අ.පො.ස. උසස් පෙළ මෙතෙක් නොබැලූ පිළිතුරු පත් ඇගයීම් සඳුදා මධ්‍යස්ථාන 10කදී ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ මෙතෙක් ඇගයීම් කටයුතු සිදු නොකළ විෂයයන්වල පිළිතුරු පත්‍ර ඇගයීම රට පුරා තවත් මධ්‍යස්ථාන 10කදී ලබන සඳුදා (9) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව දැනටමත් ආරම්භ කර ඇති පිළිතුරු පත්‍ර ඇගැයීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් මේ පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දිනමිණ සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවැසීය.

පසුගිය අප්‍රේල් 24 ආරම්භ කළ උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම් කටයුතුවල දෙවන අදියර කටයුතු මේ අනුව ආරම්භ කෙරෙන අතර, පසුගිය අප්‍රේල් 24 දා හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දි ශිෂ්ටාචාරය, චිත්‍ර කලාව, නර්තනය, පෙරදිග සංගීතය, නාට්‍ය හා රංග කලාව සහ හින්දි භාෂාව පිළිතුරු පත් ඇගයීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ ඇගයීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සභාව රැස් වී පෙරේදා (4) පස්වරුවේ ගනු ලැබූ තීන්දුවට අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙන ඕනෑම අවස්ථාවක ඊට එක් වීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා දිනමිණට පැවැසීය. පිළිතුරු පත් ඇගැයීම සඳහා එක් වන 1,300ක් පමණ වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඊට එක් වනු ඇති බව කී ඒ මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයා ඒ බව ඔවුන්ට දැනුම් දෙනු ඇතැයිද කීවේය.

ජනාධිපතිවරයා මෙරටට පැමිණි පසු සාකච්ඡාවක් ලබා දෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදු කළ දැනුම් දීමට අනුව සහ ජනතා හඬට කන් දෙමින් දරුවන් මුහුණ දෙන ගැටලු හේතුවෙන් පිළිතුරු පත් ඇගැයීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සභාව තීරණය කළ බව කී මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා කඩිනමින් පිළිතුරු ඇගයීම් කටයුතු නිමා කිරිමට හැකි වනු ඇතැයිද කීවේය.

උපයන විට ගෙවීමේ බදු ලිහිල් කිරීමට හෝ ඒ වෙනුවෙන් සහනයක් සලසන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක පසුගිය මාර්තු මස 9 දා සිට නිරත වීම නිසා උසස් පෙළ පිළිතුරු පත්‍ ඇගයීම මාස දෙකහමාරකින් පමණ පමා විය. පෙරේදා (4) පස්වරුවේ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ ඇගයීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබිණි.

සුභාෂිණී සේනානායක

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *