මෙන්න මහින්ද – සී. ජේ. අමරතුංග


 “හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා වාගේ” යැයි කතාවක් ජනවහරේ ඇත. එය මේ අවස්ථාවේ මතකයට නැඟුණේ හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයක් කියැවූ විටය. එම නිවේදනයෙන් කියා තිබුණේ “හදිසි ව්‍යවස්ථා සංශෝධනය බෙදීම නොකියා රට බෙදීමක්” බවයි. ඔහු කියන්නේ ආණ්ඩුව හදිසියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නට යන බව හා එමඟින් රට බෙදීමක් කරන්නට අර අදින බවයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ උත්සාහය කිසිසේත්ම හදිසියේ සිදුවූවක් නොවන බව මේ රටේ ජනතාව හොඳින්ම දන්නා කාරණයකි. මෙය වසර දෙකකට පෙර පැවැති ජනාධිපතිවරණයේ ප්‍රධාන පොරොන්දුවකි. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පොරොන්දු වූ විට මහින්ද රාජපක්ෂ මහතාද කීවේ මමත් ඒක කරනවා කියාය. එයට විරුද්ධ වූයේ නැත. එසේ වූවද රාජපක්ෂ මහතාගේ කෙරුවාව මෙන්ම පොරොන්දු ගැනද හොඳින් දැන සිටි ජනතාව ඔහුව ගණනකට ගත්තේ නැත. ජනවරම දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාටය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත්වී, එවකට පැවැති පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථා සංශෝධන කරන්නට උත්සාහ කළ විට කකුලෙන් ඇද‍්දේ මහින්ද රාජපක්ෂ මහතාගේ ගෝල බාලයින් විසිනි. එසේ වූවද දහනව වන සංශෝධනය ඇතුළු වැදගත් ප්‍රතිසංස්කරණ ගණනාවක් සම්මත කර ගත හැකි විය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම ඊළඟට පත්වන පාර්ලි‍ෙම්න්තුවට භාරදීමට තීරණය විය.

මෙම පාර්ලිමේන්තුව පත්වූයේ 2015 අගෝස්තු මාසයේදීය. එවිට ප්‍රධාන පක්ෂ දෙක එකතුව යහපාලන ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ ප්‍රධාන වශයෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමටය. එමඟින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්නටය. දැන් මේ පාර්ලිමේන්තුව පත්වී වසර එකහමාරකට ආසන්නය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත්වීමේ දෙවන වාර්ෂික සමරුව ලබන මසට යෙදී ඇත. තවමත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා නැත. තිබෙන්නේ අනුකමිටු කිහිපයක් සකස් කළ යෝජනා පමණකි. මහින්ද රාජපක්ෂ මහතා හදිසි සංශෝධන යැයි කියන්නට හදන්නේ ඒවාටය. හරියට කාලයක් නිදා සිට ඇහැරුණා ව‍ාගේය.

මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ බියපත් වී ඇත්තේ පාර්ලිමේන්තුවෙන් පත් කළ අනුකමිටු හයක් සකස් කළ යෝජනා කියැවීම නිසාය. මෙම පාර්ලිමේන්තුවම දැන් ව්‍යවස්ථාදායක සභාවකි. එහි මෙහෙයුම් කමිටුවක් ඇත. එක් එක් කේන්ද්‍රගත අධ්‍යයනයකට අනුකමිටුද ක්‍රියාත්මක විය. මේ සියල්ලෙහි පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වෙයි. රාජපක්ෂ මහතාගේ ගෝල බාලයෝද මේ කමිටුවල සිටිති. මේ බොහොමයක් යෝජනා ඒකමතික බවද වාර්තා විය. මහින්ද රාජපක්ෂ මහතා මේ විවේචනය කරන්නේ එම යෝජනාය.

මෙයින් පෙනී යන්නේ මේ වනවිට රාජපක්ෂ මහතාට තමන්ගේ ගෝල බාලයන්වත් විශ්වාස නැති බවය. නැතහොත් ඔවුන්ට මේවා තේරෙන්නේ නැති බවය. මෙය පාර්ලිමේන්තුවටත් එහි තමන්ගේම අනුගාමිකයන්ටත් කරන ලද අපහාසයක් බඳුය.

ෙද්ශපාලන ෙග්මක්

අනෙක් අතට මේ සකස් කර තිබෙන්නේ මූලික යෝජනා මාලාවකි. එය පාර්ලිමේන්තුවෙන් පත් කළ ප්‍රධාන කමිටුවේ සාකච්ඡාවට ලක්විය යුතුය. පසුව පාර්ලිමේන්තුව මඟින්ම එය සලකා බලා අඩුපාඩු සකස් කළ යුතුය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසෙන්නේ ඒ ආකාරයෙනි. ඒ ක්‍රියාවලියට ඉඩ නොතබා මැදින් පැන “රට බෙදනවෝ” කියා නිවේදන නිකුත් කරන්නේ වෙනත් දේශපාලන ගේමකට සූදානම් වීමට බව බොහෝදෙනාට පෙනී යන සත්‍යයකි.

“රට බෙදන” සටන් පාඨය මතුකරගන්නට මහින්ද රාජපක්ෂ මහතාත් ඔහුගේ ගෝල බාලයනුත් උත්සාහ දැරුවේ වරක් දෙවරක් නොවේ, පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් කරන්නටත් පෙර ඔවුහු මේ රට බෙදන කතාව කීවෝය. විමල් වීරවංශ මහතා මහ නාහිමියන්ගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගත්තේ රට බෙදන්නට යන කතාව කියන්නට ගොසිනි. ඒ සියල්ල අසාර්ථක වූ විට දැන් මුට්ටිය දමා බලන්නට ඉදිරිපත්ව සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාමය.

මහින්ද රාජපක්ෂ මහතාගේ නිවේදනයද රට පටලවන්නකි. එමඟින් කමිටුවල යෝජනා විකෘති කොට දක්වා ඇති බව ඒවාට සහභාගි වූ උදවිය කියති. එමෙන්ම යෝජනාවත් සමඟ එයින් ඇති විය හැකි යැයි රාජපක්ෂ මහතා හිතන දේද එකට ගළපා ලියා ඇත. කියවන අයකුට සිතෙන්නේ ඒ සියල්ල කමිටු ‍යෝජනාවේ ඇතුළත් වන බවයි. එමඟින් පාඨකයා අවුලකට යැවීමට උත්සාහ දැරීමක් දැකිය හැකිය.

නිවේදනයේ වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ යෝජනා මඟින් විය හැකි යැයි රාජපක්ෂ මහතා හිතන දේය. ඒවාට කියන්නේ හිතලු කියාය. එවැනි බොහෝ දෑ ප්‍රායෝගිකව සිදුවන්නේ නැත. බොහෝවිට මෙබඳු ලිපි ‍ලියන කියන අයද ඒ බව දනිති. එසේ වූවද ඒවා එලෙස ඉදිරිපත් කරන්නේ වෙනත් අරමුණු උදෙසාය.

මෙම නිවේදනයේ සියලු කරුණු සාකච්ඡා කිරීම මෙබඳු ලිපියකින් කළ නොහැකිය. එසේ වූවද එහි ඇති ප්‍රතිගාමී අරමුණු හඳුනා ගැනීමට ඇතැම් කාරණා උපුටා දැක්වීම වැදගත්ය.

මහින්ද රාජපක්ෂ මහතාගේ නිවේදනයේ අංක 8 දරන වගන්තියෙන් කියන්නේ මෙරටෙහි විවිධ ජන කොටස්වලට තිබෙන විශේෂ නීති මූලික නීතියට යටත් කළ යුතු බවයි. ජන කොටස්වලට වෙනම නීති තිබීම ඔහුට පිළිගත නොහැකිය. ඔහුට අනුව එය එක ජන කොටසකට වරප්‍රසාද ලබාදීමකි.

කෙසේ වෙතත් ශිෂ්ට ලෝකයේ නම් විවිධ ආගමික ජාතික කණ්ඩායම්වල විශේෂ නීතිවලට ගරු කිරීමක් පවතියි. සික් ජාතිකයන්ට හිස පලඳනාව පැලඳ හමුදා සේවය කිරීමට ඉන්දියාවේ පමණක් නොව අමෙරිකාවේද ඉඩ සලසා ඇත. එය ඔවුන්ට වරප්‍රසාදයක් බව ඇත්තකි. අන් අයට නැති වරප්‍රසාදයකි. එහෙත් එයින් කාටවත් හානියක් නැත.

නීතිෙය් ෙවනස

අපේ රටේ දැනටමත් වෙනත් නීති ක්‍රියාත්මකය. කවුරුත් එතරම් ගණන් නොගත්තද උඩරට විවාහ නීතිය හා පහතරට නීතිය වෙනස්ය. මුස්ලිම් නීතිය සම්පූර්ණයෙන් වෙනස්ය. අතීතයේදී ඇතැම් සිංහල ප්‍රභූන් බහු විවාහ සඳහා මුස්ලිම් නීතිය යොදාගත් අවස්ථාද අපි දනිමු. එහෙත් කිසිවකු එය වරදක් ලෙස දුටුවේ නැත. දේපළ නීති සම්බන්ධයෙන් පවා උඩරට සම්ප්‍රදාය හා පහතරට සම්ප්‍රදාය වෙනස් බව අපගේ අත්දැකීමයි.

උතුරේ තේසවලාමේ නීතිය ක්‍රියාත්මකවීම විවාදයට තුඩුදුන් තත්ත්වයකි. කෙසේ වෙතත් එයද රටේ මූලික නීතියට යටත් කරන්නට දෙමළ දේශපාලන නායකත්වය කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව කියති. එය හොඳ තත්ත්වයකි.

රාජපක්ෂ මහතාට අවශ්‍යව ඇත්තේ සියල්ල සමාජනීය කරන්නටය. ආගමික ජාතික අනන්‍යතා ප්‍රතික්ෂේප කරන්නටය. මෙය එලෙස ක්‍රියාත්මක කළහොත් එමඟින් මෙරට ආගමික ප්‍රජාවන් අතර ගැටුම් ඇතිවීම බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි. එමෙන්ම එය මෙරටේ ආදිවාසී ජනයාගේ පැවැත්මට පවා තර්ජනයක් විය හැකිය.

පොලිස් හා ඉඩම් බලතල පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතාගේ විවේචනයට ලක්වන යෝජනා දැනටමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වන සංශෝධනයේ අඩංගුය. ඒවා ක්‍රියාත්මක නොකළේ යුද තත්ත්වය ගැන කියමිනි. දැන් එවැනි තර්ජන නැත. දැන් එම බලතල දීමට විරුද්ධ වන්නේ දහතුන් වන සංශෝධනයට එහා ගිය බලතල පළාත් සභාවලට දෙන්නට ලෝකයට පොරොන්දු දුන් මහින්ද රාජපක්ෂයි. මෙයට අතීත අවස්ථාවාදය කියනවා හැර වෙන කිව හැක්කක් නැත.

රාජපක්ෂ මහතාගේ නිවේදනයේ ඉතාමත් ප්‍රතිගාමී යෝජනාව වන්නේ දෙමළ භාෂාවට දී ඇති රාජ්‍ය භාෂා තත්ත්වය ඉවත් කිරීමට කරන යෝජනාවයි. එම ලියැවිල්ලේ 10 වන ඡේදය අනුව ඔහු සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා වනවාට විරුද්ධය. ඔහු යෝජනා කරන්නේ සිංහල පමණක් යුගයට නැවත ගමන් කිරීමටය. දෙමළට ප්‍රාදේශීය භාෂා තත්ත්වය පමණක් ලබාදෙන්නටය. මෙය අතීතයට ආපසු යාමකි.

මේ වනවිට සිංහල හා දෙමළ භාෂා දෙකටම මෙරට රාජ්‍ය භාෂා තත්ත්වය ලැබී ඇත. එමෙන්ම සිංහල සිසුහු දෙමළ භාෂාවද, දෙමළ සිසුහු සිංහල භාෂාවද උගනිති. එය හොඳින් ක්‍රියාත්මක කිරීමට බැරිවී ඇත්තේ ඒ සඳහා ප්‍රමාණවත් තරම් ගුරුවරුන් නොමැතිවීම නිසාය. උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා පසුගියදා කීවේ මෙලෙස දෙවන බස ‍ඉගෙනීම අනිවාර්ය කළ යුතු බවයි. එමෙන්ම බොහෝදෙනා කියන්නේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හරියාකාරව ක්‍රියාත්මක කළහොත් රටේ ජනවර්ග අතර ප්‍රශ්නයේ අඩක් එයින්ම විස‍ඳෙන බවයි. එයින් කිසිවකුට හානිවන්නේ නැත. ඒ බව දැන් පැහැදිලිය. දෙමළ බසට ලැබී අති රාජ්‍ය භාෂා තත්ත්වය අහෝසි කරන්නට මහින්ද රාජපක්ෂ මහතා දැන් යෝජනා කරන්නේ ඒ සියල්ල කනපිට හරවන්නටය. මේවාට බොහෝදෙනකුගේ සහය නොලැබීම වාසනාවකි. නැතහොත් සිදුවන්නේ විනාශයකි.

නවසිය පනස් ගණන්වලදී බණ්ඩාරනායක මහතා සිංහල රාජ්‍ය භාෂාව කරන්නට යෝජනා කළේ ඉංග්‍රීසිය වෙනුවටය. ඉන්පසුව දෙමළ භාෂාවටද සාධාරණ තැනක් දෙන්නට එතුමා යෝජනා කළේය. එහි ප්‍රගතිශීලී බවක් තිබිණි. දැන් වසර හැටකට පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාව හුදෙක් දෙමළ භාෂාවට ලැබී තිබෙන තත්ත්වය අහෝසි කිරීමටය. එය බණ්ඩාරනායකගේ ක්‍රියාවට කිසිසේත් සමාන නැත. මෙය අන්ත ජාතිවාදී ප්‍රතිගාමී යෝජනාවකි.

රට බෙදීමේ අනතුර ගැනද යමක් කිව යුතුය. ඒ එබඳු තර්ජනයක් අප රටට නැති බවය. එයට හේතුව නම් දෙමළ ජනතාවට එබඳු අවශ්‍යතාවයක් නොතිබීමය. එම වුවමනාව තිබුණේ එල්.ටී.ටී.ඊ.යට පමණකි. එල්.ටී.ටී.ඊ.ය තම බලයට දෙමළ ජනයා නතුකර ගත්තේ එම ජනතාවගේ සැබෑ වුවමනාව නියෝජනය කළ අමිර්තලිංගම්ලා, නීලන් තිරුචෙල්වම්ලා වැනි නායකයින් විශාල සංඛ්‍යාවක් ඝාතනය කරමිනි. ඒ ඔවුන් සාධාරණ දේශපාලන විසඳුමකට පමණක් කැපවීම නිසාය. එල්.ටී.ටී.ඊ.ය වෙනම රාජ්‍ය ඉල්ලීම ඉදිරියට ගෙන ගියේ එලෙස අවි බලය යොදා ගනිමිනි.

බිල්ලා මැවීම

වෙනම රාජ්‍යය යන්න දෙමළ ජනයාගේ ඉල්ලීමක් නොවන බව මෙම ලියුම්කරු තේරුම් ගත්තේ එල්.ටී.ටී.ඊ.යේ ප්‍රචණ්ඩත්වය හා භීෂණය ලොවට හෙළි කිරීමට ක්‍රියා කළ යූ.ටී.එච්.ආර්. හෙවත් මානව හිමිකම් සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු යාපනයේ සංවිධානය හා කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි. ඔවුන් පෙන්වා දුන්නේ දෙමළ ජනයා තමන්ගේ සියලු අවශ්‍යතා ඉල්ලන්නේ ශ්‍රී ලංකා රජයෙන් බවයි. එල්.ටී.ටී.ඊ.ය තම ප්‍රදේශවල පොලිසි, උසාවි ක්‍රියාත්මක කළද ඔවුන් සිය ආණ්ඩුව ලෙස සැලකුවේ කොළඹ ආණ්ඩුවයි. මේ රටින් වෙන් කරන්නට ඔවුනට වුවමනාවක් තිබුණේ නැත.

එල්.ටී.ටී.ඊ. න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් හා කරුණා වැනි අය දේශපාලන විසඳුමකට එකඟ වී ඔස්ලෝ නුවරදී අත්සන් තැබුවේ මේ යථාර්ථය ඔවුන් තේරුම් ගෙන සිටි නිසා විය යුතුය. එය පසෙක දමා තමන්ගේ වෙනම රාජ්‍යයට යන්නට උත්සාහ දැරූ ප්‍රභාකරන්ට විනාශය අත්වූයේ එය දෙමළ ජනයාගේ වුවමනාව නොවූ නිසාය. මෙරට ජනවාර්ගික සමගිය ඇතිකිරීම සඳහා මෙම යථාර්ථය තේරුම් ගැනීම වැදගත්ය. මෙරට බෙදීම වැළැක්වීමේ හොඳම සහතිකය වන්නේ දෙමළ ජනයාට එවැන්නක් අවශ්‍ය ‍නොවීමයි.

එබැවින් මෙරට දැනටමත් ක්‍රියාත්මක හා තවදුරටත් ශක්තිමත් කළ යුතු බලය බෙදීමේ ක්‍රියාවලියට එරෙහිව අන්ත ජාතිවාදී අදහස් මතු කරමින් රට බෙදීමේ බිල්ලෙක් මවන්නට හදන්නේ වෙනත් දේශපාලන අරමුණකින් බව පැහැදිලිය. මෙය අද ක්‍රියාත්මක වන්නේ බංකොලොත් දේශපාලන කල්ලියක අන්තිම තුරුම්පුව වශයෙනි.

ජනාධිපතිවරණය පැරදීමෙන් පසුව නම්බු පිටින් ගෙදර යාමේ හැකියාවක් රාජපක්ෂලාට තිබුණේ නැත. ඒ ඔවුන් හැමගේම අල්මාරිවල තිබෙන ඇටසැකිලි සංඛ්‍යාව වැඩි නිසාය. කළ හොරකම් නිසාය.

ඊළඟට ඔවුන්ගේ උත්සාහය වූයේ ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දී පක්ෂයේ බලය අල්ලාගෙන ජනාධිපතිවරයා රූකඩයක් කරන්නටය. එය දැන් වැරදී අවසන්ය. මහින්ද රාජපක්ෂ මහතා පඹයකුගේ තත්ත්වයට පත්කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂයේ බලය ලබාගෙන ඇත.

දැන් මහින්ද පිලේ පිරිසක් වෙනම පක්ෂයක් හදාගෙනය. ඔවුන් කියන්නේ තවදුරටත් ශ්‍රීලනිපයේ බලය ගැනීම සිහිනයක් බවයි. එසේ වූවද එම කණ්ඩායමේ ප්‍රබල පිරිසක් කියන්නේ අලුත් පක්ෂය තමන්ගේ වැඩක් නොවන බවයි.

මේ අවුලෙන් ගොඩ එන්නට මහින්දලාට තිබෙන මාර්ගය ලෙස තෝරාගෙන ඇත්තේ ජාතිවාදය අවුස්සා එයින් දේශපාලන බලයක් හදාගැනීමය.

එසේ වූවද දැන් ඒ සඳහා ජනතාවගේ හොඳ ප්‍රතිචාර නැති බව පැහැදිලි කරුණකි. අතීතයේ අත්දැකීම්වලින් ඉගෙනගෙන සිටින ජනයා කවුරුන් හෝ මවා පෙන්වන බිල්ලන්ට බියවන්නේ නැත.

යථාර්ථය තේරුම් ගෙන තීරණ ගැනීමට මෙරට ජනයා බුද්ධිමත්ය. පසුගිය වසර දෙකක් තිස්සේ මෙරට මහජනයා පෙන්නුම් කරන්නේ එම පරිණතභාවයයි.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *