|

කැපවීම් කළොත් වැල් පාලම පසුකළ හැකියි – එස්. එම්. ලියනගේ

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

ඒ පසුගියදා නුවරඑළියේ පැවති ජාතික නීතිඥ සමුළුව අමතමින්ය. තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

එපමණක් නොව නීතිය හා සාමය, දේශපාලන සහ ආර්ථීක ස්ථාවරත්වය යළි පිහිටුවීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව මුළුමනින්ම අර්බුදයෙන් මිදී ඇති බව නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඉදිරියේදී විශාල කැපවීම් කළ යුතුව ඇති බව ද සඳහන් කළේය.

 

බුද්ධිමය සහ ශ්‍රම දායකත්වය

මීට මාස දහයකට පෙර රට දැඩි ආර්ථික අභියෝගයට ලක් වූ අතර එය ඉතිහාසයේ කිසිදා නොතිබූ තත්ත්වයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තත්ත්වය සමනය කර ගැනීමට තමා ඇතුළු කණ්ඩායම කටයුතු කළ බවත් සඳහන් කළේය.

සැබවින්ම මේ මොහොත ඉතිහාසගත වන්නේ, ජාතික නීති සමුළුව මඟින් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ එහි වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන පළමු අවස්ථාව මෙය වන නිසාය. එනම් 2048 වසර වන විට බලාගතු ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම වෙනුවෙන් සිදු කරන ප්‍රතිසංස්කරණ හමුවේ, ඊට නීති ක්ෂේත්‍රයේ කොටස හඳුනා ගැනීම සඳහා මැදිහත්වීම මෙහි අපේක්ෂාවය. ඒ නිසාම නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් ඉතිහාසයේ පළමු වරට මේ සමඟ එක්ව සිය බුද්ධිමය සහ ශ්‍රම දායකත්වය ලබාදී සිටිනු ද දකින්නට ලැබිණ.

නීති ක්ෂ්ත්‍රයේ පමණක් නොව, සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධව මේ ආකාරයේ සමුළු, සම්මේලන, විවෘත සංවාද පැවැත්වෙමින් ඇත. ඒ සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු රේඛීය ආයතන සියල්ල නියෝජනය කරන්නන් එක්වෙමින් ඇත. සාමාන්‍යයෙන් මෙය අපේ රටේ ජනතාවට නුහුරු නුපුරුදු අත්දැකීමක්ය. පෙර නොවූ විරූ තත්ත්වයක්ය.

මීට මාස 10කට පමණ පෙර ශ්‍රී ලංකාවේ තිබුණේ එසේ මෙසේ අර්බුදයක් නොවන බව අවිවාදිතය. එය මහා අර්බුදයක් විය. මතුපිටින් එය මුළුමනින්ම පාහේ ආර්ථික අර්බුදයක හැඩ ගත්ත ද එය ආර්ථික අර්බුදයකට පමණක් සීමා වූයේ නැත. සමස්ත ආර්ථික – දේශපාලන ක්‍රමය බිඳ දැම්මේය. ආණ්ඩු කිරීමේ ක්‍රියාවලිය මෙන්ම සමාජ ස්ථායිතාව බිඳ දැම්මේය. ජනයාගේ ජීවිතත් පහසුවෙන් පිළිසකර කළ නොහැකි ලෙස පෙර නොවූ විරූ හානියකට ලක්කර පොළොවේ ගැසීය. ඒ හරහා පෙන්නුම් කෙරුණේ සමස්ථ ක්‍රමයේම කඩා වැටීමක් ය. දැන් කළ යුතුව තිබෙන්නේ කුමක්ද ? දැන් කළ යුතුව තිබෙන්නේ සෑම අංශයකින්ම නැවත ගොඩනැඟීමක් ය. ආර්ථිකය, දේශපාලනය, ආණ්ඩුකරණය, සමාජ සංස්ථාවම නැවත ගොඩ නැගීමක්ය.

 

ජාතික පරිවර්තන මාර්ග සිතියම

දැන් ප්‍රශ්නය නම්, ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වැඩපිළිවෙළක් තිබෙනවා ද යන්නය. ඒ ගැන තවදුරටත් සැක සංකා තබා ගන්නට දෙයක් නැත. මේ වන විටත් වැටුණු රට ගොඩ නැගීමට අදාළ වැඩපිළිවෙළ ජනාධිපතිවරයා රට හමුවේ තබා ඇත. එයින් නොනැවතී තවත් ඉදිරියට ගොස් මීට පෙර කිසිදු රාජ්‍ය නායකයකු නොකළ ආකාරයට, “රට ගොඩනඟන ජාතික පරිවර්තන මාර්ග සිතියම ” ජුනි 01 වනදා ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශයත් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට හමුවේ තැබීය.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ, මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවය. තම අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බවය. “අපි ඉදිරියට යමු ! තරගකාරී ලෝකයට මුහුණ දිය හැකි අන්දමට අපේ ආර්ථිකය හැඩ ගස්වා ගනිමු. රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රමානුකූලව සිදු කරමු” කියාය. “ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා අප සිදු කරන්නේ වැරැදි ප්‍රතිපත්ති, දුර්වල වැඩසටහන්, අසාර්ථක ව්‍යාපෘති, ක්‍රමවත් මාවතකට ගැනීමයි. බංකොලොත් රටක් යළි ගොඩනැගීම පැරණි සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් සිදු කළ නොහැකියි. අපි අලුතින් සිතා අලුත් ගමනක් ආරම්භ කළ යුතු වෙනවා.” වගේම ” ඉදිරි වසර 05 තුළ රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කර ඊළග වසර 25 තුළ ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්කරනවා” යන සහතිකය ද ජනාධිපතිවරයා එහිදී ජනතාවට දුන්නේය.

එපමණක් නොව ප්‍රධාන කුලුනු 4ක් පදනම් කරගෙන රට ගොඩනගන ආකාරය ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය. එනම් පළමු කුලුන – රාජ්‍ය මූල්‍ය හා ප්‍රතිසංස්කරණ, 2 කුලුන – ආයෝජන ප්‍රවර්ධනය, තුන්වෙනි කුලුන – සමාජ ආරක්ෂණ ජාලය, හතරවැනි කුලුන – රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ වශයෙන්ය.

 

ඩිජිටල්කරණය සහ වගවීම

එසේම මෙරට ජනතාව කාලයක් තිස්සේ ඉල්ලූ, පසුගිය සමයේ ක්‍රම වෙනසක් ඉල්ලා පාරට බැහැපු කොටස් ඉල්ලා සිටි මූලික ඉල්ලීම් 3ක් කෙරෙහි ද මෙහිදී අවධානය යොමුව ඇත. ඒ, 1) සමාජයේ දිළිඳු හා අසරණ කොටස් ආරක්ෂා කර ගැනීම. 2) දූෂණය මැඩලීම 3) රජයේ ක්‍රියාමාර්ග හා පිළිවෙත් පිළිබඳව නිරන්තරව මහජන අදහස් විමසීම යන්නය. මේ ඉල්ලීම් තුනම මේ මාර්ග සිතියමේ ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. ඒ සමඟ නියාමන, ප්‍රසම්පාදන සහ දේශපාලන යන සියලු අංශයන්හි දූෂණ සම්පූර්ණයෙන්ම අත්හිටුවීම සඳහාත්, ඩිජිටල්කරණය සහ වගවීම පදනම් කරගත් රාජ්‍ය යාන්ත්‍රණයකින් දූෂණ විරෝධී පිළිවෙත් ක්‍රියාත්මක කරලීම සඳහාත් විශේෂ කාර්ය සාධන බළකායක් ස්ථාපිත කිරීමට නියමිතය.

ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පසුගාමී වමට අලුත් සටන් පාඨ සොයා පසු බසින්න වෙන තැනට ඉදිරියේ මෙරට දේශපාලන සිතියම වෙනස් වීමට නියමිත බවය. සාම්ප්‍රදායික විපක්ෂයට අලුත් වෙස් මුහුණු සොයා ගන්නට බල කෙරෙමින් ඇති බවය. තවමත් මෙරට විපක්ෂය අර්බුදයට විසඳුම ලෙස ඉදිරිපත් කර සිටින්නේම සාම්ප්‍රදායික ජනප්‍රිය සටන් පාඨයය. වාමාංශික කොටස්වලට අනුව මතුව ඇති අර්බුදයට වසර 75ක් තිස්සේ මෙරට පාලනය කල පාලකයන් වගකිව යුතු අතර ඊට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැත. සජබ ප්‍රමුඛ “වමටත් නැති දකුණටත් නැති” විපක්ෂයේ අදහස නම්, “සජිත්ට හැර වෙන කාටවත් මේ රට හදන්න නොහැකිය” යන්නය. එසේම මේ පිරිසේ ඇති පොදු සාධක වන්නේ, ඔවුන් මෙරට සිදු කිරීමට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වීමය. ඒ වෙනුවට පැරණි අසාර්ථක බව මේ වන විට ඕනෑවටත් වඩා තහවුරු කළ ආර්ථික උපාය මාර්ග ගැන විශ්වාසය තැබීමය. එසේම ආර්ථිකය සම්බන්ධව වන කතා බහේදී ඔවුන් වඩාත් ප්‍රිය කරන්නේ “ජාතික ආර්ථිකය” නම් ජනප්‍රියවාදී ප්‍රවණතාවයේ නියෝජිතයන් ලෙස පෙනී සිටීමටය.

 

ඓතිහාසික උරචක්‍ර මාලය

ඔවුන්ගේ මේ ස්ථාවරය මීට මාස 10කට පමණ පෙර ජනතාව අතර තහවුරුවක් ගෙන තිබු බව ඇත්තය. ඒ සෑම අංශයක් තුළම අසාර්ථක වූ ගෝඨාභය පාලනයට පිංසිදු වන්නටය. නමුත්, මහා අර්බුදයේ තීව්‍රතම මොහොත විසින් ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ තෝරා පත්කර ගැනීමත් සමඟ විපක්ෂයේ මේ ඊනියා ජනප්‍රියතාවාදය දියවෙන්න ගත්තේය. නැතිනම් ක්‍රමයෙන් වාෂ්ප වන්න ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා මේ ඓතිහාසික උරචක්‍ර මාලය ගෙල පලඳවා ගන්නා අවස්ථාවේ කියා සිටියේ, කෙසේ හෝ තමන් දුෂ්කර වැල් පාලම පසුකර දෙන බවය. ඒ කර්තව්‍යයෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාර්ථක බව මාස 10කට පසුව අත්දකින්නට ඇති සමාජ ආර්ථික පසුබිම විසින් තහවුරු කර හමාරය. මේ වන විට සෑම ක්ෂේත්‍රයකම ප්‍රවීණයන් සිය විශේෂඥතාව සමඟ ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහය දක්වන්න ඉදිරිපත් වන්නේ ඒ නිසාය. ඒ තුළ දේශපාලනයක් හෝ පටු ලාභ අපේක්ෂාවක් නැත. නැතිනම් රට ගොඩ නගන්න සහය වීමට ඉදිරිපත් වූ පමණින් ඔවුන් කිසිවෙක් වික්‍රමසිංහකරණයවීමක් නැත. ඇත්තේ සිය යුතුකම් කොටස ඉටු කිරීම පමණය. ඒ නිසාම දැන් රටට නැවුම් බලාපොරොත්තුවක් ලැබී ඇත. නිවැරැදි මාවතක් ඉදිරියේ ඇත. නැවුම් ගමනක අපේක්ෂාව විසින් පැවති අපේක්ෂාභංගත්වය පලවා හැර ඇත. පම්පෝරිය වෙනුවට වැඩකිරීමට පිළිගැනීම ලැබී ඇත.

 

අරාජිකවාදී අවතාර

කෙසේ වුවත් පරිස්සම් වෙන්නත් දෙයක් ඇත. ඒ මේ වන විට ලිබරල්, ප්‍රතිසංස්කරණවාදී, ප්‍රගතිශීලී, දක්ෂිණ, ආදී විවිධ සළු දරා සිටින අරගලයෙන් උපන් අරාජිකවාදී අවතාර වෙතින්ය. ඔවුන් පෝෂණය කරන අරාජික මතවාදයන් වෙතින්ය. ඒ මොහොතේ ඔවුන් කුමන වෙසක් ගෙන සිටියද, ඉතාම සුළු කරුණක් මත පදනම්ව පවා සිය සැබෑව වෙත, එනම් අරාජිකත්වයට සමාජය ඇද දමන්නට කැස කවනු දකින්නට ලැබීමය. පසුගිය සමයේ ආගමේ නාමයෙන් මෙන්ම, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස කියමින් විවිධ වේශයන්ට ඇඳ මේ අවතාර අරාජිකත්වය වෙත නැවත සමාජය ඇද දමන්න උත්සාහ ගනු දකින්නට ලැබිණ. ඔවුන් දැනටමත් පසුගිය සමයේ සමාජය මත වපුල වසුරු ආණ්ඩුවේ කියන්නට නොගත් උත්සාහයක් නැත. ඒ සියල්ල පිටුපස ඇත්තේ, අරාජිකත්වයේ අහිංසක අරාජිකත්වයක් නොව, රට ගොඩනගන වැඩපිළිවෙළට බාධා කිරීමය. ඒ ආපසු හැරවීමය.

රට ගොඩ නගන සෑම ප්‍රයත්නයක්ම ඉතිහාසය පුරා කඩා බිඳ දැම්මේද මේ අරාජිකවාදී අවතාර විසින්ය.

සැබවින්ම සියලු දෑ සාමාන්‍ය ලෙස පවතින සාමකාමී කාලයක වුවද අරාජිකවාදීන් සහ අරාජික මතවාදයන් සමාජයක යහපැවැත්මට තර්ජනයක් වන්නේ මේ නිසාය. විශේෂයෙන් මෙවන් ප්‍රතිසන්ධාන කාලයකදී, අරාජිකවාදීන් සේවය කරනුයේ සමාජ ප්‍රතිසංවිධානය කිරීමට එරෙහිව ප්‍රති විප්ලවීය කැරලිකාරීත්වයක් ලෙසය. එය ආගම, මානව නිදහස , අයිතිවාසිකම් ආදී විවිධ ලොසින්ජරවල දවටා තිබෙන්න පුළුවන. නමුත් අවසන් අපේක්ෂාව අරාජිකත්වය නිර්මාණය කර ගැනීමය. ඒ තුළ තම පැවැත්ම තහවුරු කර ගැනීමය. ප්‍රශ්න ජීවිතය කරගෙන ජීවන මාර්ග සකසා ගැනීමය. එහි වාසිය සීමිත පිරිසකට පමණක් වන අතර, සාතිශය බහුතරයකට උරුම වන්නේ නැවතත් පරණ ජීවන තත්ත්වයමය. නැතිනම් ඊටත් දරුණු තත්ත්වයක්ය. එනිසාම රටේ ආර්ථිකය සහ සාමාජීය තත්ත්වයන් ඉක්මවමින් ප්‍රතිසංවිධානය කර යථා තත්ත්වයට පත් කිරීමට නම් එවන් අරාජිකත්වයන් වහා පාලනය කළ යුතුය.

සියල්ලටම වඩා බංකොලොත්ව, ඇද වැටී යළි නැඟිටින රටට අරාජිකවාදීන් විසින් සිදු කරන බිඳ දැමීම්, නැවත නැවතත් ප්‍රතිසංවිධානය කිරීමට කාලයත්, ධනයත් දෙකම නැත. ජාතිවාදී ආගම්වාදී ගැටුම්වලින් හැත්තෑපස් වසරක ඉතිහාසය පුරා ජීවිතත් දේපළත් අහිමි කර ගත් රටකට තවත් බිලිදෙන්න දෙයක් ඉතුරුව නැත. තවත් හෙළන්නට කඳුළු හෝ සෝ සුසුම් ද නැත. ඒ නිසා රටේ ආර්ථිකය සහ සාමාජීය තත්ත්වයන් ඉක්මවමින් ප්‍රතිසංවිධානය කර යථා තත්ත්වයට පත් කිරීමට නම් මේ ජනාධිපතිගේ රට ගොඩනගන වැඩපිළිවෙළ ආපසු හරවන්නට වෙරදරන අරාජිකත්වයන් ද වහා පාලනය කළ යුතුය. එය අධිකාරිවාදයක් හෝ බලහත්කාරයක් නොව ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතීන් ගේ සීමාව අරාජිකවාදයට පියවරක් පසුපසින් තැබීමක් විය යුතුය.

 

එස්. එම්. ලියනගේ

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *