සමෘද්ධි දෙන්න විස්තර හොයන්න ගියාම දියණියගෙන් ඇත්ත එළියට

 

අස්වැසුම සහනාධාර නාමලේඛනයේ නම ඇතුළත් වී නැතැයි අභියාචනයක් ඉදිරිපත් වූ සමෘද්ධිලාභී පවුලක තොරතුරු සොයා බැලීමේ දී සැමියා වඩු වැඩපළක් පවත්වාගෙන යන කාර්මිකයකු වන බවටත් බිරිය දිවයිනේ ප්‍රධාන පෙළේ ඇඟලු‍ම් ආයතනයක ඉහළ පෙළේ නිලධාරිනියක බවට හෙළිවීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්  වාර්තා විය.

මෙම පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ අභියාචනය ප්‍රාදේශීය ලේකම්  කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබූ අතර එහි කිසියම් කරුණක් පැහැදිලි කර ගැනීම සඳහා කාර්යාලයීය නිලධාරියෙක් දුරකතනයෙන් එම නිවස අමතා ඇත.

ඒ අවස්ථාවේ එම පවුලේ දියණිය හෙළි කළ තොරතුරු අනුව මෙම පවුල සහනාධාර ලැබීමට තරම් සුදුසුකම් නොමැති පවුලක් බව අනාවරණය වී ඇතැයි ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

ඒ කෙසේ වෙතත් එම පවුලේ අයදුම් පත්‍රයෙහි එම තොරතුරු කිසිවක් ඇතුළත් කර නොමැති බවත් රැකියා විරහිත බවට සාවද්‍ය තොරතුරු සඳහන් කර ඇතැයි ද මෙහිදී හෙළි වී ඇත.

එවැනි පවුල් පසුබිමක් තිබිය දීත් මෙම පවුල කලක් තිස්සේ සමෘද්ධි සහනාධාරය පවා ලබා ගෙන ඇතැයි ද හෙළිවී ඇත.

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ලංකාදීප 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *