බිල්ලා එනවෝ දේශපාලනය – සී. ජේ. අමරතුංග

උණුසුම් දේශපාලන මතවාදී සටනක් ඉදිරි කාලයේදී බලාපොරොත්තු විය හැකි බව පෙනෙන්නට තිබේ. එය ඇතිවන්නට ඉඩ තිබෙන්නේ රටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ ක්‍රියාවලියත් සමඟය. ජාතිවාදීන්ට මුහුණදීමට සූදානම් වන්නැයි රාජිත සේනාරත්න ඇමැතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ ඉදිරියේදී එළඹෙන මෙම ගැටුම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් වශයෙන් බව පෙනෙන්නට තිබේ.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා ගොනු කිරීමට පත් කළ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටු හයක් මගින් ඉදිරිපත් කළ වාර්තා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පසුගියදා සිදුවිය. එම වාර්තා තවදුරටත් සාකච්ඡාවට ගනිමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරන බවද එහිදී ප්‍රකාශ විය. මෙම කමිටු වාර්තා ප්‍රකාශයට පත්කරන ලද්දේ ඒවා මහජන සංවාදයට ලක් කරමින් වර්ධනය කිරීම සඳහාය.

මෙම යෝජනා සැකසීම සඳහාද මහජන අදහස් ලබා ගත් බව අමතක කළ නොහැකිය. අධි නීතිඥ ලාල් විජේනායක මහතාගේ නායකත්වයෙන් යුතු එම කමිටුවේ වාර්තාව මීට පෙර ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මෙලෙස මෙවර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැකසීම සිදුකරනු ලබන්නේ ජනතාවගේ උපරිම සහභාගිත්වය ලබා ගනිමින්ය. එමෙන්ම එයට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගෙන ඇත. රාජ්‍ය මුදල් පිළිබඳ අනුකමිටුවේ සභාපතිත්වය ලබාදී තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල ප්‍රකාශකයකු වන බන්දුල ගුණවර්ධන මහතාටය. එමෙන්ම කමිටු හයෙන් ඉදිරිපත් වූ වාර්තා ඒකමතික වූ බවද ප්‍රකාශ විය. එසේ නම් එය ඉතා හොඳ තත්ත්වයකි.

මෙය ‍මීට පෙර මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සකස් කළ ආකාරයට සම්පූර්ණයෙන්ම වෙනස්ව යන ක්‍රියාවලියකි. එක්දහස් නවසිය විසි ගණන්වල ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය සකස් කරන ලද්දේ බ්‍රිතාන්‍ය ජාතික කණ්ඩායමක් විසිනි. එයට මෙරට ප්‍රභූන්ගේ අදහස් ලබා ගත් බව කියති.

නිදහස ලැබීමත් සමඟ ක්‍රියාත්මක වූ සෝල්බරි ව්‍යවස්ථාවද සකස් කරන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසිනි. එයට මෙරට ප්‍රභූන්ගේ හා දේශපාලන නායකයන්ගේ අදහස් ලබාගත්තද එය සකස් කරන ලද්දේ බ්‍රිතාන්‍යයේ පැවැති සම්ප්‍රදායයන් ඇසුරු කොටගෙනය.

පැරැණි ව්‍යවස්ථා හැදුණු හැටි

නවසිය හැත්තෑ දෙකේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මෙන්ම නවසිය හැත්තෑ අටේ ව්‍යවස්ථාවද සකස් කරන ලද්දේ බලයේ සිටි දේශපාලන පක්ෂයේ අවශ්‍යතා හා අදහස්වලට මුල්තැන දෙමිනි. දෙමළ පක්ෂවල අදහස් නොතකා හැරිය බව එම ව්‍යවස්ථා දෙකටම තිබෙන චෝදනාවකි. එමෙන්ම හැත්තෑ අටේ ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමයට මෙරට වාමාංශිකයන් ඇතුළු බොහෝ දෙනා විරුද්ධ වූ බව ප්‍රකට කාරණයකි. එම ක්‍රමයේ ඉතාම නරක අත්දැකීම් පසුගිය කාලයේ අපට දකින්නට ලැබුණි. යහපාලන රජයේ දින සියයේ වැඩසටහන තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දහනවවන සංශෝධනය හඳුන්වා දෙමින් ජනාධිපති ක්‍රමයේ ඇතැම් අයහපත් ලක්ෂණ යම් පමණකට පාලනය කරනු ලැබීය.

රටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි යන්න අද පොදු පිළිගැනීමක් වී තිබේ. එය මහජන ඉල්ලීමකි. මේ කරන්නට යන්නේ එම මහජන ඉල්ලීම අනුව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමය. මීට පෙර අවස්ථාවල මෙන් බලයේ සිටින පක්ෂවලට අවශ්‍ය ලෙස නොව රටේ ජනතාව හා සියලු දේශපාලන පක්ෂ සම්බන්ධ කරගනිමින් මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පැහැදිලිය. එය තවමත් කෙටුම්පත් කර නැත. මේ කරන්නේ එයට මහජනයාගේ හා දේශපාලන පක්ෂවල යෝජනා ලබාගැනීමේ ක්‍රියාවලියයි.

අන්තවාදී නොමඟ යැවීම්

එසේ වූවද නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට එරෙහිව මහජනයා කුලප්පු කිරීමට මෙරට අන්තවාදී පිරිස් උත්සාහ දරමින් සිටින්නේ ක‍ලකට පෙර සිටිය. රට‍ කඩන ව්‍යවස්ථාවක් ගෙනෙන්නට ආණ්ඩුව උත්සාහ දරනවාය කියමින් මහජනයා නොමග යවන්නට ඔවුන් උත්සාහ කළේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් කිරීමේ යෝජනාව ගෙන එන්නටත් පෙර සිටය. එම අවස්ථාවේදී නොයෙකුත් විරෝධතා දැක්වුවද මහජනයා ඒවා ගණන් ගත්තේ නැත. එවිට එම විරෝධතා හකුලා ගන්නට ඔවුනට සිදුවිය.

මීට මාස දෙක තුනකට පෙර මල්වතු අස්ගිරි මහා නාහිමියන් බැහැ දැක “රට බෙදන ව්‍යවස්ථාවක්” ගැන කියන්නට ගිය විමල් වීරවංශ මන්ත්‍රීවරයාට සිදුවූ අකරතැබ්බය දැන් කවුරුත් දනිති. නාහිමියන් ප්‍රශ්න කළේ තවමත් සකසා නැති ව්‍යවස්ථාවකට විරුද්ධ වන්නේ කුමකටද? කියාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, ඔහුගේ අනුගාමිකයිනුත් මේ දිනවල රට වටා කියාගෙන යන්නේ රට බෙදන ව්‍යවස්ථාවක් ගෙනෙන්නට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවකි. මෙය ගෙන එන්නේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජිතයෝ බවත්, යෝජනා සකස් කළේ පොදු එකඟතාවයෙන් බවත්, එයට තමන්ගේ නියෝජිතයිනුත් සහභාගී වූ බවත් මොවුන් කියන්නේ නැත. කියන්නේ ආණ්ඩුව රට කඩන්නට හදන බවකි. දිනපතාම ඔවුහු එම ප්‍රචාරය ගෙන යමින් සිටිති.

මොවුන්ගේ මෙම හැසිරීමෙන් පෙනෙන්නේ හා තහවුරු වන්නේ එකම දෙයකි. එනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙලෙස සකස් කළත් එහි අඩංගුව කුමක් වුවත් එයට එරෙහිවීමට මෙම පිරිස බලා සිටින බවයි. කැස කවන බවයි. ඒ සඳහා අන්ත ජාතිවාදය, ආගම්වාදය හෝ වෙනයම් අන්තවාදයක් ඇවිස්සීමට මොවුන් මැලි නොවන බවයි. “ජාතිවාදයට මුහුණදීමට සූදානම් වන්නැ’යි රාජිත සේනාරත්න ඇමැතිවරයා අනතුරු අඟවා ඇත්තේ මෙම තත්ත්වය ගැන බව පැහැදිලිය.

උතුරේත් දකුණෙත් සිටින මෙබඳු අන්තවාදීන් කාලයක් තිස්සේම රටට කර ඇත්තේ මහත් විනාශයකි. තමන්ගේ දේශපාලන බලය වර්ධනය කරගැනීම පමණක් අරමුණු කරගත් මෙබඳු පිරිස් තමන් කරන කියන දේ ගැනත් ඒවායේ ප්‍රතිවිපාක පිළිබඳවත් වගකීමක් නොදරති. එයින් රටට වන විපත ගැන තුට්ටුවකටවත් මායිම් නොකරති. තමන්ගේම වාසිය වෙනුවෙන් රට විනාශ කරති. අපගේ මෑත අතීතයේ අත්දැකීම එයයි.

වරෙක මිනී මරා ගත්තේ වාහනවල අංක තහඩුවේ ශ්‍රී අකුරම යොදන්නටය. උතුරේ ශ්‍රී අකුරට විරෝධය පළවෙද්දි දකුණේ අන්තවාදීන්ට එය නැතිවම බැරිවිය. කෙසේ වෙතත් පසුව ඉරි කෑල්ලකින් ප්‍රශ්නය විසඳා ගන්නට හැකිවිය. දැන් වාහනවල ඇත්තේ සුද්දාගේ අකුරය. එයින් කිසිදු විපතක් වූ බවක් නම් දැනගන්නට නැත.

ස්වභාෂා රජයේ භාෂා විය යුතුයි කියමින් සිටි මෙරට ප්‍රධාන පක්ෂ “සිංහල පමණක්” ප්‍රතිපත්තියට යට වූයේ මැතිවරණ වාසි සඳහා බව දැන් පැහැදිලි කරුණකි. එසේ වුවද එහි අනතුර දැන සිටි බණ්ඩාරනායක අගමැතිවරයා දෙමළට යම් තත්ත්වයක් දීමට දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත ගෙනාවේය. එදා මෙරට අන්තවාදීන් කීවේ මෙය මහා විනාශයක් බවයි. එයින් රට බෙදන බවය. එසේ වූවද දැන් අප සිටින්නේ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව වූ රටකය. රටට එයින් යහපතක් මිස විනාශයක් සිදුවී නැත. දැන් උතුරේ ද‍රුවෝ සිංහල උගනිති. දකුණේ දරුවෝ දෙමළ උගනිති. උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා පසුගියදා කීවේ මෙය අනිවාර්ය කළ යුතු බවකි.

බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමට හා ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුමට සිදුවූ දේ ගැන බොහෝ දෙනා කතා කොට ඇත. මෙම උත්සාහයන් විනාශ වූයේ රටේ අන්තවාදය ක්‍රියාත්මක වීමෙනි. ජාතිවාදය ඇවිස්සීමෙනි. එයින් මෙරට යුද්ධයක් කරා තල්ලු විය. රට සංවර්ධනය කිරීමට තිබූ දශක ගණනක් අපට අහිමිවීය. අපේ ජනයා තවමත් දහ දුක් විඳින්නේ එම දේශපාලන අපරාධවල ප්‍රතිඵල වශයෙනි. ඒ කිසිවක වගකීම භාරගන්නට කෙනකු නැත.

ජේ. ආර්. ජයවර්ධන රජය සංවර්ධන සභා ක්‍රමය හඳුන්වා දීමට උත්සාහ කළේ 1980 දීය. එයද බාර ගැනීමට එවකට සිටි දෙමළ නායකත්වය සූදානම් විය. අන්තවාදී පිරිස් නොයෙකුත් උපක්‍රම මගින් එයද කඩාකප්පල් කළහ.

පළාත් සභා විෙරා්ධය පුස්සක් වූ හැටි

පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේදී කීවේ එයින් රට බෙදන බවයි. එදා ඒ වෙනුවෙන් පෙනී සිටි හර්ෂ අබේවර්ධන ඇතුළු එජාප නායකයන්ට මෙන්ම විජය කුමාරතුංග ඇතුළු වාමාංශික නායකයන්ටද ජීවිත පූජා කරන්නට සිදුවිය. වමේ ක්‍රියාකාරීන්ටද එම ඉරණමට මුහුණදීමට සිදුවිය. පළාත් සභා කියන්නේ එබඳු මහා බලයක් ඇති ආයතන නොවන බව අද කාටත් පැහැදිලිය.

මෙම කාරණා නැවත මතක් කළ යුතු වන්නේ අදත් එන මෙබඳුම මුලාකිරිම් හඳුනා ගැනීම සඳහාය. දැන් මෙබඳුම බලවේග අලුතින් එන්නේ අලුත් කතාවක් කියාගෙන විය හැකිය. එසේ වූවද හරයෙන් එහි වෙනසක් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ජනතාව තුළ භීතියක් ඇති කරන්නටය. එහි දේශපාලන වාසිය ලබාගන්නටය.

මෙබඳු බලවේගවල උපක්‍රමික ක්‍රියාවලිය හැමවිටම එක සමානය. එයින් ප්‍රචාරය ‍කෙරෙන්නේ ජාතියට මහා අනතුරක් සිදුවෙමින් පවතින බවයි. ඔවුන් කියන්නේ එය මහා ව්‍යසනයක් බවයි. එම විනාශයෙන් මහජනයා ගලවා ගන්නා ගැලවුම්කරුවන් ලෙස ඔවුහු පෙනී සිටිති. ඔවුන්ගේ දේශපාලන බලය වර්ධනය කරගන්නට හදන්නේ ඒ ආකාරයෙනි. එම ක්‍රියාවලියෙන් රටට වන විනාශය ගැන ඔවුනට කිසිදු තැකීමක් නැත.

මෙවර බොහෝවිට කියන්නට ඉඩ ඇත්තේ පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල දීමෙන් ඇතිවන මහා විනාශයක් ගැන විය හැකිය. දැනට ප්‍රචාරය පටන්ගෙන ඇත්තේ ඒ ආකාරයෙනි.

වංචාකාර දේශපාලකයෝ

කාලයක් තිස්සේ මධ්‍යගත බලයක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකාවට මෙම බලය බෙදීම අලුත් දෙයක් වූවද ඇතැම් රටක මෙම බලතල නගර සභා දක්වා බෙදා දී ඇත. මීට වසර එකසිය පනහකට පමණ පෙර චිකාගෝවේ හේමාකට් චතුරශ්‍රයේදී පොලිසිය කම්කරුවන්ට වෙඩි තබන විට එහි පොලිස් බලතල තිබුණේ නගරාධිපතිවරයාටය. මෙම බලය බෙදීම අලුත් දෙයක් වන්නේ අපටය.

ඉන්දියාවේ ප්‍රාන්තවලට පොලිස් බලතල දී ඇත. එසේ වූවද මහ ඇමැතිනී ජයලලිතාට දූෂණ චෝදනා එල්ල වනවිට මධ්‍යම ආණ්ඩුවේ පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළේය. බලය බෙදුවත් පොලිසියක් ක්‍රියාත්මක වන්නේ එලෙසය.

මෙලෙස දේශපාලන බලය සඳහා බිල්ලන් මවන ජාතිවාදී දේශපාලනඥයන් වංචනික පිරිසක් බවද හඳුනාගත යුතුය. 2005 මැතිවරණයේදී මොවුන් කීවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එල්.ටී.ටී.ඊ.ය සමඟ රට බෙදීමේ ගිවිසුමකට එළඹ සිටින බවකි. එසේ කියමින් එල්.ටී.ටී.ඊ.ය සමඟ ගිවිසුම් ගසන්නටත් ඔවුන්ට මුදල් ලබාදීමටත් ක්‍රියා කර ඇත්තේද එම පිරිසම බව දැන් හෙළිදරව් වී ඇත. දැන් රට බේරාගන්නා දේශප්‍රේමීන් ලෙස යළි කරලියට එන්නට දත කන්නේ එබඳු වංචාකාරයන් පිරිසකි. ඔවුන් පසුපස යන ඔවුන් වැනිම වංචනිකයන් පිරිසක්ද සිටීම රටේ අවාසනාවකි.

රටේ ප්‍රශ්න සියලු පක්ෂ එකතු වී විසඳා ගැනීමේ අවස්ථාවක් උදාවී ඇති මොහොතේ මෙරටේ සියලු අවංක දේශප්‍රේමී ප්‍රජාතන්ත්‍රවාදී ජනයා අදිටන් කරගත යුත්තේ මෙබඳු වංචනිකයන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදීමටය. මොවුන් වැනි තක්කඩින් අතීතයේදී රටට කළ විනාශය යළි සිදුකිරීමට මොවුන්ට ඉඩ නොතැබිය යුතුය.

සී. ජේ. අමරතුංග

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *