කස්ත්‍රො මිය ගියා ය – අජිත් පැරකුම් ජයසිංහ

කස්ත්‍රො මිය ගියා ය කියලා මට නම් කිසිම හැඟීමක් නැහැ. කොහොමත් අවුරුදු 90ක් ජීවත් වූ මිනිහෙකුගේ මරණය ගැන පවුලේ ඥාතියෙකුවත් දුක් විය යුතු නැහැ.එහෙම කෙනෙකු මිය ගියා ම පොඩි පාළුවක් වගේ දෙයක් තමයි තාවකාලිකව දැනෙන්නේ. දීර්ඝ කාලයක් ජීවත් වුණ පුද්ගලයා තමන්ට ලැබුණු කාලය තමන් කොහොම භාවිතා කළා ද කියන එක පෞද්ගලික දුකට, සතුටට හේතුවක් විතරයි.

මට කස්ත්‍රො ගැන ගුණකථන ලියන්න හිතෙන්නෙත් නැහැ. පස්සෙ කාලෙක මට බාර්වලදී පෞද්ගලිකව හමු වෙලා නැති විමල් කුමාර් ද කොස්තාව දැනෙන්නේ නැතුව ගියා වගේ අසූනමයෙන් පස්සෙ මට කියුබාවත් දැනෙන්නෙ නැතුව ගියා. ඒක නිකම් නිව්ස් එකක් විතරක් වෙලා ගියා.

හැබැයි මොකුත් නො ලියා හිටියොත් කට්ටිය හිතයි ද දන්නෙ නැහැ මං ධනවාදියෙක්, නවලිබරල්වාදියෙක් බ්ලා බ්ලා බ්ලා කියලා. මොකද, කවුරුහරි ප්‍රසිද්ධ පුද්ගලයෙකු හරි ලොක්කෙකු හරි මළා ම එයා ගැන කතා කරන එක ඉස්සර ඉඳලා ම තියෙන මෝස්තරයක්.

දැන් අපේ පරම්පරාවට කොහොමත් ඔබිචුවරි හෙවත් අවමංගල ශෝක ප්‍රකාශ තමයි උරුමය වෙලා තියෙන්නේ.

ලංකාවේ සාර්ථකව පවත්වාගෙන යන එක ම ප්‍රාදේශීය පුවත්පත තමයි උදයන්. ළඟදි දවසක් මං කිලිනොච්චියේ කාර්යාලයක තිබුණු උදයන් පත්තර මිටියක් පෙරළලා බැලුවා. ඒකෙ මං දැක්ක විශේෂ ම දෙය තමයි සෑම පත්තරයක ම මළවුන් වෙනුවෙන් පවුලේ ඥාති මිත්‍රාදීන් විසින් පළ කරන ලද ශෝක ප්‍රකාශ ගණනාවක් දැන්වීම් විදියට පළ වෙලා තිබෙනවා. ඒක එක්තරා සාහිත්‍ය ලේඛනයක්. ඒ වගේ ම මට පෙනුණු විදියට පුවත්පතේ ප්‍රධාන දැන්වීම් ආදායමත් ඒක.

මේ වැඩේ ඔය බෞද්ධ රූපවාහිනී නාලිකාත් කරනවා. කවුරුහරි මැරුණා ම ඒ අය වෙනුවෙන් රූපවාහිනියෙන් බණ කියන්නට සලස්වලා ඥාතීන්ගෙන් මුදල් අය කරනවා.

ලංකාවේ දර්ශනවාදීන්ගේ අවධානය මේ ඔබිචුවරි වගේ සීන්කෝන්වලටත් ඔන්න යොමු කළා ය කියල හිතාගන්නකෝ හිටං.

ඉතින් ආපහු ප්‍රස්තුතයට එමුකෝ. මං හිතන්නේ කස්ත්‍රෝ කියන්නේ සමාජවාදය වෙනුවෙන් අසාර්ථක පරීක්ෂණයක් කරපු තවත් කෙනෙක්. ඔහුත්, කිම් ඉල් සුංත් සමානයි. ඔවුන් තමන්ගේ පරීක්ෂණයේ නිරීක්ෂණ අවුල් වුණත්, පරීක්ෂණය අතහැර නො දා කරනවා. ඒක මාරයි කියලා කියන එක හරියට පරීක්ෂණයෙන් අපේක්ෂිත සත්‍යෙක්ෂණ නො ලැබෙන බව දැනගෙන ම උපන්‍යාසය අතහැර දමන්නේ නැතිව පරීක්ෂණ නලය දිගින් දිගට ම බන්සන් දාහකයට අල්ලගෙන ඉන්නවා වගේ වැඩක්.

ලෝක ඉතිහාසයේ සමාජවාදය හෝ වඩා යහපත් සමාජයන් වෙනුවෙන් කරපු සියලු පරීක්ෂණ අවුල්සහගත වෙන්නට පුළුවන්. අවසානයේ ලෝකය ඇවිත් තියෙන්නේ ඉබාගාතේ වගේයි කියා සිතෙන්නටත් පුළුවන්. සමාජවාදය තවත් ඒකාධිපතිවාදයකට ලඝු වෙනකොට, පෙරටුගාමී පක්ෂය තවත් ඒකාධිපතිවාදයක් පමණක් වන විට, අපි හිතුවා ප්‍රජාතන්ත්‍රවාදය වඩා දියුණුයි කියලා. ඒ වුණාට, දැන් එය බහුතරයේ වල් බූරු නිදහසක් බව බ්‍රෙක්සිට්, ට්‍රම්ප්, කොලොම්බියා ජනමතවිචාරණය වැනි උදාහරණ මගින් පෙන්වා දී තිබෙනවා.

මම හිතන්නේ චීනය, වියට්නාමය, නිකරගුවාව වගේ විප්ලව සිදු වුණ රටවල් කියුබාවට වඩා වෙනස් වුණේ වෙනත් පරීක්ෂණයකට මුල පුරපු නිසායි.

හැබැයි මම නම් හිතන්නේ මෙතන වැරැද්ද තියෙන්නේ උපන්‍යාසයේයි. සමාජවාදය කියා අපි අපේක්ෂා කරන්නේ මොකක් ද? සමාජවාදය කියන්නේ ධනපති පංතිය කන, බොන, අඳින, පළඳින, හිතන, දේශපාලනය කරන, සංවර්ධනය කරන විධියට ඒ දේවල් කරන්නට හැකියාව නිර්ධන පංතිය අතට ලබා ගැනීම ය කියන එක ද?

මට හිතෙනවා අපි තවමත් නතර වෙලා ඉන්නෙ අර්ථවත් ජීවිතයක් කියන්නේ මොකක් ද කියන ප්‍රශ්නෙ ගාව ය කියලා. සමාජවාදය වෙනුවෙන් දේශපාලනයත් ගිහින් තියෙන්නේ ඒ ප්‍රශ්නය මගහැර ගිය හෙවත් බයිපාස් කර ගිය පාරක.

W3LANKA

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *