රනිල් දන්න සහ නොදන්න දේශපාලනය – රටේ රාළ

sharethis sharing button

2024 ජනාධිපතිවරණය සම්බන්ධ සාකච්ඡාව පක්ෂ විපක්ෂ කාටවත් දැන් අලුත් දෙයක් නෙවෙයි.තවත් මාස 17 කින් ජනාධිපතිවරණය එන්න නියමිතයි.පලාත් පාලන මැතිවරණය කල් දැම්මා වගේ ජනාධිපතිවරණය කල්දාන්න බෑ. රනිල් උනත් කල්පනා කරන්නේ ජනාධිපතිවරණය මඟහරින්න නෙවෙයි.කොහොම හරි ගොඩදාගන්න.දැන් ඇවිත් තියන ප්‍රශ්නය රනිල් හදිස්සි ජනාධිපතිවරණයට යයිද කියන එකයි.ඒකට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය ඕනිම වෙලාවක පාර්ලිමේන්තුවෙන් කරගන්න පුළුවන්.

පහුගිය දවසක ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට රනිල් කියලා තිබුණේ කුමන වර්ගයක හෝ මැතිවරණයකට ලෑස්ති වෙන්න කියලයි.රනිල්ගේ ඒ කතාව ඇතුලේ කුමන වර්ගයක හෝ මැතිවරණයක් කිව්වම පාර්ලිමේන්තු කණ්‌ඩායමේ ඔළුවට එන්නේ පලාත් සභා හරි පලාත් පාලන හරි ඡන්දයක් ගැන නෙවෙයි. සාමාන්‍යයෙන් එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් හරි ජනාධිපතිවරණයක් හරි ගැන අදහසක්.කොහොම උනත් කුමන හෝ මැතිවරණයකට ලෑස්ති වෙන්න කියන එකෙන් රනිල් කරන්න හදන්නේ ඉක්මනින් බිම සක්‍රීය කරන්න.කබල රත් කරලා තියාගත්තම ඕනි වෙලාවක රොටිය පුච්ච ගන්න පුළුවන් කියලා රනිල් හිතනවා ඇති.රනිල් ජූනි පළවෙනිදා ජාතිය අමතලා කරපු කතාව ඇතුලෙත් රනිල්ගේ දේශපාලන ඉලක්කය හංගලා තියන හැටි රටේ රාළ කියලා ඇති.රනිල් හදසි ජනාධිපතිවරණයකට යනවා නම් ඒකට මූලික හේතු කීපයක් බලපානවා.

රටේ ආර්ථිකය ස්ථාවර නොවුනත් ජනතාවට සහනදායී මට්ටමක් හදන්න පුළුවන් නම් රනිල් ඒ චාන්ස් එක ගන්න බලයි.ඊළගට රනිල් වටේට බලවේග එකතු කරගත්ත නව සන්ධානයක් හදන්න පුළුවන් විදිහට පිටිය සකස් කරගන්නත් ඕනි.කොහොම උනත් රනිල්ගේ පැත්තෙන් මේ අවුරුද්දේ අවසන් කාර්තුව වෙනකොට ජනතාවට තවත් සහන ටිකක් දෙන්න පුළුවන් කියන අදහස ඇති.ඒකට අවශ්‍ය ණය සහ ආධාර ටික ගන්න සැලැස්මක් රනිල්ට තියනවා. ආසියානු සංවර්ධන බැංකුවෙන් එන ඩොලර් මිලියන 350 යි.IMF දෙවෙනි වාරිකය සහ ලෝක බැංකුවෙන් ගන්න උත්සාහ කරන ණයයි ඒ වෙනුවෙන් යොදවයි.ඊට අමතරව ජපානය වගේ රටකින් සැලකිය යුතු ආධාර ප්‍රමාණයක් හම්බ වෙයි කියලා හිතන්න පුළුවන්.ඒ හරහා තවත් සහන පැකේජයක් ජනතාවට යෝජනා කරන්න පුළුවන්.දනටමත් සියට 25 සීමාවට ඇවිත් තියන උද්ධමනය සැප්තැම්බර් වෙනකොට තනි ඉලක්කමකට ගේන බවත් කියවෙනවා.

බැංකුවල පොලී අනුපාතිකය අඩු කරලා තියනවා.හැබැයි දැනට තියන පොලී අනුපාතිකවලින් ණය අරන් ව්‍යාපාර කරන්න නං හිතන්නවත් බෑ.ඒක තවත් අඩු වෙන්න ඕනි.දැන් සාමාන්‍ය ජන ජීවිතය යථා තත්වයට පත්වෙමින් තියනවා.ඔය අතරට රාජ්‍ය අංශයටත් සහනයක් දුන්නොත් ජනතාවගේ පැත්තෙන් ආණ්ඩුවට එල්ලවෙන පීඩනය අඩුවෙයි.ඒ වගේ තත්වයක් උදා කරගන්න පුළුවන් නං රනිල්ට තියන හොඳමදේ ඉක්මන් ජනාධිපතිවරණයකට යන එකයි. ඒක ගොඩක් වෙලාවට ලබන අවුරුද්දෙ මුල් කාර්තුවේ වෙන්න පුළුවන්.රටේ තත්වය එතනට ආවොත් ඊළගට රනිල් හිතනවා ඇත්තේ රනිල් මුල් කරගත්ත පොදු සන්ධානයක් ගැනයි.ඒක එජාපය මුල් කරගත්ත සන්ධානයක් වෙන එකක් නෑ.එජාපයත් ඒ සන්ධානයේ කොටස්කරුවෙක් වෙයි.රනිල් එයාගේ ඡන්ද පදනම ගැන මෙහෙම හිතනවා වෙන්න ඕනි.උතුරු, නැගෙනහිර සහ වතුකරයේ දෙමළ ඡන්ද ප්‍රතිශතයේ බහුතරය. සමහරවිට දැනටත් ඒක රනිල්ගේ ඡන්ද බැංකුවට වැටිලා ඇති.

මුස්ලිම ඡන්ද ප්‍රතිශතය තවමත් නිශ්චිත තැනක නෑ.ඒ උනත් ඒක තමන්ගේ ගොඩට දාගන්න පුළුවන් කියන අදහසක රනිල් ඇති. සමහරවිට කතෝලික ඡන්ද තීරුවෙන් කොටසක් රනිල් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්.එජාප ඡන්ද පදනම රනිල්ට කොහොමත් තියනවා. පොහොට්ටුවේ ඡන්දවලින් කොටසක් රනිල් බලාපොරොත්තු වෙනවා.සජිත් නාවත් සජබෙන් අඩුම වශයෙන් 80% කට වඩා වැඩි කොටසක් අවසානයේ රනිල් එක්ක එකතු වෙයි කියලා එජාපය හිතනවා.සජබේ ඇඳ වැටීම හරහා විපක්ෂයේ දේශපාලන පක්ෂ හා පුද්ගලයින් රනිල්ගේ කදවුරට රිංගන්න පුළුවන්.රටේ රාළ හිතන විදිහට රනිල් ගණන් හදනවා ඇත්තේ එහෙමයි.ඒ විදිහට ගණන් හදාගෙන,රනිල් දිනුම් කියලා හිත හදාගෙන හොඳ මානසික තෘප්තියකින් ඉන්නවා වෙන්නත් පුළුවන්.ජන්දය ඉවර වෙනකම් රනිල්ට එහෙම ඉන්න පුළුවන් වෙයි.හැබැයි රටේ රාළ කියන්නේ රනිල් එහෙම නං ගණන් හදාගෙන ඉන්නේ ඒක සම්පුර්ණයෙන්ම වැරදි කියලයි.

ඔය ගණන් හැදීමට අහුනොවෙන හේතූන් මත පාලනය වෙන ඡන්ද කුට්ටියක් අපේ රටේ තියනවා.ඒ ඡන්ද කුට්ටිය තීරණාත්මක එකක්. ඒක හැසිරෙන්නේ ආර්ථික කාරණා මත නෙවෙයි.ඒක හැසිරෙන්නේ සංස්කෘතික කාරණා මතයි.ඒ ඡන්ද කුට්ටිය 5% – 7% අතර එකක්.ඒක වේගවත් චලනයක් පෙන්වන ඡන්ද කුට්ටියක්. ජනාධිපතිවරණයකදී එක ඡන්දයත් වැදගත්.ඒ ඡන්ද පදනමට අමතන්න බැරි නං කොච්චර නම් ලියපු බෝඩ් ලෑලි තමන්ගේ ගොඩට දාගත්තත් වැඩක් නෑ.අඩුම ගානේ පොඩි ප්‍රතිශතයකින් හරි පරදිනවා.ඔය හා සමාන අද්දැකීමකට රනිල් ඉතිහාසයේ අවස්ථා දෙකකදී මුහුණ දීලා තියනවා.රනිල් ඇඳගෙන නං ඉන්නේ හොඳමදේ ආපහු ඒ ඉතිහාසය මතක් කරගැනීමයි.1999 ජනාධිපතිවරණයේදී රනිල්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයා උනේ චන්ද්‍රිකා.චන්ද්‍රිකා එයාගේ දෙවෙනි ධූර කාලයට තරඟ කරමින් හිටියේ. ඒ වෙනකොට චන්ද්‍රිකාගේ ජනප්‍රියත්වය සැලකිය යුතු මට්ටමින් පිරිහිලා තිබුණා.

ජනතාවට චන්ද්‍රිකා දුන්න පොරොන්දු ගොඩක් කඩකරලා. විශේෂයෙන්ම විධායකය ජනාධිපති ධූරය අහෝසි කරන්න දුන්න පොරොන්දුවත් කඩකරලා.ඒක රටේ ජනතාව ඉස්සරහා චන්ද්‍රිකා සපත කරපු පොරොන්දුවක්.මැතිවරණය ආරම්භයේ පටන් වැඩි වාසි තිබුණේ රනිල්ට. මැතිවරණ සටනේ ගොඩක් දුර යනකම් ඉස්සරහින් හිටියේ රනිල්.අවසානයේ රනිල් චන්ද්‍රිකාට පරාදයි.චන්ද්‍රිකා ඡන්ද 51.12% ක ප්‍රතිශතයක් ගනිද්දී, රනිල්ට ගන්න පුළුවන් උනේ 42.71% ක් විතරයි. ජනාධිපතිවරණ කාලය ඇතුලත චන්ද්‍රිකාට එල්ල වුන බෝම්බ ප්‍රහාරයෙන් සහ රනිල් වටේට හිටපු අය කරපු වැඩවලින් රනිල්ට පරාජය බාරගන්න වුනා.ඒ කියන්නේ ජනාධිපතිවරණ ක්‍රියාවලිය ඇතුලේ මතුවෙන තත්වයන් විසින් ඡන්ද ප්‍රතිපලය වෙනස් කළා.2005 ජනාධිපතිවරණයත් රනිල්ට එහෙම පාඩමක් කියාදුන්න මැතිවරණයක්. 2005 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නා උනේ රනිලුයි,මහින්දයි.මහින්ද නවක අපේක්ෂකයෙක් උනත් පොදුජන එක්සත් පෙරමුණ ජනතාව අතර පිරිහිලා තිබුණේ.

ඒ නිසාම මහින්දට වඩා අවස්ථාවක් රනිල්ට තිබුණා.ඒක ඒ මැතිවරණ ප්‍රතිඵලයෙන් හොඳටම පේනවා. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද 50.29% ක ඡන්ද ප්‍රතිශතයක් ගනිද්දී රනිල් 48.43% ක ඡන්ද ප්‍රතිශතයක් ගත්තා.රනිල් චන්ද්‍රිකාට වඩා ගොඩක් මහින්ද ආසන්නයට ආවා. මහින්ද දිනන්නේ වැඩි ඡන්ද 180,786 කින්.කොටි සංවිධානය එක්ක මහින්ද එකඟතාවයකට ඇවිත් තියෙද්දී,ජවිපෙ මහින්දගේ මැතිවරණ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම මෙහෙයවද්දී රනිල් ඒ තරම් කිට්ටුවට ආවා කියන්නේ ඇත්තටම දිනුම තිබුණේ රනිල්ට බව ඔයාලට තේරෙනවා ඇති.හැබැයි ජනාධිපතිවරණය ඇතුලේ ඇතිවුන තත්වයන් විසින් රනිල් පරාද කරලා මහින්ද දිනුවා. මෙතන තියන ලැජ්ජා සහගත වැඩේ කියන්නේ කොටි සංවිධානය සහ ජවිපෙ ඒ වෙනකොට එකිනෙකට හතුරු ස්ථාවරවල හිටපු සංවිධාන දෙකක්.හැබැයි මහින්ද එකවිට ඒ සංවිධාන දෙකම කළමණාකරය කළා.උතුරේ ඡන්ද දායකයා රනිල්ට ඡන්දය දෙන්න ඡන්ද පොලට එන එක කොටි සංවිධානය හරහා නතර කරලා දකුනේ ඡන්දදායකයාට මහින්ද ගැන ජවිපෙ හදපු ආකර්ෂණය හරහා රනිල්ට විරුද්ධව මහින්දට ඡන්දය දෙන්න ඡන්ද පොලට ගෙන්න ගත්තා.

එහෙනම් ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලයට බලපෑම් කරන ඡන්ද කුටිටියක් මේ අතර තියනවා. ඒක බුද්ධිමත් ස්ථරයක් කියලා රටේ රාළ කියන්නේ නෑ.හැබැයි නායකයන් බුද්ධිමත් නම් එක බුද්ධිමත් විදිහට මෙහෙයවන්න පුළුවන්.මහින්දලා ඒ ඡන්ද කුට්ටිය පාවිච්චි කළේ ජාතිවාදී පදනමෙන්. ඇත්තටම ඒක ජාතිකවාදී ඡන්ද කුට්ටියක්.ජාතිකවාදී ඡන්ද පදනම ජාතිවාදයට යන්න නොදී රැකගන්න ඕනි.ඒක කරන්න පුළුවන්.ඒකයි රටේ රාළ කියන්නේ එතන දේශපාලනයට එහා ගිය සංස්කෘතික කාරණාවක් තියනවා කියලා.ඒ සංස්කෘතික කාරණාවට ආමන්ත්‍රණය කරන්න රනිල්ට තියන හැකියාව සීමිතයි.එහෙම බලවේගයක් රනිල් වටේට නෑ. ඒකයි රටේ රාළ කියන්නේ මේ පාරත් රනිල් කිට්ටුවටම ඇවිත් මිස් වෙන්න පුළුවන් කියලා.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ

RN

LNW

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *