අනුගතවෙමු ද නික්මයමු ද? – Mahesh Hapugoda
මේ ෆොටෝ එකේ ඇත්ත නැත්ත හෝ ඉස්කෝලේ මොකක්ද කියන එක මම දන්නේ නැහැ. සිද්ධියේ සත්‍ය අසත්‍ය බව දන්නෙත් නැහැ.
මේ ඌණ සංවර්ධිත රටේ ඉස්කෝල ඌණ සංවර්ධිත නොවෙන්න නම් හේතුවක් නැහැ. ගුරුවරු ගෙදරින් අරගෙන එන අගතීන්, ඇරියස්, කුණු ඔක්කොම පිට කරන්නේ මේ දරුවන්ගේ ජීවිත මතින්. මෙයින් කියන්නේ පුද්ගලික කඩවල් මාර රැඩිකල් කියන එකනම් නෙවෙයි. ඒවා ඔක්කොටම වැඩිය අහේතුක, අන්තවාදී, අගතිගාමී, ලිංගිකත්ව සහ මූලධාර්මික මත වපුරණ කේන්ද්‍රස්ථාන.
ගුරුවරුන්ට උගන්වන්න ඕනි අපි මේ ජීවත් වෙන්නේ ගෝලීය ලෝකෙක කියන එක. කොරෝනා වලින් පස්සේ ඈත ගම්මානවල දරුවන් පවා මොබයිල් ෆෝන් හරහා ගෝලීය ලෝකෙට නිරාවරණය වෙච්ච ලෝකෙක. ලෝක ගෝලයේ වෙනත් ඉස්කෝල දරුවන් ගතකරන ජීවිතය එයාල දකිනවා. දරුවන්ගේ ලෝකය සහ වැඩිහිටියන්ගේ ලෝකය කියල ඉන්ටනෙට් එකට වර්ගීකරණයක් නැහැ. හැම දෙයක්ම එළියේ. හැම දෙයක්ම සිදුවිය හැකියි.
ඔය කොන්ඩේ වැවීමේ ප්‍රශ්නෙට මමත් ප්‍රින්සිපල් කෙනෙක්ගෙන් ගුටි කාල තියනවා. මම කියන්නේ අසූව අග අනූව මුල වගේ කතාවක්. මීට කලින් කියල තියනවා වගේ අපි දකිනවා ඔය ජෝර්ජ් මයිකල්ගේ ෆොටෝ ඒ කාලේ සඟරා වල, ඇල්බම් කවර වල. ඉතිං ආස හිතෙනවා ඒ රූප සහ ආකෘති අනුකරණය කරන්න. ඒ ඉන්ටනෙට් නැති කාලේ. දැන් කොහොමට ඇද්ද මේ තත්වය?
අනික් අතට මගේ පංතියේ හිටිය ඒ වෙලාවෙත් හොඳටම බෑන්ඩ් ගහපු කොල්ලෝ කිහිප දෙනෙක්. උන් කොහොමත් කොන්ඩේ වවල, ඩෙක් ශූස් දාල, හිර කලිසම් ඇඳලා හිටියේ. එයාල පාසල් වයසේ උනාට ඒ වයසට ඉක්මවා යන ක්‍රියාකාරකම්වල හිටපු අය (extra-curricular activities). පංතිභාර ගුරුවරිය ඒක දැනගෙන හිටිය. එයා ඒ නිසා කොන්ඩේ පස්සේ ගියේ නැහැ.
හැබැයි පන්තියේ පන්ති භාර ගුරුවරිය නොවන වෙනත් ගුරුවරු හිටිය මේ බෑන්ඩ් ගහන සෙට් එක අනික් ළමයිත් නරක් කරන වෛරස් එකක් හැටියට දැක්ක. ඒ නිසා විදුහල්පති හරහා ඒ අයට දඬුවම් දුන්න. ඒ නිසා යම් හෝ අධ්‍යාපනයක් එක්ක මියුසික් ෆීල්ඩ් එකට යන්න හිටපු උන් අමුවටම ඉස්කෝලේ පංතියෙන් ගියා. පංති කට් කළා. මට දුක ඒක.
අළුත් ලෝකෙට ඉපදෙන දරුවන්ට උගන්වන්න ඉන්න මේ ගුරුවරු ට්‍රේන් කරන්න ඉන්නේ කවුද? ඒවාට යන්නේ ගුරු පුහුණු, ගුරු උපදේශක, ජාතික අධ්‍යාපන ආයතනයේ සහ විශ්ව විද්‍යාල වලින් ගන්න සෙට් එකක්.
මම දන්නා විදියට මේ කිසිම කෙනෙක් ඩිජිටල් ලෝක ගෝලයේ සිදුවෙමින් යන මේ දැවැන්ත පෞරුෂ වෙනස්කම් ගැන ගැඹුරු සංස්කෘතික සහ ඥානසම්බන්ධී අධ්‍යනයක් නැති පිරිසක්.
අද ලෝකයේ තියෙන්නේ මිනිස් නිදහස (human freedom) සහ මනුෂ්‍ය තේරීම් (human choices) ගැන පරණ ලෝකයේ සිතීම නෙවෙයි.
ස්වච්ඡන්දය (freewill) සහ නිදහස (liberty) ගැන කතිකාව විසිවෙනි සියවසේම අවසන් වෙලා තිබ්බේ. විනය කියන එක බාහිර පෙනුමෙන් මනින්න බැරි දෙයක්. හැබැයි දැන් දැන් විශ්ව විද්‍යාල තමයි බාහිර පෙනුම (outward appearance) වැඩි වැඩියෙන් කෝපරේට් වටිනාකම් (corporate values) එක්ක පටලන්න හදන්නේ. දැන් කැම්පස් ළමයි පොඩි ප්‍රසන්ටේෂන් එකකට එන්නෙත් හොඳට මැදපු සුදු කමිස කළු කලිසම් ඇඳලා. නැත්නම් ලකුණු කපනවා.
පුද්ගලික අංශයේ තමයි රස්සා තියෙන්නේ…ඒ නිසා ඒවාට ඕනි විදියට අඳින්න පළඳින්න ඕනි. කන්න බොන්න ඕනි. හැසිරෙන්න ඕනි. ඕක තමයි බණ කියනවා වගේ උගන්වන්නේ.
මේ වෙනකොට මිනිස් නිදහසට සහ නිර්මාණශීලි බවට වැඩියෙන්ම සහ ගැඹුරුම අර්ථයෙන් හානි කරන්නේ රැකියා සඳහා ශ්‍රමිකයින් හදන විශ්ව විද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන.
එක අතකින් අපිට ගෝලීය ලිබරල් ආර්ථිකය එක්ක ඉදිරියට යන්න ඕනි වෙලා තියනවා. මේ අමානුෂික ”විනය සහ අනුගතවීම” (discipline and conformity) එන්නේ එතැනින්. අනික් අතින් නිදහස් මිනිස්සු හදන්න ඕනි කියල කෙඳිරිල්ලක් වගේ දෙයක් තාමත් තැනින් තැනින් ඇහෙනවා. මම හිතන්නේ අපි අතරමං වෙලා ඉන්නේ.
ඒ නිසා මේ කොන්ඩේ කැපීම එක්ක එන්නේ දැවැන්ත ගෝලීය විරුද්ධාභාෂයක්. ඕනිනම් පුළුවන් Into the Wild (2007) එකේ ඇලෙක්සැන්ඩර් සුපර්ට්‍රෑම්ප් වගේ මේ සියල්ලෙන් පිටමං වෙලා යන්න (complete exodus). නැත්නම් වඩා මානුෂික ක්‍රම වෙනසක් වෙනුවෙන් කැපවෙච්ච දීර්ඝ කාලීන සංවාදයක් සහ වැඩපිළිවෙලක් වෙනුවෙන් යන්න වෙනවා.
(ලොකුවට වැඩක් නැති උනත් අවශ්‍ය නම් සංවාද කළ හැකියි).
Society by Eddie Vedder
ආචාර්ය මහේෂ් හපුගොඩ
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්…)