ඝාතකයන්ට දඬුවම් කිරීමට අපට බැරි වන්නට පුළුවන. එහෙත්, ඔවුන් අපගේ නායකයන් වීම වළක්වන්නට අප වග බලා ගත යුතු ය – අජිත් පැරකුම් ජයසිංහ

යාපනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සිංහලයන්ට ආමන්ත්‍රණය කරන්නට උත්සාහ කළ, ප්‍රියමනාප, ලස්සන, සොඳුරු මිනිසෙකි. දෙමළ ජාතිවාදියකු ලෙස සැලකිය නො හැකි ඔහු දන්නා සිංහලෙන් සිංහලයන්ට කතා කළේ එයින් ඔහුගේ ඡන්ද පදනමට ලැබෙන කිසිදු වාසියක් නිසා නොව, දෙමළ ජනයාගේ දුක්ගැනවිල්ල සිංහලයන්ට සංවේදී කිරීම වෙනුවෙනි.

ඔහු හා සම්බන්ධ රසවත් සිදුවීම් කීපයක් මතක් වේ. ඔහු සිතා සිටියේ ජනාධිපතිතුමා යන පදයේ ස්ත්‍රී ලිංගික පදය ජනාධිපතිතුමනි ය කියා ය. ඒ නිසා ඔහු කතා කරන විට ජනාධිපතිතුමනිට මම කිව්වා, ජනාධිපතිතුමනි මට කිව්වා ආදී යෙදුම් නිතර පරිහරණය කළේ ය.

වරක්, සටන් විරාම සමයේ එක් රූපවාහිනී සංවාදයකදී විරුද්ධ පාක්ෂිකයෙකු පැවසුවේ ඒ වන විට මරාගෙන මැරෙන සටන්කරුවන් රැසක් රජයේ පාලන ප්‍රදේශවලට පිවිස ඇති බවයි. මට මතක විදියට ඒ 80ක් වැනි විශාල ගණනකි.

“කවුද ගණන් ගන්නෙ?” රවිරාජ් කීවේ ය.

“මරාගෙන මැරෙන බෝම්බකාරයෝ එච්චර ගානක් ආවාම ගණන් නො ගෙන පුළුවන් ද?”

“නෑ, නෑ, ඒක නෙමෙයි මං කියන්නෙ කවුද ගණන් ගන්නෙ?” රවිරාජ් දිගට ම කීවේ ය.

ඔහුට අසන්නට උවමනා වී තිබුණේ ‘කවුද ගණන් කළේ?’ යන්නයි.

මේ සොඳුරු මිනිසා මරා දැමූ අය දැන් හෙළිදරව් වී තිබේ. ඝාතකයා රැගෙන යතුරුපැදිය පැද ගිය අපරාධ සහායක බුද්ධි අංශ සෙබළෙක් දැන් සාක්ෂි දෙයි.

ඝාතකයින් හමුදා බුද්ධි අංශවලට හා කරුණා පාර්ශ්වයට සම්බන්ධ ය. එය මෙහෙයවා තිබෙන්නේ බුද්ධි අංශවල ඉහළ නිලධාරියෝ ය. ඒ සම්බන්ධව ද සාක්ෂිවල කියැවේ. ප්‍රධාන සාක්ෂියක් වූ යතුරුපැදිය මුහුදට විසි කිරීම සඳහා කෑලි කපමින් තිබුණු ආකාරය ද මෙම සෙබළා දැක තිබේ.

මරන්නට යන්නේ රවිරාජ් බව දන්නේ නම් තමන් එයට සම්බන්ධ නො වන බව ඔහු පවසයි. රවිරාජ් සිංහල ජනයා අතර ජනප්‍රිය චරිතයක් විය.

ඒ අහිංසකයා මරා දමන්නට අණ ලැබුණේ ඉහළින් බව සාක්ෂිවලින් කියැවේ. අණ දුන්නේ කවුරු ද? මෙවැනි ඝාතනවලට අණ දුන් අය පැහැදිලිව ම මානසික ලෙඩ්ඩු ය. ලස්සන මිනිසකු වූ විජය කුමාරතුංග මරා දැමීමට අණ දුන් ජවිපෙ නායක රෝහණ විජේවීරට තිබුණු ගැටලු ලෙස වික්ටර් අයිවන් පෙන්වා දී තිබෙන කාරණා ම මේ අණ දෙන්නාට ද තිබෙන්නට ඇත.

එවකට සිටි හමුදාපතිවරු හා ආරක්ෂක ලේකම් මේවා අනිවාර්යයෙන් ම දැනගෙන සිටිය යුතු ය. මේ කිසිවක් පාලනයකින් තොරව ඉබාගාතේ සිදු වුණේ නැත. එහෙත්, අණ දුන් අය නඩුවේ විත්තිකාරයෝ නො වෙති. එසේ වූ පමණින් ඔවුන් නිර්දෝෂී පුද්ගලයන් වන්නේ නැත.

ඝාතකයන්ට දඬුවම් කිරීමට අපට බැරි වන්නට පුළුවන. එහෙත්, ඔවුන් අපගේ නායකයන් වීම වළක්වන්නට අප වග බලා ගත යුතු ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *