සල්ලි තියෙන හැමෝ ම ධනපතියෝ ද? පෙති නො බොන හැමෝ ම පිස්සෝ ද? – අජිත් පැරකුම් ජයසිංහ

 

ඖෂධ මිළ අඩු කිරීම පිළිබඳව වෛද්‍ය ගිශාන්ත දිසානායක කරන  පැහැදිලි කිරීම අනුව, රජයේ ඖෂධ මිළ අඩු කිරීමේ රෙගුලාසි අනුව ඔසු මිළ අඩු වී තිබෙන්නේ අධි මිළ වෙළඳ නාමවලින් අලෙවි කරනු ලබන ඖෂධවල පමණි. ඔහු පවසන පරිදි රාජ්‍ය ඔෂධ සංස්ථාව හා රාජ්‍ය ඖෂධ නීතිගත සමාගම විසින් අලෙවි කරනු ලබන ඖෂධ කිසිවක මිළ අඩු කර නැත.

ඔහු වැදගත් යෝජනාවක් කරයි. එනම්, සියලු ඖෂධ ආනයන සමාගම් විසින් ආනයනයේදී සියලු ඖෂධ සඳහා නිල වශයෙන් ඉදිරිපත් කරනු ලබන මිළ අනුව සාධාරණ ලාභයක් සමාගමට ලබා දී මිළ නියම කරන ලෙසයි.

මෙම පැහැදිලි කිරීම ඉතා විධිමත් එකකි. ඒ පිළිබඳ දන්නා අයට කරුණු පැහැදිලි කළ හැකි ය. අවම මට්ටමේ ඖෂධ පාරිභෝගිකයකු වන මම වෙළඳපොළේ ඖෂධ මිළ ගණන් ගැන කිසිවක් නො දනිමි.

එහෙත්, එය අන්තර්ජාලයේ බෙදා හදා ගත් නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කර තිබුණු කාරණයක් කෙරෙහි මගේ අවධානය යොමු විය. ඔහු සටහන් කර තිබුණේ “මිත්‍යා ප්‍රබන්ධ සුනුවිසුනු කිරීම යනු මෙයයි!!!” යනුවෙනි.

එහෙත්, මෙම ප්‍ර‍කාශය තුළ ධනපතියා පිළිබඳ ප්‍ර‍වර්ධනය කරන්නේ ද මිථ්‍යාවකි. වෛද්‍ය ගිශාන්ත දිසානායක පුන පුනා සඳහන් කරන පරිදි මිළ වැඩි ඖෂධ භාවිතා කරන්නෝ ධනපතියෝ ය. අප කතා කරන්නේ මෙම මිථ්‍යාව ගැන ය. සල්ලි තියෙන හැමෝ ම ධනපතියෝ ද? ඖෂධ මිළ ගැන නො වේ.

සම්භාව්‍ය මාක්ස්වාදය අනුව ධනපතියා යනු නිෂ්පාදන මාර්ගවල හිමිකරුවා ය. ධනේශ්වර සමාජ ක්‍රමය යටතේ ප්‍රධාන පංති දෙක වන්නේ ධනපති පංතිය හා වැටුප් ශ්‍රමිකයන් වන කම්කරු පංතියයි.

මාක්ස්ගේ මෙම විග්‍රහය සමස්ත ලෝකයට ම හෝ ධනවාදයේ සියලු යුගවලට එක සේ ගැලපෙන්නේ නැත.

උදාහරණයක් ලෙස මෙහි ප්‍රස්තුතය වන ශ්‍රී ලංකාව නම් ලෝක ආර්ථිකයේ පරිවාරයේ පිහිටි ධනේශ්වර රාජ්‍යයේ ඉතා බලවත් රජයක් ඇත. එම රජය ජනතාවගෙන් බදු අය කිරීම, ජනතාව වෙනුවෙන් ණය ගැනීම පමණක් නොව සෘජුව ම ව්‍යාපාර ද කරයි. එය දැවැන්ත සමාගමකි. එහි ලාභාංශ බෙදා ගන්නේ ප්‍රධාන වශයෙන් ම දේශපාලකයන්, රජය සමග කොන්ත්‍රාත් කරන්නන් හා රජයේ ඉහළ නිලධාරීන් විසිනි. පාඩුව මහජනයාගෙන් හෙවත් ප්‍රධාන වශයෙන් රටට විදේශ විනිමය ගෙන එන හා ඵලදායී වැඩ කරන ජනයාගෙන් පූරණය කර ගනු ලැබේ. මහජනයාට මෙය යුක්තියුක්ත කිරීම සඳහා රජය විසින් සුබසාධන සේවා පවත්වාගෙන යනු ලැබේ. එහෙත්, සුබසාධන සේවා පවත්වාගෙන යන්නේ රජය පවත්වාගෙන යාම සාධාරණීකරණය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට පමණි.

අපි නිර්මාල් රංජිත් වැනි රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු උදාහරණයට ගනිමු. ඔහුගේ නම X ය කියා සිතන්න. මෙම පුද්ගලයා රජයේ විශ්වවිද්‍යාලයක උගන්වයි. එම රැකියාව සුවිශේෂ රැකියාවක් නිසා එයට වරප්‍රසාද රැසක් හිමි ය. ඒ අතරට මහජන මුදලින් විදේශ ශිෂ්‍යත්ව, වසර පහකට වරක් තීරු බදු රහිතව කාර් ආනයනය කර ගැනීමට දෙන බලපත්‍රය විකුණා මිලියන කීපයක ලාභයක් ලැබීම ආදිය පමණක් නොව, ඉතා අඩු වැඩ ප්‍රමාණයක් කර වැඩි වැටුපක් ලැබීමේ අවස්ථාව ද තිබේ. දේශන සඳහා සූදානම් වීම පිණිස කාලය ලබා දීම සාධාරණ ය. එහෙත්, මෙම අත්තනායක උගන්වන්නේ සාමාන්‍ය දේවල් ය. කාලයක් උගන්වා ඇති හෙයින් ඒවාට ඔහුට කිසිදු සූදානමක් අවශ්‍ය නැත. අමතර කාලය භාවිතා කර ඔහු රට පුරා දේශන පවත්වයි. මෙම දේශනයකට රු. 75,000ක් අය කරයි. ඒවායේ උගන්වන්නේ රටේ ජනප්‍රිය ‘ධනාත්මක’ යයි කියන චින්තනයකි. එහෙත්, ජනප්‍රිය ඕනෑ ම දෙයක් මෙය තුළට එබිය හැකි ය. ස්ත්‍රී විරෝධය ජනප්‍රිය නිසා ඔහු එය ද සිය දේශනවලට පදනම් කර ගනියි.

ඔහු ධනවතෙකි. එහෙත්, ඔහු නිෂ්පාදන මාර්ගවල සෘජු හිමිකරුවෙක් නො වේ. එහෙම කියන්නටත් බැරි ය. ඔහු සිය ඉතුරුම්වලින් කොටසක් කොටස් වෙළඳපොළේ ද, තවත් කොටසක් වැඩි පොළියක් දෙන මුල්‍ය සමාගම්වල ස්ථාවර තැන්පතුවල ද ආයෝජනය කර තිබේ.

ඔහු හොඳ හෝටල්වලින් කයි බොයි. හොඳ වාහනයක ගමන් බිමන් යයි. ඔහුට සෞඛ්‍ය රක්ෂණයක් ඇත. ඒ නිසා ඔහු ප්‍රතිකාර ගන්නේ පෞද්ගලික රෝහල්වලිනි. ඔහු ඖෂධවල ජෙනරික් නාම ගැන දන්නේ නැත. ඒ නිසා ඔහු වෛද්‍යවරුන් ලියා දෙන වෙළඳ නාමවලින් ඖෂධ මිළ දී ගනියි.

මේ දිනවල ඖෂධ මිළ ජනප්‍රිය මාතෘකාවකි. ඔහු ජනප්‍රිය පුද්ගලයෙකි. ඒ නිසා, ආණ්ඩුවට විරුද්ධ දේශපාලන පක්ෂයක් ඔහු සිය බහුජන වැඩවලට සම්බන්ධ කර ගැනීමට කැමති ය. ප්‍රගතිශීලියකු ලෙස ද වෙළඳපොළ ඉල්ලුමක් ඇති කර ගැනීමට හැකි නිසා ඔහු ද ඒවාට යයි. ඔවුන්ගේ ඉල්ලුම අනුව ගැලපෙන දෙයක් කියයි.

මට තිබෙන ප්‍රශ්නය මේ X කවුරු ද යන්නයි. ඔහු ධනපතියෙක් ද? ඔහු ලංකාවේ ලොකු ම නිෂ්පාදන මාර්ග හිමියා සහ බදු මුදල් මගින් මහජනයා සූරා කා ලාභ ලබන්නා වන රජයේ පාර්ශ්වකරුවෙකි. එහෙත්, නිර්මාල් රංජිත් වැනි ලාංකීය මාක්ස්වාදීන් මේ අය සලකන්නේ ද වැඩ කරන ජනතාව ලෙසයි.

එතකොට ධනපතියා කවුරු ද? ධනපතියා යනු සිය ආයෝජන හරහා තවත් මිනිසුන්ට රැකියා ලබා දී තිබෙන, ඒ නිසා ම, අතිරික්ත ශ්‍රමයේ වටිනාකම අත්පත් කර ගැනීමට අවස්ථාව ලැබී ඇති මහ නරක, වෛර කළ යුතු, මිරිකා බදු ගෙන නැති භංග කළ යුතු, විනාශ කළ යුතු මිනිහෙකි.

මේ දොස්තර කියන මිළ වැඩි පෙති බොන්නේ අන්න ඒකා ය. අපි බොන්නේ අඩු මිළ පෙති ය. ඒවායේ මිළ අඩු කර නැත.

එක්කෝ ලංකාවේ සමස්ත සමාජය ම පිස්සුවට දෙන පෙති හරියට බී නැත. නැතිනම් මා පෙති බී නැත.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *