|

මාධ්‍යයට ප්‍රහාරය! – සී. ජේ. අමරතුංග


ජනමාධ්‍ය වගකීමෙන් යුතුව හැසිරීම සහතික කිරීම සඳහා ස්වාධීන ජනමාධ්‍ය කොමිසමක් පිහිටුවීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ සඳහා සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගන්නා බවද ඇමැතිවරයා පැවැසීය. ඒ සඳහා වන පුවත්පත් දැන්වීමක්ද පසුගියදා පළවිය. දියුණු මාධ්‍ය සංස්කෘතියක් සංවර්ධනය කිරීම සඳහා එමගින් මහජන අදහස් හා යෝජනා කැඳවා තිබිණි. මාධ්‍ය නිදහස ඇතුළු කාරණා හතක් යටතේ අදහස් හා යෝජනා ඉල්ලා තිබිණි.

මෙහි තේරුම නම් ජනමාධ්‍ය වගකීමෙන් තොරව ක්‍රියාකරන බවට විවේචනයක් පවතින බවයි. අඩු තරමින් ආණ්ඩුවේ ආකල්පය වී ඇත්තේ එයයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද මාධ්‍යය ගැන විවේචනයක් තිබිණි. ජනාධිපතිතුමා පසුගියදා ප්‍රකාශ කළේ පුවත්පත්වල මුල්පිටු බලන විට රටට කිසිම ආදරයක් ඇති නොවන බවයි. මාධ්‍යයට අවශ්‍යව ඇත්තේ කුණු, ස්ත්‍රි දූෂණ, මිනීමැරුම්, දේශපාලන ගැටුම් බව කී ජනාධිපතිතුමා වැඩිදුරටත් කීවේ ජනමාධ්‍යයට ආණ්ඩු පෙරළන්නට අවශ්‍ය වී තිබෙන බවයි.

අගමැතිතුමාද තමන්ගේ අවංක අදහස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ ජනමාධ්‍ය තමන්ට පහර ගසනවිට එයට ප්‍රතිප්‍රහාර දෙන නමුත් ජනමාධ්‍යවේදීන් පැහැරගන යාමට, මරා දැමීමට හෝ ඔවුන්ට හිරිහැර කිරීමට තමා කටයුතු නොකරන බවයි. මාධ්‍ය ආයතන ගණනාවක් ගැන ප්‍රශ්න තිබෙන බවත්, තමන් ඔවුන්ට ප්‍රතිප්‍රහාර දෙනවිට රට යමක් තේරුම් ගනු ඇතැයි සිතන බවත්, එසේ වූවද මාධ්‍යය මර්දනය නොකරන බවත් අගමැතිතුමා කියයි.

ජාත්‍යන්තර වරෙන්තුවක්

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට තිබුණේ වෙනත් ප්‍රශ්නයකි. එක්තරා වෙබ් අඩවියක් අධිකරණයට පහර දෙන බවත්, එහි කතුවරයාට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් ගෙන හෝ ක්‍රියාකරන බවත් රාජපක්ෂ මහතා කීවේය. ඒ කියා දින කිහිපයක් යනවිට ඒ ආකාරයේම ජාත්‍යන්තර වරෙන්තුවක් අධිකරණය විසින් නිකුත් කොට තිබේ. දැන් ආණ්ඩුවේම උදවිය මෙන්ම වෙනත් සංවිධානද ප්‍රශ්න කරන්නේ එහි ඇති නීත්‍යානුකූල බව හා සදාචාරාත්මක බව පිළිබඳවයි. එකී වෙබ් අඩවියේ මාධ්‍ය භාවිතය නොපිළිගන්නා උදවිය පවා එයට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයේ වලංගුභාවය පිළිබඳව ප්‍රශ්න කරන බව පෙනෙන්නට තිබේ.

මෙලෙස ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ජනමාධ්‍යයට විවේචනයක් එල්ල වනවිට ජනමාධ්‍යයේ ආරක්ෂකයන් වීමට ඉදිරිපත් වූයේ විපක්ෂයේ ඇතැම් නායකයෝය. ඒ බොහෝ දෙනාගේ අතීත භාවිතය සලකනවිට පෙනෙන්නේ මෙය ඉතාම ව්‍යාජ මාධ්‍ය ප්‍රේමයක් බවයි. පසුගිය කාලයේ මාධ්‍යවේදීන් මරා දමනවිට, පැහැරගෙන යනවිට, අතුරුදන් කරනවිට, මාධ්‍ය ආයතන ගිනි තබනවිට ඒවාට ආධාර අනුබල දුන්නේ මොවුහුය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යංගයෙන් මතක් කර දුන්නේ අතීතයේ පැවැති එම තත්ත්වයයි.

මෙයට තරමක් වෙනස් ලෙස සැලකිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණේ තත්ත්වයයි. මාධ්‍යයට තර්ජනය කිරීමේ හා මාධ්‍යවේදීන් මරා දැමීමේ ඉතිහාසයක් ඔවුන්ටද ඇතත් මෑත කාලයේ එම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ගමනකට දායක වෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. එබඳු පක්ෂයක් ජනමාධ්‍ය නිදහස ගැන කතාකිරීම යහපත් බවත් ඔවුන්ගේ විවේචන තේරුම්ගෙන ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවත් අපි හිතමු.

ජනමාධ්‍යයේ කාර්යභාරය වන්නේ රජයක අඩුපාඩු පෙන්වා දෙමින් විවේචනය කිරීමයි. එහිදී රජය හරියට කරන දේ වාර්තා කරන්නේ අල්ප වශයෙනි. ප්‍රවෘත්ති ලෙස පළවන්නේ රජය නොකරන දේ හා සිදුකරන වැරදි අඩු පාඩු ආදියයි. සාමාන්‍ය පිළිගැනීම නම් ඒවා පෙන්වාදීමෙන් රජය නිවැරැදි මගට ගත හැකි වන බවයි. ජනමාධ්‍යය එම කටයුත්ත වගකීමෙන් යුතුව කරන්නේ නම් රජය එයට එරෙහි විය යුතු නැත. එවැනි විටක රජය ජනමාධ්‍යයට එරෙහි වන්නේ නම් එහි තේරුම නිවැරැදි මග යාමට රජය සූදානම් නැති බවයි.

ජනමාධ්‍යයෙහි හා ප්‍රවෘත්තියක ස්වරූපය ගැන ප්‍රකට කියමනක් නම් “බල්ලෙක් මිනිසකු සපාකෑම ප්‍රවෘත්තියක් නොවන බව හා මිනිහෙක් බල්ලකු සපාකෑම ප්‍රවෘත්තියක් වන” බවයි. කෙසේ වෙතත් අපේ ඇතැම් මැති ඇමැතිවරුන් මැසිවිලි නගන්නේ තමන් කරන හොඳ වැඩ ගැන ජනමාධ්‍ය වාර්තා නොකරන බව හා අඩුපාඩු පමණක් මහ ඉහළින් වාර්තා කරන බවයි. එහි සාධාරණත්වයක් තිබිය හැකි වුවද අනෙක් අතින් එය ජනමාධ්‍යයේ ස්වරූපය පිළිබඳ ප්‍රශ්නයකි.

කෙසේ වෙතත් අද අප මුහුණ දී සිටින්නේ වෙනත් යථාර්ථයකට බව ‍පෙනෙන්නට තිබේ. ඇතැම් ප්‍රධාන ජනමාධ්‍ය ආයතන කටයුතු කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව බවට චෝදනා නැගී ඇත. එම ජනමාධ්‍යය හොඳින් අධ්‍යයනය කරනවිට පෙනෙන්නේ එම චෝදනාවල යම් සත්‍යයක් ඇති බවයි.

එබඳු ඇතැම් ජනමාධ්‍ය මේ දිනවල දිගින් දිගටම කටයුතු කරමින් සිටින්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආණ්ඩුව රට බෙදීමට සැලසුම් කරන බව කීමටය. එවැනි පුවත්පත් හා ජනමාධ්‍ය ප්‍රවෘත්ති පළ කරන්නේ එම න්‍යාය පත්‍රය අනුවය. ඇතැම් ප්‍රවෘත්ති අ‍ෙත්රෝල්ය. එමෙන්ම තවත් සමහර ප්‍රවෘත්තිවල ඇත්තේ විකෘති කිරීම්ය. ජාතිවාදය ඇවිස්සීමේ යෙදී සිටින දේශපාලනඥයන්ගේ ප්‍රකාශද මොවුන් පළ කරන්නේ ඉතාම නිවැරැදි සොයා ගැනීම් වශයෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මෑතකදී කළ පුවත්පත් සාකච්ඡාවක් මෙබඳු මාධ්‍ය ආයතනයක් වාර්තා කොට තිබුණේ ආණ්ඩුව පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල දෙන්නට තීරණය කොට ඇතැයි යනුවෙනි. වික්‍රමරත්න මහතා කීවේ තමන් එබඳු කතාවක් නොකී බවයි.

විකෘති කිරීම්

එමෙන්ම මෙම මාධ්‍ය ආයතනය දිගින් දිගටම මෙබඳු විකෘති කිරීම් කරන බවද ඒ මහතා කීවේය. එම මාධ්‍ය ආයතනවලින් පළවන්නේම එබඳු ප්‍රවෘත්තිය. නව ව්‍යවස්ථාව හැදීම ආණ්ඩුවේම වැඩක් නොවන බව හෝ එයට දැන් සියලු පක්ෂ සම්බන්ධ කර ගනිමින් ක්‍රියාකරන බව හෝ මෙම මාධ්‍ය ආයතනවලින් ප්‍රකාශ වන්නේ නැත.

ඇතැම් ජනමාධ්‍ය ආයතනවලට එබඳු දේශපාලන න්‍යාය පත්‍ර නැතත් ඔවුහු ඇතැම් ජන කණ්ඩායම් දිනාගැනීමේ තරගයක යෙදී සිටිති. එවිට ප්‍රවෘත්ති හා වාර්තා පළ වන්නේ එම පිරිසට ගැළපෙන ආකාරයටය. ඒ සඳහා ඇතැම්විට ආචාර ධර්ම බලපාන්නේ නැත. එහි සම්පූර්ණ වරදම ජනමාධ්‍ය වෙත පැවැරීමද වරදක් විය හැකිය. මහජනයා සිතන පතන ආකාරයත් ඔවුන් බලාපොරොත්තු වන දෙයත් සැලකිල්ලට ගැනීමට ජනමාධ්‍ය ක්‍රියාකිරීමෙන් වැරදි අදහස් සමාජගත වීම සිදුවෙයි.

මතුනොකරන ප්‍රශ්න

මෙබඳු ප්‍රශ්න බරපතළ ලෙස හඳුනාගත හැකි වන්නේ පසුගිය කාලයේ යුද්ධ වාර්තාකරණයේදීය. ඒ ගැන බොහෝ වාර්තා පළ වී ඇත. තවත් හාරා ඇවිස්සීම අනවශ්‍යය.

ප්‍රවෘත්ති වටිනාකමට හානි වන නිසා ඇතැම් ප්‍රශ්න මතුනොකොට සමාජගත කිරීමද ජනමාධ්‍යයෙන් සිදුවන වරදකි. එය‍ට හොඳම උදාහරණයක් වන්නේ වතුරෙන් ‍මෝටර් රථයක් ධාවනය කිරීමේ ප්‍රලාපයයි. එහිදී එය සිදුනොකළ හැකි බව විද්‍යාඥයන් දැන සිටියද ඔවුන්ගේ හඬට මාධ්‍යයේ තැනක් ලැබුණේ නැත. එය සමාජගත වූයේ අපේ තරුණයකුගේ විශ්මිත සොයා ගැනීමක් වශයෙනි. එය විශාල රැවටිල්ලක් බව දැන් පැහැදිලිය. මෙලෙස වැඩිදුර ප්‍රශ්න නොකර ජනමාධ්‍ය මගින් සමාජගත කරන ඇතැම් අදහස්වල දේශපාලන බලපෑම විශාලය. ඇතැම් වංචනිකයන් වෙස්මුහුණු පෙන්වමින් සැඟවී සිටින්නේ මාධ්‍යය ප්‍රමාණවත් ලෙස ප්‍රශ්න නොකිරීම නිසාය.

උතුරුමැද වකුගඩු රෝගයට හේතුව ආසනික් බව කියූ පිරිසක් එදා කීවේ එය ඇතැම් කෘෂිරසායන මගින් පැතිරෙන බවයි. කෘෂි රසායන කිලෝ ග්‍රෑමයක මයික්‍රො ග්‍රෑම් 350ක් හෝ නැතහොත් 500 ක් හෝ වැනි විශාල ප්‍රමාණයක් ඇති බව ඔවුහු කීහ. කිසිදු ජනමාධ්‍යයක් මයික්‍රෝ ග්‍රෑමය විස්තර කළ බවක් දැනගන්නට නොවීය. මයික්‍රෝ ග්‍රෑමය යනු ග්‍රෑමයෙන් දශ ලක්ෂයෙන් පංගුවකි. ආසනික් මයික්‍රෝ ග්‍රෑම් 350 ක් තිබෙන්නේ කිලෝ ග්‍රෑමයකය. කිලෝ ග්‍රෑමයට ග්‍රෑම් දහසකි. එවිට ගණන් එන්නේ දශ ලක්ෂ දහසකින් පංගු 350ක් වශයෙන් කෝටි සියයකින් පංගු 350කි. මෙය පානීය ජලයේ තිබුණද හානිකර නොවන මට්ටමේ ප්‍රමාණයකි. මෙම කෘෂි රසායන කුඹුරට යොදන්නේ තවත් ජලය එකතු කිරීමෙන් පසුවය. කුඹුරේදී තවත් ජලයට එය එකතු වෙයි.

කෙසේ වෙතත් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මෙම පුවත් පළ කළේ එබඳු සොයා බැලීමකින් තොරවය. ඉන්පසුව ඇතැම් කෘෂි රසායන භාවිතයෙන් ඉවත්කරනු ලැබීය.

මෙම කරුණ දැන සිටියකුට වුවද එය නොකියා සිටීමට හේතු තිබිණි. එනම් කෘෂි රසායන සමාගම්වල මුදලට කතා කරන්නකුය යන චෝදනාවට ලක්වීමේ බියය. එය හඳුනා ගත හැක්කේ මතවාදී ත්‍රස්තවාදයක් වශයෙනි. ඉන්පසුව වකුගඩු රෝගයේ ‍චෝදනාවට ලක්වුයේ ග්ලයිෆොසේට්ය. එහිදීද මුලික කාරණයක් අවධාරණයෙන් බැහැර කෙරිණි. එනම් ශ්‍රී ලංකාවේ ගලයි‍ෆොසේට් භාවිතයට ගත්තේ 1998 න් පසුව බව හා වකුගඩු රෝගය හඳුනාගත්තේ නවසිය අනූ ගණන් මුල භාගයේ සිට බවයි. එලෙස ග්ලයිෆොසේට් විරෝධය සමාජගත වූ අතර ආණ්ඩුව එයට ප්‍රතිචාර දක්වමින් එය තහනම් කළේය. එයින් මෙරට කෘෂිකර්මයට ඇති වූ බලපෑම තවමත් අවධානයට ලක්වී නැත. මේවා ගැන කතාකරන අය ගැන කියන්නේ කෘෂි රසායන සමාගම්වල ගැත්තන් බවයි. මතවාදී ත්‍රස්තවාදයේ තරම එතරම් බරපතළය.

රතුපස්වල සිදුවීමේදීද මාධ්‍යය මෙම වරදම කළේය. රබර් කර්මාන්ත ශාලාවලින් පිට කරන්නේ අම්ල නොව භෂ්ම බව එම කර්මාන්තය ගැන දන්නා බොහෝ දෙනා දන්නා කාරණයකි. එසේ වූවද රතුපස්වල ප්‍රදේශයේ ජලය ආම්ලික වූයේ කර්මාන්ත ශාලාවෙන් බව සමාජගත වූ මතයයි. එය නිවැරැදි කරන්නට නොව මාධ්‍යය ක්‍රියා කළේ එම මතය තහවුරු කරන්නටය. ප්‍රතිඵලය ජීවිත ගණනාවක් බිලිවීමයි. දැන් ඇත්ත හෙළිවනවිට සියල්ල සිදුවී හමාරය.

ජනප්‍රියතාව සොයායෑම

ඇතැම් ජනමාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් මෙබඳු වාර්තාවන්ට දායක වන්නේ වැඩිදුර සොයා බැලීමකින් තොරවය. නැතහොත් යම් කෙනෙක් විශේෂඥයකු ලෙස පෙනී සිටිමින් කියන කාරණයක් ගැන විශ්වාසය තැබීම නිසාය. තවත් සමහරුන් ‍එසේ කරන්නේ ආණ්ඩු විරෝධී වීම නැතහොත් සමාගම් විරෝධි වීම, තමන්ගේ ජනප්‍රියතාවයට හේතුවෙතැයි යන කල්පනාවෙනි. ඊට වඩා නරක කණ්ඩායම වන්නේ දේශපාලන න්‍යාය පත්‍ර මත මාධ්‍යය මෙහෙයවන පිරිසයි. හිතාමතා විකෘති කිරීම් කරන පිරිසයි.

ජනමාධ්‍යයේ මෙබඳු හැසිරීම්වලින් පෙනී යන්නේ ජනමාධ්‍ය සංස්කෘතියේම තිබෙන ප්‍රශ්නයකි. එමෙන්ම රටේ ජන විඥානය පිළිබඳ ප්‍රශ්නයක්ද මෙහි ඇත. එසේ වූවද කුමන තත්ත්වයක් තිබුණද ජනමාධ්‍යය වගකීමෙන් තොරව කටයුතු කිරීම රටේ විනාශයට හේතුවන කාරණයකි.

කෙසේ වෙතත් ජනමාධ්‍යයේ තිබෙන මෙම සියලු ව්‍යාධි, ප්‍රශ්න, දුර්වලතාවලට විසඳුම රජයේ පාලනය නොවන බව පැහැදිලි කාරණයකි. ජනමාධ්‍යය නිසා වඩාත් අපහසුතාවයට පත්වන්නේ රජය බව ඇත්තකි. ජනමාධ්‍යය මඟින් වැරදි මත සමාජ ගත කිරීම ආණ්ඩුවට හරි මග පෙන්වීමක් හෝ සාධාරණ විවේචනයක් වන්නේ නැත.

මෙම ප්‍රශ්න විසඳා ගැනීමත්, නිවැරැදිකර ගැනීමත් සිදුවිය යුත්තේ ජනමාධ්‍යය තුළින්මය. මෙරට මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි සංවිධාන, කර්තෘවරුන්ගේ සංසදය හා පුවත්පත් ප්‍රකාශකයන් එක්ව ආචාර ධර්ම මාලාවක් ප්‍රකාශයට පත් කළේ හා පුවත්පත් පැමිණිලි කොමිසම බිහි කළේ එහි එක් පියවරක් වශයෙනි. එයින් බොහෝ ප්‍රතිඵල ලැබී ඇති නමුත් තවමත් ප්‍රශ්න පවතින බව පෙනෙන්නට ඇත. ඒවා ගැන ක්‍රියාකිරීම මාධ්‍ය නිදහස වෙනුවෙන් කරන සටනේම කොටසක් බව අමතක කළ යුතු නැත. මෙරට විද්‍යුත් ජනමාධ්‍ය සම්බන්ධයෙන් තවමත් කිසිදු නියාමනයක් නැත. පිළිගත් ආචාර ධර්ම මාලාවක්ද නැත. එවැනි දෑ සකස් කර ගැනීම මාධ්‍යය මගින්ම සාමුහිකව කරගත යුත්තකි. රජයට එය ආරම්භ කළ හැකිය. අවසන් කිරීම මාධ්‍යය ප්‍රජාව සතු වගකීමකි.

ආචාර ධාර්මික මාධ්‍ය භාවිත‍යක් සඳහා සටනද මාධ්‍ය නිදහස සඳහා සටනේම කොටසක් බව සියලුදෙනා තේරුම් ගැනීම වැදගත්ය.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *