පළමු වරට ඉන්දීය ජාතිකයෙක් ලෝක බැංකුවේ මුල් පුටුවට

දශක අටකට ආසන්න ඉතිහාසයක් ඇති ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස ඉන්දීය ජාතික අමෙරිකානු පුරවැසියකු වන අජේ බංගා පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 63 හැවිරිදි සික් ජාතිකයකු වන අජේ බංගා ලෝක ප්‍රකට මාස්ටර් කාඩ් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන අතර, 2015දී එවකට අමෙරිකාවේ ජනාධිපතිවරයා වූ බැරැක් ඔබාමාගේ වෙළෙඳ ප්‍රතිපත්ති සඳහා වන ජනාධිපති උපදේශක කමිටුවේ ප්‍රබල සාමාජිකයකු ද විය. වත්මන් උපජනාධිපතිනිය වන කමලා හැරිස්ගේ සමීපතම හිතවතකු බව කියන අජේ බංගා ලෝක බැංකුවේ සභාපති ධුරයට නිර්දේශ කරනු ලැබුවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්ය. සාම්ප්‍රදායිකව ලෝක බැංකුවේ සභාපති ධුරයට නිර්දේශ ඉදිරිපත් කරනු ලබන්නේ අමෙරිකාව බැවින් ඔහුට එම ධුරය හිමිවනු ඇතැයි මීට පෙර අනාවැකි පළ වී තිබිණි.

අඩු ආදායම්ලාභී රටවලට ණය බරින් නිදහස් වීමට සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට ප්‍රමුඛතාව දෙන ලෝක බැංකුවට පළමු වරට ඉන්දීය ජාතිකයකු පත්වීම පිළිබඳ බොහෝ රටවල් දැඩි ප්‍රසාදය පළ කර ඇතැයි ද වාර්තා වේ. සිය පස් අවුරුදු ධුර කාලය ඔහු පෙරේදා ආරම්භ කළ අතර, වර්තමානයේ ලොව පවතින බොහෝ අභියෝගවලට මුහුණදීමට ඔහු සමත්වනු ඇතැයි අමෙරිකාව විශ්වාසය පළ කර තිබේ.

දිනමිණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *