මතක නෑ.. එසේ කීවෙ නෑ.. දේශපාලන පැතිකඩ – එම්.එස්.එම්. අයුබ්

 

 

දේශපාලනඥයෝ අපූරු මිනිසුන් කොට්ඨාසයකි. ඔවුනට ඉතා ඉක්මනින් තමන් රටට කළ හානිය අමතක වේ. නැත්නම් තමන් දුන් පොරොන්දු අමතක වේ. නැත්නම් ජනතාවට ඒවා අමතක වී  ඇතැයි සිතා කිසිදු ලජ්ජාවක්, හිරිකිතක් නැතිව සුළු කලෙකට පෙර තමන් කළ කී දෑට හාත්පසින්ම  වෙනස් දෙයක් කියති, කරති.

වරක් (1988දී පමණ) නීති විද්‍යාලයේ පැවැති රැස්වීමක දී නීති ශිෂ්‍යයන්හට හා එම රැස්වීමට  සහභාගි වූ වෙනත් අයට එවක ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව සලකා දෙනු ලැබීය. ඊට පෙර ජයවර්ධන මහතා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හරබර අදහස් දැක්වීමක් ද කළේය.

ප්‍රශ්න ඇසීමේ වාරයේ දී එක් දෙමළ වැඩිහිටි පුද්ගලයෙක් ‘‘ඔබ දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළත් ඔබේ පාලනය යටතේ 1983 දී දෙමළ ජනතාවට විශාල හිරිහැරවලට ලක්වන්නට සිදුවුණා. මගේ නිවසත් පිරිසක් ගිනිබත් කළා. ඒ පිළිබඳ ඔබේ ප්‍රතිචාරය කුමක්දැයි’’ ඇසීය. ලියුම්කරු ද එම රැස්වීම වාර්තා කරන්නට ගොස් සිටියේය.

ජයවර්ධන මහතාගේ පිළිතුර කිසිවකු අපේක්ෂා නොකළ එකක් විය. ඔහු ‘‘1983දී.? 1983දී බලයේ සිටියේ මම ද? බණ්ඩාරනායක මහත්මිය නොවෙයි ද?’’යි ඔහු පෙරළා ප්‍රශ්නයක් ඇසීය. සභාව කොක් හඬලා සිනා සෙන්නට විය.  1983 වැනි දරුණු ජාතිවාදී විනාශයක් සිදුවූ කාලයක බලයේ සිටි අයකුට තමන් ඒ දිනවල බලයේ සිටි බව අමතක විය හැකිද? එවැනි දෙයක් අමතක වේ නම් ඔහුට තවදුරටත් බලයේ සිටින්නට සදාචාරමය අයිතියක් පමණක් නොව නීතිමය අයිතියක් හෝ නැත.

 

 

 

75 වැනි නිදහස් සමරු උළෙලට පෙර, එනම් 2023 පෙබරවාරි 4 වැනිදාට පෙර ජනවාර්ගික ප්‍රශ්නය විසඳන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය නොවැම්බර් මාසයේ දී අයවැය විවාදයට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය. ඒ අනුව ඔහු දෙසැම්බර් 13 වැනිදා ‘‘සර්ව පාක්ෂික සාකච්ඡාවක්ද කැඳවීය. එහිදී අවසන් විසඳුමකට පෙර ජනවාරි අවසන් වන්නට පෙරාතුව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පුර්ව වශයෙන් ක්‍රියාත්මක  කළ යුතු යැයි දෙමළ පක්ෂ කී විට එය පිළිගත් ජනාධිපතිවරයා ඒ පිළිබඳ සාකච්ඡා එදිනම වුවද ආරම්භ කළ හැකියැයි කීවේය.

එහෙත් මේ වසරේ ජනවාරි මස මුල වනවිට මේ කිසිවක් සිදු නොවන බව පෙනෙන්නට විය. ඒ අතර ජනවාරි 15 වැනිදා යාපනයේ පැවැති ජාතික  තෛපොංගල් උත්සවය අමතා කතා කළ ජනාධිපතිවරයා ඉදිරි වසර දෙක තුළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක  කරන බව පැවසීය. 13 වැනි සංශෝධනය නොව ජනවාර්ගික ප්‍රශ්නය පෙබරවාරි 4 වැනිදාට පෙර විසඳන බවට තමන් කළ ප්‍රකාශය ගැන ඔහු එහි දී කිසිවක් ප්‍රකාශ කළේ නැත.

මේ දින වකවානු නියම කිරීම් දෙකම අමතක වීදෝ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති මේ වසරේ මැයි දින රැස්වීම සූම් තාක්ෂණය මගින් ඇමතූ ජනාධිපතිවරයා මේ වසර අවසානයේ දී ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා අදාළ පාර්ශව සමග එකඟතාවකට පැමිණෙන බව ප්‍රකාශ කළේය.

අප මෙම කතා දෙක සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පසුගිය වසරේ මේ රටේ සිදු වූ දෑ අමතක වී තිබීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පූර්විකාවක් වශයෙනි.

ඔවුන්ගේ කතාව ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කතාවට බොහෝ දුරට සමානය. ජේ.ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ඉතිහාසයම වෙනස් කළ සිද්ධි දාමයක් සිදුවූ වසරක බලයේ සිටියත්, එම සිද්ධීන්ට තමන්ගේ කටයුතු විශාල වශයෙන් බලපා තිබියදීත් එම වසරේ තමන් බලයේ සිටි බව හෝ අමතකව තිබිණි. ඇත්ත  වශයෙන් ඉතා ප්‍රයෝගකාරී පුද්ගලයකු වූ ඔහු තමන්ට එය අමතක බවක් පෙන්වුවද ඔහුට එය අමතකවී තිබුණේ නැත.

ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයින් වැදගත් සිද්ධි හා පෙරළි ගණනාවක් සිදුවූ පසුගිය වසරේ තමන් බලයේ සිටි බව පොදුජන පෙරමුණේ නායකයන්ට දැන් අමතක වී ඇති බවක් ඔවුන්ගේ ඇතැම් කතා අසන විට පෙනේ. මෙවර බොරැල්ලේ කැම්බල් පිටියේ පැවැති ඔවුන්ගේ මැයි දින රැස්වීමේ දී වෙනත් දේශපාලන පක්ෂවලට දෙස් දෙවොල් තබමින්, අභියෝග කරමින් හා වහසි බස් දොඩමින් ඔවුන් පැවැත් වූ කතාවලින් පෙනෙන්නේ ද එයයි.

පසුගිය වසරේ  මුල් හය මාසයේ රට පැවතියේ ගිනි ගොඩකය. පෙර නොවූ විරූ   ආර්ථික අර්බුදයකින් ජන ජීවිතය අවුල් වී තිබිණි. ඒ අර්බුදයට විසඳුම් ඉල්ලා දස දහස් ගණනින් මහ මඟට පිවිසි ජනයා උද්ඝෝෂණය කරන්නට වූහ. ඒ නිසා ආණ්ඩුව දේශපාලන අර්බුදයකට ද මුහුණ දුන්නේය. එම  අර්බුදවලට වගකිව යුතු වූයේ ප්‍රධාන වශයෙන්ම ඒ වනවිට පැවැති තවමත් පවතින ආණ්ඩුවයි. එහෙත් ඒ සම්බන්ධයෙන්  පොදුජන පෙරමුණේ නායකයන් කිසිවකු තුළ දැන් පසුතැවිල්ලක් හෝ වරදකාරී හැඟීමක් හෝ කම්පාවක් හෝ ඇති බවක් නොපෙනේ.

පසුගිය වසරේ  මුල් හය මාසයේ රට පැවතියේ ගිනි ගොඩකය. පෙර නොවූ විරූ   ආර්ථික අර්බුදයකින් ජන ජීවිතය අවුල් වී තිබිණි. ඒ අර්බුදයට විසඳුම් ඉල්ලා දස දහස් ගණනින් මහ මඟට පිවිසි ජනයා උද්ඝෝෂණය කරන්නට වූහ. ඒ නිසා ආණ්ඩුව දේශපාලන අර්බුදයකට ද මුහුණ දුන්නේය. එම  අර්බුදවලට වගකිව යුතු වූයේ ප්‍රධාන වශයෙන්ම ඒ වනවිට පැවැති තවමත් පවතින ආණ්ඩුවයි. එහෙත් ඒ සම්බන්ධයෙන්  පොදුජන පෙරමුණේ නායකයන් කිසිවකු තුළ දැන් පසුතැවිල්ලක් හෝ වරදකාරී හැඟීමක් හෝ කම්පාවක් හෝ ඇති බවක් නොපෙනේ.

මෙවර මැයි දින රැස්වීමේ දී තමන් අතින් වැරැදි සිදුවූ බවක් නමට හෝ  ප්‍රකාශ කළේ  පොදුජන පෙරමුණේ නායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණි. ඔහු ද ඒ වැරැදි මොනවා දැයි විස්තර  කළේ නැත. එසේම ඔහු ද තම පක්ෂයේ බොහෝ දෙනකු මෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බිඳ වැටුණේ ක්‍රමන්ත්‍රණයක් නිසා යැයි කියන්නට උත්සාහ කළ බවක් පෙනිණි.

පසුගිය වසරේ පැවැති මෙරට ඉතිහාසයේ පැවැති විශාලතම මහජන උද්ඝෝෂණය කුමන්ත්‍රණයකැයි කියන්නට පොදුජන පෙරමුණේ නායකයෝ මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ  වැනි අය විවිධ කතා කියති. එය ඔවුන්ගේ අලුත්ම සොයා ගැනීමක් බව පෙනේ. එහෙත් ඔවුන් සියලු දෙනාම සොයාගෙන ඇත්තේ එකම කුමන්ත්‍රණයක් නොවීම එම කුමන්ත්‍රණ කතා සියල්ලම අවලංගු කොට දමයි.

විමල් වීරවංශ මහතාගේ අදහස අනුව පසුගිය වසරේ පැවැති මහජන උද්ඝෝෂණය හෙවත්‘‘අරගලය’’ ඇමෙරිකානු කුමන්ත්‍රණයකි. කොටි සංවිධානය පරාජය වූ දා සිට පැවැති කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බිඳ වැටුණු බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැටුණේ තුන්වැනි පාර්ශ්වයක කුමන්ත්‍රණයක් හේතුවෙන් යැයි නාමල් රාජපක්ෂ මහතාම සජීවි ෆේස්බුක් සංවාදයක දී පවසා තිබිණි. අරගලයට සහභාගි වූ සෑම  පුද්ගලයකුම මෙම කුමන්ත්‍රණයේ ඉන්නෙකැයි ඔහු එහිදී පවසා තිබිණි. අරගලයට සහභාගි වූ සෑම පුද්ගලයකුම මෙම කුමන්ත්‍රණයේ ඉත්තෙකැයි ඔහු එහිදී පවසා තිබිණි. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් ඉවත් කළ විට අගමැති වශයෙන් සිටි මහින්ද රාජපක්ෂ මහතා ඊළඟට ජනාධිපති වන හෙයින් කුමන්ත්‍රණකරුවන් උපක්‍රමශීලීව ඊට පෙර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් කළ බව කීවේය. මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමට බලපෑ තත්ත්වය ඔහුට අමතක වූ සේය.

මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි හිටපු ඇමැතිවරු ද ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කුමන්ත්‍රණයකින් පෙරළුණු බව කියති. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට  ශ්‍රී ලංකාවටම ඉතා හිතවත්ව සිටි මැද පෙරදිග රටවලින් සහයක් නොලැබුණේ කොවිඩ් රෝගයෙන් මියගිය මුස්ලිම් පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය කිරීම නිසා බවත් මුළු කැබිනට් මණ්ඩලයම ඊට එරෙහි වුවත් ඇතැම් වෛද්‍ය විශේෂඥයන් ආණ්ඩුව නොමඟ හැරිය බව විදේශ ඇමැති අලි සබ්‍ර් මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී පැවසීය. එහිදි ඔහු මහාචාර්යවරියකට චෝදනා කළේය. එය ද කුමන්ත්‍රණ කතාවක් වැන්නකි.

මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි හිටපු ඇමැතිවරු ද ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කුමන්ත්‍රණයකින් පෙරළුණු බව කියති. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට  ශ්‍රී ලංකාවටම ඉතා හිතවත්ව සිටි මැද පෙරදිග රටවලින් සහයක් නොලැබුණේ කොවිඩ් රෝගයෙන් මියගිය මුස්ලිම් පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය කිරීම නිසා බවත් මුළු කැබිනට් මණ්ඩලයම ඊට එරෙහි වුවත් ඇතැම් වෛද්‍ය විශේෂඥයන් ආණ්ඩුව නොමඟ හැරිය බව විදේශ ඇමැති අලි සබ්‍ර් මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී පැවසීය

මේ මතයම සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාද පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඔහුද සෘජුවම එක්තරා මහාචාර්යවරියකට චෝදනා කළේය. මේ සියල්ලෙන්ම පෙනෙන්නේ දේශපාලනඥයන් සියලු දෙනාම පාහේ බරපතළ අමතක වීමේ රෝගයකින් පෙළෙන බවය. නැත්නම් ජනතාව එවැනි බරපතළ රෝගයකින් පෙළෙන බව සිතා ඔවුන්  ඊට මුවා වී තමන්ගේ වැරැදි වසා ගන්නට උත්සාහ කරන බවය. එසේත් නැත්නම් ජනතාව රවට්ටන්නට උත්සාහ කරන බවය.

කොවිඩ්  රෝගයෙන් මිය යන සියලු දෙනාගේම මළ සිරුරු ආදාහනය  කිරීමේ තීරණයට  මුළු ඇමැති මණ්ඩලයම විරුද්ධ වූ බවට අලි සබ්‍රි මහතා කරන ප්‍රකාශය සත්‍ය නොවේ. ඒ කාලයේ පළ වූ පුවත්පත් කිහිපයක් පෙරළා බැලුවහොත් ඒ බව දැනගත හැකිය.

මුලින්ම 2020 මාර්තු 27 වැනිදා ආණ්ඩුව නිවේදනය කළේ මෙම මෘත දේහ ආදාහනය හෝ භූමිදානය කළ හැකිය කියාය. එහෙත් ආදාහනය  පමණක් කළ  යුතු යැයි ආණ්ඩුව  දින තුනකට පසු  නිවේදනය කළේය. එය සිදුවූ ආකාරය පැහැදිලි නැත. මෙම ප්‍රශ්නයේදී ආගමික මති මතාන්තර අනුව කටයුතු කළ නොහැකි යැයි එවක සෞඛ්‍ය ඇමැතිනිය වූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී කීවාය. මහින්දානන්ද අලුත්ගමගේ මහතා රූපවාහිනී සංවාදයකදී දැඩි ලෙස කියා සිටියේ ආදාහනය පමණක් කළ යුතු බවය. මුළු කැබිනට් මණ්ඩලයම ආදාහන තීන්දුවට විරුද්ධ  වූ බවට අලි සබ්‍රි මහතා කරන ප්‍රකාශය වැරැදි බවට මෙවැනි උදාහරණ රාශියක් දැක්විය හැකිය. අප දන්නා තරමට මෙම තීන්දුව වැරැදි යැයි කීවේ වයිරසවේදිනියක වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පමණි. මේවා අමතකවීම පුදුම සහගතය.

ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් තිබුණේ නම් එය තිබී ඇත්තේ ආණ්ඩුව ඇතුළේම  විනා පිටත නොවේ. පොදුජන පෙරමුණේ ප්‍රධාන ඡන්ද පදනම වූ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව රටපුරා උද්ඝෝෂණය කරමින් සිට අවසානයේදී දස දහස් ගණනින් කොළඹට පැමිණියේ රසායනික පොහොර  තහනම නිසා තමන්ගේ  ජීවනෝපාය අහිමිවීම නිසාය. එය ඇමෙරිකාව හෝ කොටි සංවිධානය හෝ ගත් තීන්දුවක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට එම තීන්දුව වැරැදි යැයි කියන තෙක්ම කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවි උද්ඝෝෂණය විපක්ෂයේ උසි ගැන්වීම කැයි කියමින් සිටියේය.

ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් තිබුණේ නම් එය තිබී ඇත්තේ ආණ්ඩුව ඇතුළේම  විනා පිටත නොවේ. පොදුජන පෙරමුණේ ප්‍රධාන ඡන්ද පදනම වූ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව රටපුරා උද්ඝෝෂණය කරමින් සිට අවසානයේදී දස දහස් ගණනින් කොළඹට පැමිණියේ රසායනික පොහොර  තහනම නිසා තමන්ගේ  ජීවනෝපාය අහිමිවීම නිසාය. එය ඇමෙරිකාව හෝ කොටි සංවිධානය හෝ ගත් තීන්දුවක් නොවේ

වසරකට රුපියල් කෝටි 65,000කට වැඩි මුදලක් ආණ්ඩුවට අහිමි කර ගනිමින් ජනාධිපතිවරයා 2019 මහා බදු  කප්පාදුවක් නිවේදනය කළ විට ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයෝ එමඟින් ද්‍රවශීලතාව වැඩි වී ආර්ථික වර්ධන වේගය ඉහළ යන බව කීහ. අපොස සාමාන්‍ය පෙළ විභාගයට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා සිසුන්ට ගුරුවරුන් උගන්වන්නේ මුදල් නෝට්ටු මුද්‍රණය නිසා උද්ධමනය ඉහළ යන බවය. එහෙත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම මතය ප්‍රතික්ෂේප කළේය.

විදේශ විනිමය හිඟය නිසා  රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙද්දී එය ඩොලරයට  සාපේක්ෂව රුපියල් 203 තබා ගැනීම සඳහා වසරකට තෙල් ආනයනය කරන්නට අවශ්‍ය වන තරම් ඩොලර් ප්‍රමාණයක් බැංකු පද්ධතියයට පොම්ප කිරීමට මහ බැංකුවට සිදුවිය. ඉදිරියේ දී එන ආර්ථික අර්බුදය කලින්ම දුටු වත්මන් මහ බැංකු  අධිපති ආචාර්ය නන්දලාල්  වීරසිංහ මහතා වැනි අය 2020දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු යැයි පෙන්වා දුන් විට එය ප්‍රතික්ෂේප කෙරිණි. ආර්ථිකය බංකොලොත් වූයේ මේ තීරණ නිසාය. මේ කිසිදු තීරණයක් ඇමෙරිකාව හෝ කොටි සංවිධානය හෝ වෙනත් බාහිර පාර්ශ්වයක් ගත් ඒවා නොවේ.

භාණ්ඩ හිඟවී බඩු මිල තුන් ගුණයකින් ඉහ ගොස්, දින ගණන් සැතපුම් ගණන් දිග පෝලිම් ඇතිවී පැය 13ක පමණ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වී මිනිසුන්ගේ නිවාස සිහින, වාහන සිහින, විදේශ අධ්‍යාපන සිහින, විවාහ සිහින ආදිය බිඳ වැටී මහජනයාගේ කෝපය පුපුරා ගියේ මේ තීන්දු නිසාය.

එය නොපිළිගන්නේ නම් හෝ එය අමතක වී ඇත්නම් හෝ පොදුජන පෙරමුණේ ඉදිරියට ද මෙවැනි තීරණ ගැනීම වැළැක්විය නොහැකිය.

 එම්.එස්.එම්. අයුබ්

ලංකාදීප

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *