උතුරු නැගෙනහිර එක ඒකකයක් සේ සලකා ජනපති-TNA සාකච්ඡා – සුමන්තිරන්

බලය බෙදීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ උතුරු නැගෙනහිර ජනතා නියෝජිතයන් සමගඒකාබද්ධ සාකච්ඡාවකට ජනාධිපතිවරයාගේ කැමැත්ත පළ වී තිබේ.

තම සන්ධානයේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා එවැනි ඒකාබද්ධ සාකච්ඡාවකට එකඟ වු බවයි දෙමළ ජාතික සන්ධානය පවසන්නේ.

බලය විමධ්‍යගත කිරීම සම්බන්ධ දෙමළ දේශපාලන ඉල්ලීම වී ඇත්තේ ඒකාබද්ධ උතුරු නැගෙනහිරට පෙඩරල් පන්නයේ ස්වයං පාලනයක් ලබාදීමයි.

” අපි කිව්වා අපි ඒක උතුර වෙනම නැගෙනහිර වෙනම කියලා අපිව සලකන්න බෑ. අපි එකතුව තමයි ඒ ගැන කතා කරන්නේ කියලා. ඒකට ජනාධිපතිතුමා දැන් එකග උනා,” යි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ  එම්.ඒ සුමන්තිරන් කියා සිටියේ මැයි 9 වැනිදා ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසු අගනගරයේ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

ආණ්ඩුවේ කොටස්කරුවන් වී දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදාගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද්‍රවිඩ පක්ෂ වලට ලෝක කම්කරු දිනයදා කළ ආරාධනයෙන් පසු පැවැත්වෙන මෙම සාකච්ඡා දින දෙකක් තුළ පැවැත්වීමට නියමිත බව මන්ත්‍රීවරයා එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

” පළමුවෙන්ම 11 වැනිදා සංහිදියාව සම්බන්ධව සියළු කාරනා ටික ඉඩම් ප්‍රශ්න ගැන කතා කරන්නත්, පහුවදා 12 වැනිදා බලය බෙදීම ක්‍රමය ගැන සාකච්ඡාවට අපි එනවා. ඒකට උතුරු නැගෙනහිර පළාත් දෙකම නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ආරාධනා ලැබෙනවා.”

2023 පෙබරවාරි මස 4 වැනිදාට පළමු ජාතික ප්‍රශ්නය විසඳන බවට සහතික වෙමින් ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය සමග පැවත් වු  සාකච්ඡා හතරක් මෙන්ම මේ වසරේ ජනවාරි 26 වැනිදා පැවැත්වු බහු පාක්ෂික සමුළුව ද නිමා ව දුටුවේ කිසිදු ප්‍රගතියකින් තොරවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර සාකච්ඡා පවත්වන්නේ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නියෝජිතයන් සමගය.

දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමට වහාම මැදිහත් වන්නැයි දෙමළ ජනතා නියෝජිතයකු ඊයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ සිය නොහැකියාව පළ කර තිබු අයුරු දෙමළ ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

රජයේ ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් වාඩිලා සිටින දෙමළ ජනයාට අයත් උතුරේ ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට ජනාධිපති ලෙස කටයුතු කරන්නැයි දෙමළ ජාතික සන්ධානයේ හවුල් කාර ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මැයි 09 වැනිදා ඉල්ලා සිටි අවස්ථවේ “ඔබගේ පක්ෂය තුළ තිබෙන ගැටළු විසදාගැනීමට ඔබට නොහැකිනම් ජනාධිපති ලෙස ඔබ කියන ආකාරයට ගැටළු විසඳීමට මට පුළුවන්දැ,” යි ජනාධිපතිවරයා මන්ත්‍රීවරයාගෙන්  පෙරලා ප්‍රශ්න කළ බව දෙමළ මාධ්‍ය වාර්තා කර ඇත.

දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන්ගේ මූලිකත්වයෙන් එම සාකච්ඡාවට සිවඥානම් ශ්‍රීධරන්, ශානක්‍යන් රාසමානික්කම් සහ තවරාසා කලෙයරසන් යන මන්ත්‍රීවරුන්ද සහභාගී වූ බව සුමන්දිරන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *