කඩාවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීමට රජයේ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ගැන IMF ප්‍රසාදය

කඩාවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා ශ්‍රී ලංකා රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ගවල මෙතෙක් අත් කර ගෙන තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමට පත් වන බව මෙරටට සංචාරයක් සඳහා පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ නියෝජිත කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහත්වරුන් හමු වී සාකච්ඡා පැවැත්වූ අතර, එම සාකච්ඡාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මේ බව ප්‍රකාශ කළ බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා දිනමිණට පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය මෙන්ම සමාලෝචනයට ඇති සූදානම සම්බන්ධයෙන් සාකච්ඡා කළ නමුත් මෙය සමාලෝචන මෙහෙයුම නොවන බව සඳහන් කළ ශෙහාන් සේමසිංහ මහතා එම සමාලෝචන කටයුතු එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන බවද සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට විස්තීරණ ණය පහසුකමක් පිරිනැමීමට අනුමැතිය දුන් පසුව අදාළ වැඩසටහනට අදාළ සමස්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව සඳහන් කළ මුදල් රාජ්‍ය ඇමැතිවරයා මේ දින කිහිපයේදී ඔවුන් මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවද කීය. මේ වැඩසටහන අවසානයේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අවසන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සදහන් කළ මුදල් රාජ්‍ය ඇමැතිවරයා එහිදී මේ සම්බන්ධ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් යම්කිසි තක්සේරුවකට පැමිණීමේ හැකියාව තිබෙන බවද දැනටමත් හොඳින් ක්‍රියාත්මක කර තිබෙන වැඩසටහන් මෙන්ම තවදුරටත් ක්‍රියාත්මක කළයුතු වැඩසටහන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකි බවද පෙන්වා දුන්නේය. මේ නියෝජත පිරිස මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟද ඊයේ (11) සාකච්ඡා පැවැත්වූ අතර, අයිඑම්එෆ් විස්තීරණ ණය පහසුකම් සලසා ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු කෙටිකාලීන කාර්ය සාධනය සහ ප්‍රගතිය පිළිබඳව එහිදී වැඩිදුරටත් සාකච්ඡා කළහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් ඊයේ (11) මෙරටට ළඟා වූ අතර, ඔවුන් මේ මස 23 දා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිතය. විදුලිය, ඉන්ධන වෙළෙඳපොළ වටිනාකම් මත අලෙවි කිරීමට හඳුන්වා දුන් මිල සූත්‍ර ක්‍රමවේදය නොවෙනස්ව පවත්වා ගෙන යෑම, රජයේ ආදායම් වැඩි කර ගැනීමට සිදු කරනු ලැබූ බදු ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම යනාදිය ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණවල අඛණ්ඩව ඉදිරියට යෑම හා ඊට මතු වන බාධා පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදු කෙරේ.

මෙරට සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ව්‍යූහාත්මක මිනුම් දඬු අදියර තුනකින් සිදු කිරීමට ඉලක්ක කර ඇත. ඉදිරි ජූනි, ජූලි මාසවල සිදු කළ යුතු කටයුතු, ඉන් ඔබ්බට සැප්තැම්බර් මාසය වන විට සපුරා ගත යුතු ඉලක්ක සහ ලබන දෙසැම්බරය වන විට ළඟා විය යුතු කාර්යසාධන ප්‍රගතිය පිළිබඳ නිශ්චිත කාලවකවානු ඔස්සේ ගමන් කරලීමක් සිදු වන්නේද යන්න පිළිබඳ මූලිකවම මේ සාකච්ඡාවලදී කතිකා වන බව මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් දිනමිණට පැවසීය.

එම සංචාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ සිරිනිවාසන් මහතාද එක්ව සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු නිලධාරීහු දස දෙනෙක් ඒ කණ්ඩායමට ඇතුළත් වෙති.

ජයසිරි මුණසිංහ
මහින්ද අලුත්ගෙදර
දිනමිණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *