මූසිලගෙන් ගුත්තිල ඇදුරාට ඉල්ලීමක් – නිශාන්ත කමලදාස

ගුත්තිල ඇදුරු වෙත ආදරයෙනි

ඔබතුමා මට සංගීතය ඉගැන්වූ බව ගෞරව පූර්වකව සිහිපත් කරමි. ඔබතුමාගේ පරිශ්‍රමය අපතේ නොයවා මාද හොඳින් ශිල්ප හැදෑරූ බව ඔබතුමා ද පිළිගන්නවා ඇත. ඔබ හොඳ ගුරුවරයෙකු වූ තරමට මම හොඳ ගෝලයෙකු ද වීමි.

මා අසා ඇති අන්දමට ගුරුවරයෙකුට ඇති ලොකුම සතුට සිය ගෝලයා තමාට වඩා ඉහළ යෑම ය. ඒ සතුට මම ඔබට ලබා දුන්නෙමි. අවසානයේ ඔබ පැරදවිය හැකි තරමට මම ශිල්ප ශාස්ත්‍රයෙහි නිපුණයෙකු වීමි.

එතකුදු වුව රාජ සභාවේ මා ලදුයේ ආරම්භයේ ලද වැටුප පමණ ය. මා අභියෝග කළේ ඔබට නොවේ. ඒ කරන ලද කුඩම්මාගේ සැළකිල්ලට ය. ඒ සඳහා ඔබ හා තරග වැදීමට සිදු වීම ගැන මම අදද පසුතැවිලි වෙමි.

මට ඔබ පැරදවිය හැකි බව දැනගත් විට ඔබ කළේ දෙව්ලොව ගුලි වල පිහිට පැතීම ය. වීණාවේ තත් කැඩීමෙන් ප්‍රාතිහාර්ය පා බලා සිටින්නන් වසගයට පත් කිරීම ය. එය කිසි ලෙසකින් වත් සාධාරණ තරගයක් නොවී ය. ඒ අසාධාරණ තරගයෙන් ඔබ ජය ගත්තෙහි ය.

මේ ලිපිය, තරගයේ තීරණය වෙනස් කිරීමට තෙවැනි විනිසුරුගේ අවධානයට යොමු කිරීමේ වෑයමක් නොවේ. දැන් ඒ තරගය අයිති අතීතයට ය. ඒ නිසා සාධාරණ තරගයක් පැවැත්වූයේ නම් ජය හිමි විය යුත්තේ මට යැයි කියා නැවත ඒ මිය ගිය අතීතය ඇවිස්සීමට මට අවශ්‍ය නැත.

ගුරු ගෝල සම්බන්ධය තුළ ගෝලයා සාදාකාලිකව පහත සිටිය යුතු ය යන සමාජ වටිනාකමක් හැදීමට මේ කතාව හේතු නොවූයේ නම් මා මේ ලිපිය කෙසේ වත් ලියන්නේ නැත. එ් සමාජ වටිනාකම ඇති කර ඇති බලපෑම අතිශයින් නිශේධනීය ය. ගුරුවරයෙකු වැරදි වුව ද එය ඉවසීමටත් ගුරුවරයාට වඩා දක්ෂ වුව ද ඒ බව සගවා ගෙන සිටින්නටත් අද ද ශිෂ්‍යයින්ට සිදු ව තිබීමේ ඛේදවාචකයේ ආරම්භය අපේ මේ කතාව ය. මගේ ප්‍රශ්නය ඇත්තේ එතැන ය.

මේ ලියුම ලිව්වේ ඔබෙන් එකම එක ඉල්ලීමක් කිරීමට ය.

හැංගී සිටීමට හා වැරැද්දක් ඉදිරියේ ද මුණිවත රැක සිටීමට සිදු වීමේ  සාපයෙන් වත්මන් ශිෂ්‍යයන් බේරා ගන්නට ඉදිරිපත් වන්නැයි ඉල්ලීමට ය. ගුරුවරයා ප්‍රශ්න කිරීමට සහ ගුරුවරයා අභිබවන්නට ඔවුනට අවසර දෙන්නැයි ඉල්ලා සිටීමට ය. එය කළ හැක්කේ ඔබට ය. ඒ කටයුත්ත කල් යල් නොබලා කළොත් ඉන් සිසුන්ට පමණක් නොව රටටම ඇති කරන යහපත කිව නොහැකි තරම් ය.

ධුරාවලියක බරින් යටපත් නොවී නිදහසේ අදහස් හුවමාරු කර ගත හැකි ස්වර්ග රාජ්‍යය මේ මිහිපිට තනන්න යැයි තාගෝර් කිවිඳු අනුව යමින් මම දෙවියන්ගෙන් ඉල්ලීමට අදහස් කර සිටින්නෙමි.

ඔබට ගුලි දුන්නාට මගේ මේ අහිංසක වරම ඉටු කර දෙන්නට දෙවියන් ඉදිරිපත් වෙතැයි යන්න සැක සහිත ය. මා ඔබ ඇමතුවේ එය ඔබට හැකි වෙතැයි අපේක්ෂා කළ නිසා ය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *