මුදල් ලැබුණු දිනෙක ඡන්දය තියනවා – මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

මැතිවරණය සඳහා රජයෙන් මුදල් ලැබුණු දිනයක හෝ අධිකරණය නියම කරන දිනයක හෝ පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දැනුම් දුන්නේ ඉහත කී දින අතරින් පළමුවෙන් එළඹෙන දිනයේ මැතිවරණය පවත්වන බව යි. මේ වන විට මැතිවරණය සඳහා දිනයක් නියම කොට නැති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව , මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 04 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

එම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ අවස්ථාව වන විට පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තම සේවාදායකයින් විසින් දිනයක් නියම කර නොමැති බව සඳහන් කළේය.

භාණ්ඩාගාරය විසින් ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් නිකුත් කරන අවස්ථාවක හෝ අදාළ ඡන්ද විමසීම පවත්වන ලෙස අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරන අවස්ථාවක හෝ එම අවස්ථා දෙකෙන් කලින් එළඹෙන අවස්ථාවක අදාළ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දිනයක් නියම කරන බව තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *