රුපියල් 25,000 දඩය නිසා පීඩාවට පත් වන අසරණ මගමරුවෝ – අජිත් පැරකුම් ජයසිංහ

මම අවම වශයෙන් සතියට දින පහක්වත් යතුරුපැදියේ, බසයේ, දුම්රියේ දිනකට කිලෝමීටර් 150ක් පමණ ගමන් කරන මගියෙක්මි. ඒ මදිවාට කිලෝමීටර් දෙක තුනක් පයින් යන පදිකයෙක්මි. ඒ නිසා මා මේ ඉදිරිපත් කරන්නේ නිරීක්ෂණයෙන් ලබා ගන්නා ලද සාක්ෂි මත පදනම් වූ කරුණු සමුදායකි. ඒ නිසා අනුභූතික සාක්ෂි මොනවාදැයි නො අසන්න.

මාර්ග නීති කඩකිරීමේ ප්‍රධාන වැරදි හතක් වෙනුවෙන් දැඩි ලෙස නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මම පක්ෂ වෙමි. එම වැරදි හත මෙසේ ය.

  1. බීමත්ව රිය පැදවීම
  2. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම
  3. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයකුට සිය රථය පැදවීමට අවසර දීම
  4. අධික වේගය
  5. වම් පසින් වාහන පසුකර යාම
  6. නොසැලකිලිමත් අයුරින් දුම්රිය හරස් මාර්ග ඔස්සේ රිය පැදවීම
  7. රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම

මේ අතරින් වැරදීමකින් අහම්බෙන් සිදු වීමට ඉඩක් ඇත්තේ වම්පසින් ඉස්සර කිරීමේ වරද පමණි. සෙසු වැරදි සිතා මතා කරන ඒවා ය.

මේ පිළිබඳ දැඩි විරෝධයක් දක්වන බස් රියදුරන් පිළිබඳ මම ඉතා සමීපව නිරීක්ෂණය කර ඇත්තෙමි. මම නිදසුන් කීපයක් ඉදිරිපත් කරමි. උදෑසන අත්වැල්තොට, බදුරලිය, පැලවත්ත, වලල්ලාවිට වැනි ප්‍රදේශවලින් ගමන් ආරම්භ කර අධික ලෙස සෙනග පටවාගෙන මතුගම නගරය හරහා යන බස් රථ රැසක් තිබේ. මේ අතරින් ලංගම බස් හැර පෞද්ගලික බස් උදේ 9 වන විට පිටකොටුවට පැමිණ, ඉන් පසු පැය හයක්, හතක් කොහේ හෝ නවත්වා තිබී යළි පිටත් වන්නේ සවස හතරෙන් පසුවයි. එහෙත්, පාරට බැස්ස පසු මෙම රියදුරන්ට තිබෙන්නේ පුදුම හදිසියකි.

උදෑසන 5.45ත් 6.30ත් අතර මතුගම පසු කර යන මෙම බස් කන්දරාව කලුතර දක්වා ඇති මාර්ගය තරග ධාවන පථයක් බවට පත් කරයි. කිසිදු රියදුරෙක් කිසිදු මාර්ග නීතියක් තකන්නේ නැත. වමෙන් පවා ඉස්සර කරන අවස්ථා තිබේ. බස් නැවතුම්පොළවල්, කහ ඉරි, සුදු ඉරි ආදී කිසිවක් ගණන් ගන්නේ නැත. ඒ මදිවාට සියයකට වැඩි සෙනග පටවාගෙන අධික වේගයෙන් රිය පදවන ගමන් රියදුරෝ දුරකථන ඇමතුම් ද ලබා ගනිති.ඉදිරියෙන් යන බසය, පසුපසින් යන බසය ගැන තොරතුරු ද හුවමාරු කර ගනිති. අධික ලෙස හෝන් ගසති. බ්‍රේක් ගසති. කොතරම් වේගයෙන් ධාවනය කළත්, හැම තැන ම නවත්වන නිසා මෙම බස් මතුගම සිට කොළඹට යාමට හා ආපසු ඒමට පැය තුනක පමණ කාලයක් ගනිති. ඒ නිසා දිනපතා කොළඹ යන මගීන් වැඩි දෙනෙක් කලුතරින් බැස අධික ලෙස තදබද වූ දුම්රියෙන් කොළඹ යනවා මිස මේ බස්වල වාඩි වී යන්නේ නැත.

වැඩේ කියන්නේ, මේ කාලය අතරතුර මතුගම, දොඩන්ගොඩ පොලිසි අවදි වී නැත.

බස් නැවතුම්පොළවල් අවුල් කරන්නේ ද බස් රියදුරෝ ය. ඔවුන් අතරමග නවත්වා මගීන් ගන්නා නිසා මගීහු නැවතුම්පළවලට මෙහා රැඳී සිටිති. ඔවුන් එහි රැඳී සිටින නිසා බස් ඒ තැන්වල නවත්වනු ලැබේ. වරදට මුල සොයන එක කලින් ඉපදුණේ කිකිළි ද, බිත්තරේ ද යන්න සොයනවා වැනි ය.

කිසි ගණනක් නැතිව කහ ඉරි උඩ බස් නවත්වාගෙන බුලත් විට කන රියදුරෝ සිටිති. මොවුන් සුක්කානම ඉදිරියේ වාඩි වූ විට උන්ට වඩා ලොක්කන් නැති මුත්, ඇත්ත වශයෙන් ම ගතහොත් මේ වනාහි නූගත් මෝඩයෝ ය. ඔවුන් වැරදි කරන්නේ ප්‍රධාන වශයෙන් ම උද්දච්ඡ මෝඩකම හා නූගත්කම නිසා ය.

රු. 25,000 දඩය යනු මොවුන්ගේ මාසික වැටුපට පොඩ්ඩක් අඩු එකක් වුව ද, මොවුන්ට නීතිය ඉගෙන ගන්නට නම් වෙන ක්‍රමයක් නැති බව මගේ අදහසයි.

පාරේ යන පදිකයෝ ද මේ ජාතියේ ම ය. ඔවුන්ට ද මේ අන්දමින් ම දැඩි දඩ පැනවිය යුතුව තිබේ. පටු මංවල වම් පැත්තෙන් කණ ගොන්නුන් සේ යන, කහ ඉර අප්පගේ බූදලේ යයි සිතාගෙන හිතුණු හැටියට එය මතින් යන පදිකයන් ද රියදුරන් අතින් වන වැරදිවලට වගකිව යුතු ය.

කිසිදු මාර්ග නීතියක් නො තකන තවත් පිරිසක් ද සිටිති. ඒ වනාහි ප්‍රභූ ආරක්ෂකයෝ ය. ප්‍රභූවරුන් යයි කීවාට මේ වනාහි මහජන මුදලින් ජීවත් වන දේශපාලුවෝ ය. ඔවුන්ගේ ඇති ප්‍රභූකමක් ද නැත. එසේ ම, මේ වන විට දේශපාලුවන්ට ඇති ආරක්ෂක ප්‍රශ්නයක් ද නැත. එසේ ම බල්ලට ඇති වැඩකුත් නැහැ, හෙමින් ගමනකුත් නැහැ ය කීවා සේ මුන් කරන වැඩක් නැතත්, පුක කඩා ගත් කඩින් සේ අතන මෙතන දුවන එකේ ද කෙළවරක් නැත. මුන්ට ද මාර්ග නීති අදාළ විය යුතු ය.

පූර්ණ කාලීන රියදුරු රැකියාවල යෙදී සිටින දුප්පතෙකුට රු. 25,000ක් දඩ ගසා, ඒ දඩය ගෙවා ගන්නට බැරුව එම මිනිසා හිරේ යවා, දරු පවුල අනාථ කිරීමෙන් රටට සෙතක් වන්නේ නැත. එබැවින් මේ දඩ මුදල අඩු කළ යුතු ය. එහෙත්, මාර්ග විනය ගැන මීට වඩා දැඩිව සැලකිලිමත් විය යුතු ය.

නිදි කිරන සිරිපාල දන්නා ප්‍රවාහනයක් නැත. පොදු ප්‍රවාහනය දියුණු කරන්නට, මාර්ග තදබදය අවම කරන්නට කිසිවක් නො කර, දඩ වැඩි කිරීමෙන් පමණක් රටට යහපතක් වන්නේ නැත.

W3LANKA

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *