අරාජිකවාදී සමාජවාදීන් සටන් විරාමයකට යා යුතුය – අජිත් පැරකුම් ජයසිංහ

 

 

ලංකාවේ තිබෙන්නේ අතිශය අවදානම් දේශපාලනයකි. පැරණි රාජපක්ෂ ක්රමය බිඳවැටී ඇත. සමාජවාදීන් හා ප්‍රායෝගිකවාදීන් අතර බලය වෙනුවෙන් ගල උඩ සටනකි. අරාජිකත්වයකට තිබෙන ඉඩ සුළුපටු නොවේ.

මෙය 2022දී තිබුණු තත්වයේම දිගුවකි. බල තුලනයේ වෙනසකි. ගෝලීය ධනේශ්වරය උත්සාහ කරමින් සිටින්නේ ලංකාව ලෙබනනය මෙන් අරාජිකත්වයකට ඇදී යාම වළක්වා ගන්නටය. එහෙත්, දීර්ඝකාලීනව පැවති සුබසාධනවාදී රාජ්‍ය ධනවාදී සමාජවාදයෙන් හාෆ් බොයිල් වී සිටින කොයිල්කාර ලාංකිකයන්ට ඕනැ එකක් ප්‍රීති වෙසක්ය. අද වෙසක් දන්සල දෙන එකා හෙට අරගල වේශයෙන් කඩේකට සුද්දයක් දෙන්නට හැකිය.

කොයි පැත්තේ බැලුවත් ඉන්නේ එක එක ජාතියේ කට්ටියකි. ඩෑන්ලා, ලාල්ලා, රේඛලා, නූර්ලා, කහඳලා, ජීන්ලා අතර හරයාත්මක වෙනසක් නැත. ඊනියා ප්‍රබුද්ධ, රැඩිකල්, ප්‍රගතිශීලී, ලිබරල්, වාමාංශික, මානව හිතවාදී, කලාකාමී ආදී සියල්ලෝම පාහේ ගිය අවුරුද්දේ ප්‍රචණ්ඩත්වයේ මතකය මේ අවුරුද්දේ මැයි 9 ද තලු මරා රස වින්දහ. නැවත නැවත ජුලි 9 ආදී වශයෙන් ද රස විඳින්නට සිතාගෙන සිටින බව පෙනේ.

මැයි 9 ගෝල්ෆේස්හිදී ප්‍රහාරයට ලක්වූ ඇත්ත වින්දිතයන් ගැන දැන් කිසිවකුගේ අවධානයක් නැත. රඹුක්කනදී වෙඩිකෑ, දැන් විත්තිකරුවන් ද වී සිටින මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නට එදා අත්පොළසන් දෙමින් උසාවි දෙවනත් කළ නීතිඥයන් ද නැත. අරගලයේ ක්‍රියාකාරිකයන් බොහෝ දෙනෙකුගේ නඩු ගැන දැන් වාර්තා වෙන්නේ පවා නැත.

ගිය අවුරුද්දේ පහරදීමට, දේපළ ගිනිතැබීමට ලක් වූ වින්දිතයන් පිරිසක් වූ පොහොට්ටුවේ දේශපාලන ක්‍රියාකාරිකයන් අතරින් ආන්තික කොටස් නැවත ප්‍රචණ්ඩ අයුරින් අවදි වෙමින් තිබේ. ගිය අවුරුද්දේ ප්‍රචණ්ඩත්වය මෙහෙයවූ, එය මතවාදීව ආරක්ෂා කළ අය දැන් පුවත්පත් සාකච්ඡාවලට සීමා වී ඇත. 2022 පැවති බල තුලනය ප්‍රභූ මට්ටමේ සිට බිම් මට්ටම දක්වාම වෙනස් වෙමින් තිබේ.

පරාජිත සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේගය ප්‍රචණ්ඩ ලෙස නැගිටිමින් සිටින අතර ඇතැම් ප්‍රතිවාදීන් කරමින් සිටින්නේ ඔවුන් අනවශ්‍ය ලෙස කුපිත කරමින් ඔවුන්ට පහසුකම් සැපයීමයි. එය මුග්ධකමක් බව ඔවුන්ට තේරෙන්නේ නැත. තේරෙන අය පැත්තකට වී සිටිති. ජවිපෙ කරන්නේ එයයි. එහෙත්, අවසානයේ මේ සියල්ලම බැර වී හානි සිදුවන්නේ ජවිපෙ ඡන්ද බැංකුවටයි.

තමන් සිටින්නේ කුමනාකාරයේ යුදබිමකදැයි ගිය අවුරුද්දේ අරගලයෙන් බිහිවූ දේශපාලන දවසෙ පැටවුන් බොහෝ දෙනෙකුට අවබෝධයක් නැත. මේ අතර තමන්ට පැත්තක් නැතැයි ඇතැමෙක් සිතති. අවසන් ඊලාම් යුද්ධයේදී මෙන් මෙහිදී ද ඔබ එක්කෝ සිංහල බෞද්ධ නායකත්වය සමග සිටගත යුතුය. නැතිනම්, අරාජිකවාදී,-සමාජවාදී පෙසප-ජවිපෙ සමග සිටගත යුතුය.

දෙවනුව කී අරාජිකවාදී-සමාජවාදී බලවේගය යුද්ධයකට කෙතරම් සූදානම්ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත්, මේ වන විට ඔවුන් පොදු සතුරා ලෙස තෝරාගෙන අවසන්ය. සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි නායකත්වය ආරම්භ කර තිබෙන ජයසිකුරු මෙහෙයුමට මුහුණදීම සඳහා ඔවුන්ට අනිවාර්යයෙන්ම කඳවුරු බැඳගැනීමට සිදු වේ.

යූටියුබ් ජෝක්කාරයන් වැනි මෝස්තරකාරයන්ට මෙවැනි සංදර්භයක් තුළ කළ හැකි මෙලෝ අල බෝලයක් නැත. මේ සමාජයේ සිටින එව්රිබෝඩි සම්බොඩි වෙන්නට ඕනෑ නැත. අඩුගානේ දැනට පැත්තකට වී සිටිය යුතුය. නැතිනම් සිදුවන්නේ මෝඩාභිමානයේ කට්ටිය කන පරිප්පුව වැනි පරිප්පු ඉහින් කනින් පෙරාගෙන කන්නටය. මේ විහිළු කරන කාලයක් නොවේ.

ඉහත කී අරාජිකවාදී-සමාජවාදී බලවේගයට මේ යුද්ධය ජයගත නොහැකිය. ඔවුන් අතර පාලක පක්ෂය අතර තිබෙන ආකාරයේ අවම අවබෝධයක්වත් නැත. සූදානමක් ද නැත. ජයගත්තත් ඔවුන්ට ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයට විසඳුම් නැත. ඔවුන්ගේ කඳවුරේ රට අරාජික වීමේ ප්‍රාර්ථනා සියල්ල බිඳවැටෙමින් තිබේ. පාන් රාාත්තලක් ගෙන ඒමට වීල්බැරෝවෙන් සල්ලි ගෙන යාමට සිදුවනු ඇතැයි ආතල් ගත් නිකං කකා ඉන්න කාලකන්නින්ට පොසොන් එකටත් දන්සැල් පෝලිම් තිබේ.

මෙය වනාහි විප්ලවීය පරිවර්තනයක් සිදුවන යුගයකි. එය ගතානුගතික වාමාංශික භාෂාවෙන් විග්‍රහ කරනවා නම්, ලංකාවේ සිදුවන්නේ ධනේශ්වර සමාජ ක්‍රමය තිරසර ලෙස ප්‍රතිව්‍යූහගත වන පරිවර්තනයකි. කොහෙන් හෝ ගෙන ණයට කමින් සිටි සැපට සිටි දේශපාලක, රාජ්‍ය නිලධාරි, ගොවි-දිිළිඳු ආදී සත්ව ගහණයකට හම්බ කරගෙන කන වැඩ කරන මිනිසුන් බවට පරිවර්තනය වන්වනට සිදු වී තිබේ. එය කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ කිරීමට සූදානම් නායකත්වයක් ද රටට සෙට් වී තිබේ.

මේ පරිවර්තනය අනිවාර්යයෙන් කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, භාෂණයේ නිදහස වැනි උසස් සමාජ ප්‍රමිති පවත්වාගැනීමට හැකි වන්නේ මෙම කටුක පරිවර්තනය කළහොත් පමණි. නැතිනම් සිදුවන්නේ ලංකාව ද තවත් ලෙබනනයක්, ඇෆ්ගනිස්තානයක්, පකිස්තානයක්, වෙනිසියුලාවක්, මොසැම්බිකයක්, හයිටියක්, සුඩානයක්, සෝමාලියාවක් බවට පත්වීමයි. එය වැළැක්වීම සඳහා වියදම් කරන ඉන්දියාව, ජපානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, සෙසු ජාත්‍යන්තර ආයතන, බටහිර හා චීනයට අප වගවිය යුතුය.

එක්කෝ යුද්ධයයි. නැතිනම් සටන් විරාමයකට යා යුතුය. මොකක් හරි මගුලක් කර, කොහෙන් හරි වීසා ගහගෙන, බටහිර රටකට පැැනගෙන, එහේ ගල් වී, එසයිලම් ගසාගෙන, ‘අධිරාජ්‍යවාදී’ ආණ්ඩුවලින් කකා, ලංකාවේ විප්ලවය කරන්නට ෆේස්බුක්වලින් බසින කාලකන්නි පිංගුත්තරයන් හා වෙන්ඩ පිංගුත්තරයන් හට තියෙන්නේ ඒ වැඩේ ෂේප් එකේ කරගන්නා එකය. එය කළ යුත්තේ යූටියුබ්වලින් නොවේ. එසයිලම් ගැනීම ගැන විස්තර පසුව ලිපියක ලියන්නට බලාපොරොත්තු වෙමි.

අරාජිකවාදී සමාජවාදීන්ට දැනට කියන්නට තිබෙන්නේ එක කරුණක් පමණි. එක්කෝ හරියට යුද්ධය කරනු. 2022දීත් හරියට නොකළ එකක් දැන් කරන්නට පුළුවන් යයි මම නොසිතමි. ඒ නිසා සුළුතර ප්‍රජාවන් ඇතුළු තව පරම්පරාවක් නොමග නොයවා සටන් විරාමයකට එළඹෙනු!

සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති බලවේගය ද දෙගිඩියාවකින් තොරව මෙම පරිවර්තන ක්‍රියාවලියට කරගැසිය යුතුය. සෙවලයන් දැනටමත් වෙන්වී හමාරය. ඉන්න ටීම් එකත් එක්ක මැච් එක ගසන රනිල්ට ඉඩ දෙන්න. සාමාන්‍ය තත්වය ඇති වූ පසු නැවත කුලල් කාගැනීම ආරම්භ කළ හැකිය. එතෙක් ඉවසන්න.

ෆේස්බුක් හිපාටුවන්ට කළ හැකි කැකිරි ගෙඩියක් නැත. මෙම අවකාශය තිබෙන්නේ දේශපාලනික හස්ත සංසර්ගයට පමණක් බැවින් පහත තිබෙන කමෙන්ට් තීරුවෙහි කරුණාකර ඔබේ ශුක්‍ර මෝචනය සිදුකර, රස්සාවකට යන්න. වැඩ කරන්න. දෘෂ්ටිවාදයන්ට කිසිවක් කළ නොහැකිය. වෙනස නිර්මාණය කළ හැක්කේ ඵලදායී වැඩ කිරීමෙන් පමණි. ඩොලර් සෙවීමේ වැඩකට මම ද යමි.

අජිත් පැරකුම් ජයසිංහ

Praja

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *