථක නොවන බව පැහැදිලිය. හම්බන්තොට සිදුවීමට ලැබුණු ජනතා ප්‍රතිචාරවලින් ඒ බව වඩාත් තහවුරු විය. රටට විනකරන බොරු බේගල් හා කඩාකප්පල්කාරී වැඩ විපක්ෂය දැන්වත් නැවැත්විය යුතුය.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *