යහපාලනය ගිලිහීයන්නට සිවිල් සංවිධාන ඉඩ දෙන්නේ නැහැ – මාදොළුවාවේ සෝභිත හිමි

SOBITHA THERAමාදුළුවාවේ සෝභිත ස්වාමීන්වහනසේ තරම්, රට හා පොදු ජනතාව වෙනුවෙන් පෙනීසිටිමින්, පෙරළිකාර අදහස් දැක්වූ, එමෙන්ම සාධාරණ සමාජයක් වෙනුවෙන් සක‍්‍රීයව ක‍්‍රියාකළ යථිවරයන් වහන්සේ නමක් තවත් නැතිබව අමුතුවෙන් කිවයුතු නොවේ. වර්තමාන  දේශපාලන පසුබිම හා ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව උන්වහන්සේ සමඟ  යක්තිය කළ සම්මුඛ සාකච්ඡුාවක්මෙළෙස පළකරමු .

ඔබවහන්සේත්, සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයත් පොදු අපේක්‍ෂකයෙක් සොයාගැනීමට විශාල පරිශ‍්‍රමයක් දැරුවා. අනතුරුව සොයාගත් පොදු අපේක්‍ෂකයා වන මෛත‍්‍රීපාල සිරිසේන මහතා දිනවීමටත් විශාල කැපවීමක් කෙරුවා. හිටපු ජනාධිපතිතුමා වෙනුවට අලූත් ජනාධිපතිවරයෙක් පත්කරගැනීමට මෙතරම් කැපවීමට හේතුව මොකක්ද?

කිසිම පෞද්ගලික හේතුවක් නැහැ. ඒ වන විට රට තිබුණේ කිසියම් ග‍්‍රහණයකට හසුවෙලා. මානව නිදහස උල්ලංගනය වෙමින් තිබුණා. මාධ්‍ය නිදහස නැතිවුණා. මාධ්‍යවේදීන් අතුරුදහන් වුණා. පොලීසිය, උසාවිය දේශපාලනීකරණය වුණා. රට ඒකාධිපති රාජ ආණ්ඩුක‍්‍රමයක් කරා සීඝ‍්‍රයෙන් ඇදී යන්නට වුුණා. අසීමිත වාර ගණනක් ජනාධිපති පුටුවේ ඉන්න පුළුවන් විදිහට ව්‍යවස්ථාව සංසෝධනය කරගත්තා, අල්ලස,දූෂණය රට පුරා ව්‍යාප්ත වුණා. ලංකාව කෙරේ විදේශ රටවල තිබූ හොඳ නම පලූදු වුණා.

ඒ යන ක‍්‍රමය නවත්වන්න. විශේෂයෙන්ම විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීමට එකඟ  වෙන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට හැකි අපේක්‍ෂකයෙක් ගැන අපි කාලයක සිට විමසිලිමත් වුණා. ඒ සඳහා ඉදිරිපත්වීමෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා විශාල පරිත්‍යාගයක් කළා. අපේ සටන ජයගනිමින් එතුමා ජනාධිපතිවරයා බවට පත්වුනා.

ජයග‍්‍රහණයෙන් පසු එතුමා, ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමට සමත් වුණාද? ඒ පිළිබඳව සෑහීමකට පත්වෙනවද?

බලාපොරෝතතු සියයට සියයක්ම ඉටු කිරීමට සමත් වුණා කියලා කියන්න කොහෙත්ම බැහැ. ජනාධිපතිගේ විධායක බලය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි යන්න අපේ බලාපොරොත්තු වුවත්, එය එසේ වූයේ නැහැ. යම්තරමකින් හෝ විධායක බලතල සීමා කිරීමට හැකිවීම ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්. තවත් සතුටු වෙන්න පුළුවන් දේවල් රැසක් තියනවා. උසාවිය, පොලීසිය දේශපාලනීකරණයෙන් නිදහස් වුණා. මාධ්‍ය නිදහස ලැබුණා. දැන් ආණ්ඩුපක්‍ෂයේ ප‍්‍රවෘත්ති වලට සමානවම විරුද්ධ පක්‍ෂයේ ප‍්‍රවෘත්ති විකාශය වෙනවා. මැතිවරණ නීති ක‍්‍රියාත්මක වෙනවා. බඩු මිල, ඉන්ධන මිල, ගෑස් මිල යම් තරමකට අඩුවුණා සුභවාදී පැත්තට රට යොමුවුන බව පැහැදිළිවම පේනවා. එහෙත් සර්ව සම්පූර්ණ නැහැ.

19 වෙනි ව්‍යවස්ථා සංසෝධනයෙන් සැලකියයුතු කරුණු රැසක් ඉටු වුණා. 20 ගෙන ඒමට උත්සාහකළත්, එය සාර්ථක කරගැනීමට නොහැකි වුණා. 20 සම්මත කරගැනීමට ජනාධිපතිවරයට වූවමනාවක් තිබුණත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ පක්‍ෂවල අවංක සහයෝගයක් එතුමාට ලැබුණේ නැහැ.

ජනධිපතිවරණයෙන් පසු එක්වරම අපිට දකින්නට ලැබුණේ ඔබ වහන්සේ නිහඬතාවයක්. ඒ ඇයි?

ඇත්ත වශයෙන්ම කියනවා නම් නිහඬතාවයට හේතුව කළකිරීමයි. අපි බලාපොරොත්තු වූ තරම් ප‍්‍රගතිශීලී වැඩ පිළිවෙළ  සාර්ථකව ක‍්‍රියාත්මක වුනේ නැහැ. ඇතැම් සුභවාදී වැඩකටයුතු කෙරුනත් ඒවා කෙරුනේ ඉතාමත්ම මන්දගාමීව. ඒත් ජනතාවගේ අපේක්‍ෂාව, බලාපොරොත්තුව ඊට වඩා වේගවත්. අපිත් හිතුවේ මීට වැඩිය සුභාවදී දෙයක් වෙයි කියලා. ඇතැම් දූෂිතයන්ට චෝදනා ඔප්පු වෙද්දි දඬුවම් ලැබුණේ නැහැ. මේ හේතු නිසා ඇතිවූ කළකිරීම නිසා නිහඬවුණා කියලා කියන්න පුළුවන්.

එහෙත් අදත් ජනාධිපති මෛත‍්‍රීපාල, ඔබ වහන්සේලා බලයට ගෙන ඒමට හදන්නේ දැනට ආණ්ඩුබලය ඇති එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ. පසුගිය මාස කිහිපය තුළ නොකෙරුණ වැඩ ඉදිරියේදී සිදු කරයි කියලා විශ්වාස කරන්න පුලූවන්ද?

ප‍්‍රථමයෙන් කළ යුත්තේ දිනූ ජය ආරක්‍ෂ කර ගැනීමයි . ඉන් පසුව පත්වන රජයට බල පෑම් කළයුතුයි. ඒ සඳහා සිවිල් සංවිධාන, ජනතාව ශක්තිමත් වියයුතුයි. ඒ සඳහායි වත්මන් කැපවීම කිරීමට සිදුවී තිබෙන්නේ. අපිට පක්‍ෂයක්, පාටක් නැහැ. නිවැරදි කවුද, නිවැරදි කණ්ඩායම, පක්‍ෂ කුමක්ද, අපි එතන ඉන්නවා. අපිට අවශ්‍ය  නිවැරදි පාලනයකින්, ජනතාවට අවශ්‍ය සේවාවන් නිසි පරිදි ලබාදීමටයි.

එක්සත් ජාතික පක්‍ෂය කියන්නේ එතරම් හොඳ පසුබිමක් ඇති පක්‍ෂයක් නෙමෙයි. එහි අතීත ක‍්‍රියාකාරකම් දෙස බලනවිට පසුගිය මහින්ද පාලනයෙන් වෙනස්කරගත හැකිද? එ.ජා.ප පාලන සමයේදී, ශිෂ්‍යයන් මර්ධනය කෙරුණා, 1989 භීෂණ යුගයක්, කලාකරුවන්ට පවා පහරදුන්නා. එහෙම එ.ජා.ප. යක් විශ්වාස කරන්න පුළුවන්ද?

කලාකරුවන්ට පමණක් නෙමේ මටත් පහර දුන්නා. මමත් ගුටි කෑවා. ඒත් එහෙම කියලා දෙයියනේ දැන් මොකද කරන්නේ. යළිත් පාලන බලය උදුරගන්න හදන මහින්ද ආවොත් රටට මොකද වෙන්නේ කියලා අපිට හිතන්න වෙනවා. ඒ තත්ත්වය ඉතාම භයානකයි. මොනවා වෙයිද කියලා හිතාගන්න බැහැ. දිනූ ජය එක්වරම ආපස්සට හරවන්න පුළුවන්. යළිත් ඒ අය අතට බලයක් ගියොත්, මොන සම්මජ්ජාතියෙන්වත් රට යහමගට ගේන්න යහ පාලයක් ඇති කරන්න හැකි පසුබිමක් ඇති කරන්න පුළුවන් වෙයිකියලා හිතන්න බැහැ.

අතීතයේ දී මොන මොන වැරදි තිබුණත්, දැන් යහමගට යොමු වී තියෙන එ.ජා.ප. ය පුණරුත්තාපනය වී ඇති බවක් පේනවා. වැරදි නැති පක්‍ෂයක් නැහැ. වැරදි හදාගැනීම අගය කළ යුතුයි. අපි උදව් කරන්නේ තනිකරම එ.ජා.ප. යට නෙමයි. එ.ජා.ප. ය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණටයි.

පසුගියදා සුගතදාස ක‍්‍රීඩාංගනයේ පැවති ජ.වි.පෙ. විශේෂ සමුලූවකදී ඔවුන් කළ වැරදි පිලිගෙන නිවැරදි මාවතකට ඇතුළත් වී ඇති බව ජනතාව හමුවේ තැබුවා. එය අගය කළයුතු කටයුත්තක්. වැරදි නැති කෙනෙක්, පක්‍ෂයක් නැහැ. හොඳම දේ වැරදි හදාගැනිමයි. එහෙත් මහින්ද රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායම වැරදි හදාගන්න ආකාරයක් පේන්න නැහැ. ඔවුන් තව තවත් ජාතිවාදය වපුරමින් තම ජන්ද පදනම හදාගන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා.

මාර්තු 12 ප‍්‍රකාශනය ගැන ඔබවහන්සේගේ අදහස කුමක්ද? එය ක‍්‍රියාත්මක වෙනවද?

මාර්තු 12 ප‍්‍රකාශනය ඇත්ත වශයෙන්ම හොඳ ප‍්‍රතිපත්ති මාලාවක්. එය අනුගමනය කරන්න හැම පක්‍ෂයක් වගේම අත්සන් කෙරුවා. එහෙත් ප‍්‍රධාන පක්‍ෂ දෙකම ඒ ප‍්‍රතිපත්තිය කැඩුවා. ප‍්‍රධාන පක්‍ෂ දෙකේම දූෂණ චොදනාවලට ලක්වූවන්, ස්ත‍්‍රී දූෂකයින්, මංකොල්ලකරුවන්, එතනෝල් කාරයින්, කුඩු ජාවාරම් කාරයින්, තැබෑරුම් කාරයින්, රාජ්‍ය දේපොල කොල්ල කන ලද පිරිස් ඇතුළු විවිධ දූෂන  චෝදනාවලට ලක්වූවන් ඉන්නවා. ඒ අයට නාම යෝජනා දීම ඒ ඒ පක්‍ෂවල තීරණයක්. අගෝස්තු 17 වනදාට ජනතාවටත් හොඳ අවස්ථාවක් ලැබෙනවා. තමන්ගේ බලය පාවිච්චි කරන්න. තමන් ඡුන්දය කාට පාවිච්චි කළත්, පාර්ලිමේන්තුව නමැති රටක ප‍්‍රතිපත්ති සම්පාදනය කරන උත්තරීතර සභාව නියෝජනය කිරීම සඳහා සුදුසු කිසිදු චෝදනාවකට ලක් නොවූ උගත් බුද්ධිමත් පිරිසක් තෝරාපත් කරගැනීමට තමාගේ මනාපය ලබා දෙන ලෙසයි අපි ඉල්ලා සිටිනවා.

පොදු අපේක්‍ෂකතුමා දිනවීමට සිවිල් සංවිධාන රාශියක් දායක වුණා. ඔබ වහන්සේගේ නායකත්වයෙන්යුත් සධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ද එම සංවිධාන අතර ප‍්‍රබල සංවිධානයක්. මෙම මහමැතිවරණයේ දී එම සිවිල් සංවිධාන නිහඬද? එසේත් නැත්නම් සිවිල් සංවිධානවල දායකත්වය කෙබඳුද?

සිවිල් සංවිධාන කිසිසේත් නිහඬ නැහැ. සිවිල් සංවිධාන නොකඩවා ක‍්‍රියාත්මකයි. ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වටේ සිටියේ සිවිල් සංවිධාන 49 ක් පමණයි. එහෙත් මෙම මහමැතිවරණයේදී යහ පාලනය ආරක්‍ෂා කිරීමට සිවිල් සංවිධාන ඊට වඩා විශාල සංඛ්‍යාවක් පෙළගැසී සිටිනවා. දැනටමත් 70 වකට ආසන්න ප‍්‍රමාණයක් එකතුවෙලා තියෙනවා. මෙම සිවිල් සංවිධාන එකමුතුව ලබන 28 වෙනිදා කොළඹදී අවබෝධතා ගිවිසුමකට අත්සන් කරනවා. ඒ වගේම යහපාලනය ගිලිහී යාමට ඉඩ නොදී ඉදිරියට ගෙනයාමට මෙම සංවිධාන එකමුතුව ක‍්‍රියාකරනවා.

මොනවද සිවිල් සංවිධාන මෙම මැතිවරණ ව්‍යාපාරයේදී ගන්නා ක‍්‍රියා මාර්ග?

ප‍්‍රධාන ක‍්‍රියාමාර්ගය ජනතාව දැනුම්වත් කිරීම. ඒ සඳහා වෘත්තීයවේදීන්, සිවිල් ක‍්‍රියාකාරිකයින්, කලා කරුවන් ඇතුළු කණ්ඩායම් රැසක් දිවයින පුරා නගර ගම් දනව් සිසරා යනවා. පත‍්‍රිකා බෙදනවා. වීදී නාට්‍ය පවත්වනවා, වතු රැස්වීම්, ප‍්‍රධාන රැස්වීම් ඇතුළු ජනහමු පවත්වා ජනතාව අමතනවා.

මොනවගේ පණිවිඩයක්ද සිවිල් සංවිධාන ජනතාව අතරට රැගෙන යන්නේ?

අපි පළමුවෙන්ම කියනවා දිනූ ජය ආරක්‍ෂා කරගන්න කියලා.

අපි පොදුවේ සියලූම ඡුන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිනවා  ‘මොන පක්‍ෂයට ඡුන්දය පාවිච්චි කළත් තමන් පාවිච්ච කරන ඡන්දය රටේ උත්තරීතර සභාව වන පාර්ලිමේන්තුව නියෝජනය කරන්න සුදුසු උගත් බුද්ධිමත් පුද්ගලයෙකු වෙනුවෙන් පාවිච්චි කරන්න.’ කියලා.

නීතිඥවරුන්, වෛද්යවරුන්, මාධ්‍යවේදීන්, ඇතුළු සෑම වෘත්තිකයෙක්ම, සෑම පුරවැසියෙක්ම වෙන කවරදාටවත් වඩා අවදියෙන් ඉන්නවා රටේ ගමන් මග ගැන. රට හොඳ තැනකට ගෙන ඒමටයි කාටත් වුවමනා කරනනේ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් ආදී කිසිම බේදයක් නැහැ. අපි හැම දෙනාම ශ‍්‍රී ලාංකිකයන්. අපි ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් හිතන්න ඕනෑ මේ රට හොඳ තැනකට ගේන්න. ඒ නිසා සිවිල් සංවිධාන වෙනුවෙනුත්, මම පුද්ගලිකවත් ඉල්ලා සිටිනවා. මේ රට ගොඩනගන්න එක්වෙමු. මේ රටේ යහපාලනයක් ගෙනයන්න පුළුවන් රජයක් පිහිටුවා ගනිමු කියලා. මේ අපි හැමෝගෙම රට යි.

සාකච්චා කළේ  –  මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *