අතීතයට නැවත හොල්මන් කිරීමට ඉඩ නොදෙමු

ශ්‍රී ලංකා භූමියේ වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා සටන් කළ බිහිසුණු දෙමළ ඊලාම් කොටි සංවිධානය 2009 දී පරාජය කිරීමෙන් පසු පළමු වරට, එම සංවිධානය මගින් එතෙක් ප්‍රකාශයට පත් කොට තිබූ ‘මහා වීර සතිය’ සහ ‘මහා වීර දිනය’ ආරක්ෂක අංශවල බාධාවකින් තොරව උතුරු නැගෙනහිර පළාත්වල පැවැත්වීමට මෙවර අවස්ථාව ලැබුණු බව දෙමළ මාධ්‍ය වාර්තා කෙළේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය ජයග්‍රාහී කාලයේදී ‘මහා වීර දිනය’ ප්‍රකාශයට පත් කොට තිබුණේ, 1982 නොවැම්බර් 27 වැනි දා ඇති වූ සටනකදී තුවාල ලබා මියගිය ඔවුන්ගේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයෙකුව සිටි ෂංකර්ගේ මරණ සංවත්සරය සැමරීම වෙනුවෙනි. පසුව එම මරණ සංවත්සරයත්, එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනයත් සැමරීම සඳහා ‘මහා වීර සතිය’ ප්‍රකාශයට පත්විය. කෙසේ වෙතත්, අද වන විට එය, යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ පවුල්වල අයවළුන් තම නෑහිතවතුන් සැමරීම සඳහා යොදා ගන්නා සැමරුම් දිනයක් බවට පත්ව ඇත.

මේ සැමරුම් උත්සව පිළිබඳව සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය තුළ එතරම් ආවරණයක් සපයා නැතත්, උතුරු නැගෙනහිර පළාත්වල සමරන ලද උත්සව අළලා දෙමළ මාධ්‍ය විශාල ප්‍රචාරයක් දී තිබුණි. ඒ අතර රූප රාමු සහිත සම්පූර්ණ පිටු ගණන්ද, ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වශයෙන්ද දෙමළ පුවත්පත්වල පළවුණි.

කෙසේ වෙතත්, තමන්ගේ ප්‍රියයන් සැමරෙන මේ උතුරු නැගෙනහිර පළාතේ උත්සව නිසා, දැනට ක්‍රියාත්මක වන සංහිඳියා ප්‍රයත්නයන් අඩාල විය හැකි බව, දකුණේ වෙසෙන දෙමළ දේශපාලඥයන් පෙන්වා දී තිබේ. සහජීවනය භාර අමාත්‍ය මනෝ ගනේෂන්, දෙමළ ජනතාව තමන්ගේ මියගිය සහෘදයන් සැමරිය යුතු වෙතත්, එල්.ටී.ටී.ඊ, සංවිධානය සැමරිය යුතු නැති බව කීය. පුනරුත්ථාපන, යළි පදිංචි කිරීම සහ හින්දු කටයුතු පිළිබඳ අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් ද ඊට සමාන අදහසක් පළ කොට තිබේ.

මේ අතර, ‘මහා වීර දිනය’ සැමරීම සඳහා උතුරු පළාත් සභාව වෙත ගෙන ආ යෝජනාවක් එහි සභාපති සී.වී.කේ, සිවඥානම් විසින් ප්‍රතික්ෂේප කරන ලදි. රටේ පවතින වර්තමාන තත්වය අනුව එවැන්නක් නොකළ යුතු බව ඔහුගේ අදහස විය. බෙදුම්වාදී සංවිධානය විසින් එම සැමරුම ප්‍රකාශයට පත්කොට තිබුණේ වෙන් වීමක් මුල් කොටගෙන නිසා, උතුරු පළාත් සභාව විසින් එවැන්නක් අද සැමරීම බෙදුම්වාදයකට නැවත රුකුල් දීමක් සේ පෙනී යා හැකිය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මියගිය සාමාජිකයන්ගේ නෑ-හිතමිත්‍රාදීන් විසින් ඔවුන්ව සමරනු ලැබීම සංවේදී ක්‍රියාවක් වන අතරේම, ඉතා පරිස්සමින් කළ යුතු ක්‍රියාවක්ද වන්නේය. එල්.ටී.ටී.ඊ, සංවිධානයේ ක්‍රියාකාරකම් නීති විරෝධී විය. එසේම බොහෝ විට අමානුෂික විය. එහෙත් ඔවුන් වනාහී, දැනට ජීවතුන් අතර සිටින අයවළුන්ගේ දූ පුතුන් ය. සහෝදර සහෝදරියන් ය. තාත්තලා සහ අම්මලා ය. ඉතිං දැනට ජීවතුන් අතර සිටින එම පිරිස් තමන්ගේ ප්‍රියතමයන් සැමරීම වළක්වනු ලැබීම සදාචාරවත් නොවේ.

එහෙත් අනිත් අතට, මේ සැමරුම් තුළදී, එල්.ටී.ටී.ඊ, සංවිධානය සහ එහි අතීත ක්‍රියාකාරීත්වය උත්කර්ෂයට නැංවිය හැකි නිසා, වර්තමාන තරුණ පරපුර බෙදුම්වාදයකට හෝ ප්‍රශ්න විසඳා ගැනීමේ මාදිලියක් වශයෙන් ආයුධ අතට ගැනීමේ පුරුද්දට යොමු වීමේ ඉඩකඩ තිබේ. මනෝ ගනේෂන් සහ ස්වාමිනාදන් වැනි ඇමතිවරුන් සිතන බව පෙනෙන්නේ එයාකාරයෙනි. ‘මහා වීරයන්ගේ’ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට තමන් උත්සුක වන බවට, මේ සැමරුම්වලට සහභාගී වූ ඇතැම් දේශපාලඥයන් ප්‍රතිඥා දී තිබේ. එය වෙනම රාජ්‍යයක් වෙනුවෙන් කෙරෙන ප්‍රතිඥාවක් වශයෙන් කෙනෙකුට අර්ථ දැක්විය හැකිය. එහෙත් තවත් කෙනෙකුට එය, දෙමළ ජනතාව මුහුණදෙන ප්‍රශ්නවලට විසඳුමක් සොයා ගැනීම සඳහා දෙන ප්‍රතිඥාවක් වශයෙන්ද අර්ථ දැක්විය හැකිය. මේ අර්ථකථන දෙක අතර ඇත්තේ ඉතා සියුම් වෙනසක් නිසා, ඒ දෙයාකාරයෙන්ම එය කෙනෙකුට තේරුම්ගත හැකිය.

දේශපාලන පොරපිටියේ තරග වදින දේශපාලඥයන්ට, මෙවැනි දෙපැත්ත කැපෙන ප්‍රකාශයන් ඔස්සේ, තරුණයන්ව භයානක ප්‍රවණතාවන් වෙතට තල්ලු කිරීමේ ඉඩකඩ නොමදව තිබේ. බෙදුම්වාදී අරගලයට අඩිතාලම වැටුණේ මධ්‍යස්ථ දේශපාලඥයන් අතින් බවත්, පසුව එය තරුණයන් විසින් තමන්ගේ අතට ගත් බවත් අමතක නොකළ යුතුය. අවසානයේ එහි ප්‍රතිඵලය වුණේ, රටම විනාශ කළ, විශේෂයෙන් දෙමළ ජනතාව වෙසෙන පෙදෙස් විනාශ කළ, තිස් අවුරුදු කුරිරු යුද්ධයකි.

එල්.ටී.ටී.ඊ. නායකත්වය අමතක කළ සහ වර්තමාන දෙමළ නායකත්වය විසින් සිහියේ තබා ගත යුතු සරළ සත්‍යයක් තිබේ. එනම්, ඉන්දියාවේ දකුණු කොණේ මිලියන 50 කට අධික දෙමළ ජනතාවක් වෙසෙන තත්වයක් තුළ, ශ්‍රී ලංකාවේ උතුරු කොණේ වෙනම දෙමළ රාජ්‍යයක් බිහි වීමට ඉන්දියාව කිසි විටෙකත් ඉඩ නොතබන බවයි. මන්ද යත්, එවැන්නක් මගින් යම් දවසක තමිල්නාඩුවේත් වෙනම රාජ්‍යයක් සඳහා වන උද්ඝෝෂණවලට මගපෑදිය හැකි බැවිනි. එනිසා, තවත් බෙදුම්වාදී යුද්ධයක් ශ්‍රී ලංකාවේ ඇති වුණත්, එයද අවසන් වනු ඇත්තේ දෙමළ ජනතාවට විනාශය ළඟා කරමිනි. එබැවින්, එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ඇතුළු යුද්ධයෙන් මියගිය සැවොම සැමරීම සහ විනාශකාරී දේශපාලනික අනාගතයකට අතවැනීම අතර වෙනස පැහැදිළිව හඳුනාගෙන කටයුතු කළ යුතුව තිබේ.
2016 නොවැම්බර් 30 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ
අතීතයට නැවත හොල්මන් කිරීමට ඉඩ නොදෙමු
නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *