මංගල සහ අර්බුදය – මහාචාර්ය රොහාන් සමරජීව

මංගල සමරවීර මෙරට දේශපාලනයේ සුවිශේෂ චරිතයකි. කෙතරම් විවාදාත්මක වුවද සිය අදහස නොපැකිළව ප්‍රකාශ කිරීම ඔහුගේ ස්වභාවයයි. ඔහුගේ අනෙක් සුවිශේෂ ලක්ෂණය වන්නේ අනාගතය පුරෝකථනය කිරීමේ හැකියාවයි. ආර්ථික අර්බුදය මෙන්ම අලුත් පරපුරේ දේශපාලනය ගැන ද මංගල කල් තබා හඳුනා ගත්තේය. හිටපු ඇමැතිවරයකු වූ මංගල සමරවීරගේ 67 වැනි ජන්ම දිනය අද (21දා)ට යෙදී තිබේ. ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු වන මහාචාර්ය රොහාන් සමරජීව මංගලගේ දැක්ම ගැන මෙසේ විවරණයක යෙදෙයි.

2007–08 අර්බුදය සහ එයට හේතු ඊට දෙවසරකට පෙර පුරෝකථනය කිරීම නිසා රඝුරාම් රාජන් ප්‍රසිද්ධියට පත්වීය. ලෝකය පුරා නිවාස මිල මට්ටම් ඉහළ මට්ටමක පවතියි. එහි උච්චාවචනයන් අවශෝෂණය කර ගැනීමේ ශිල්පීය ක්‍රම සහ උපකරණ වැඩි දියුණු වී ඇති නමුත්, බරපතළ පසුබෑමකදී

ඒවා ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවක්” පවතින බැවින් මුල්‍ය වෙළෙඳපොළවල “ව්‍යසනකාරී කඩා වැටීමක්” මතුවෙමින් පවතින බවට ඔහු අනතුරු ඇඟවීය.

එසේ නම් අපේ රඝුරාම් රාජන් කවුද? බංකොලොත්භාවය වැනි යෙදුම් මහ බැංකු අධිපතිවරුන්ට භාවිත කළ නොහැකි බැවින් තාක්ෂණික හා පරිස්සම්සහගත වචන යොදාගෙන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේ ගැන අනතුරු ඇඟවූයේය.

එහෙත් මෙම ආර්ථික අර්බුදය හූදී ජනයාට වැටහෙන ආකාරයෙන් වේලාසන අනතුරු ඇඟවූ තැනැත්තා වන්නේ මංගල සමිරවීරය. එවකට මුදල් ඇමැතිවරයාව සිටි මංගල සමරවීර මහතා ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ප්‍රතිචාර දක්වමින් වර්ණවත් ලෙස එය ප්‍රකාශ කළේය. 2019 ඔක්තෝබර් මාසයේ දී ඔහු මාධ්‍ය හමුවක් කැඳවමින් නිකුත් කළ මෙම අමතක නොවන ට්වීටර් පණිවුඩය එයට කදිම සාධකයකි.

“ගෝඨාගේ බදු සැලසුම මඟින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවය, ණය ගෙවීම පැහැර හැරීම සහ ග්‍රීක වර්ගයේ ණය අර්බුදයක් කරා යන ශීඝ්‍රගාමී දුම්රියකට පටවනු ඇත. ඔහු යෝජනා කරන වැට් වෙනස්කම මඟින් පමණක් අහිමි වන මුදල් සෞඛ්‍ය, ආරක්ෂක හෝ විශ්‍රාම වැටුප් සඳහා රජය කරන වියදමට සමාන ය. ‘ව්‍යාපාරික ප්‍රජාව’ නමින් යෝජනා ඉදිරිපත් කරන PR සමාගමක උපදෙස් නිසැකවම ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවේ.”

පුරෝකථනය කළ ආකාරයට ම පැමිණි අර්බුදයෙන් ගොඩ යෑමට සහ එවැන්නක් නැවත ඇති නොවීමේ පියවර ගන්නා සන්දර්භයක, මුදල් ඇමැතිවරයකු ලෙස මංගලගේ කාර්ය සාධනය ගැන ආපසු හැරී බැලීම ඉහත පුරෝකථනය පමණක් ම සාධාරණීකරණය කරයි.

මූල්‍ය හිඟය

IMF යන කෙටි යෙදුමට විකල්ප තේරුමක් ඇති බව සමහරු කියති. එනම් “It’s Mostly Fiscal,” නොහොත් “එය බොහෝදුරට මූල්‍යමය වේ” යන්නයි. මූල්‍ය හිඟය බරපතළ ප්‍රශ්නයක් ලෙස සැලකිල්ලට ගත්, ඒ ගැන ක්‍රියාත්මක වූ සහ එම පිළියම් හේතුවෙන් දෝෂාරෝපණයට භාජනය වූ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනා අතර මංගල ද වෙයි.

මූල්‍ය හිඟය අඩු කිරීමට ක්‍රම දෙකක් ඇත. එනම් ආදායම් වැඩි කිරීම සහ වියදම් අඩු කිරීම යි. නැතහොත් ඉතා ම හොඳ දේ මේ දෙකම එක විට කිරීම යි.

රජයට ආදායම් ලැබෙන මාර්ග හතරක් තිබේ. එනම්, බදු, බදු නොවන ආදායම් (ගමන් බලපත්‍ර, අභයභූමි නැරඹීමේ ගාස්තු වැනි විවිධ සේවා සඳහා ගාස්තු), ප්‍රදාන සහ ණය වශයෙනි. ප්‍රදාන ලැබෙන්නේ සුළුවෙන් සහ කලාතුරකිනි. 2022 වසරේ දී රජයට ප්‍රදාන ලෙස ලැබුණු සම්පූර්ණ මුදල රුපියල් බිලියන 10කි. එය එම වසරේ සමස්ත ආදායමෙන් සියයට 0.48 කි. 2022 වසර මැද ගාස්තු බොහොමයක් වැඩි කළ පසුව ද, බදු නොවන ආදායම් ලැබී ඇත්තේ රුපියල් බිලියන 232කි. එය මුළු ආදායමෙන් සියයට 12.5 ක් පමණකි. එබැවින් වඩාත් වැදගත් වන්නේ බදු ආදායම යි.

වියදම් පැත්ත බැලූ විට රජය බොහෝ දේ සඳහා වියදම් කරයි. එහෙත්, නොගෙවා සිටියහොත් අගතියට හේතු විය හැකි වැටුප් හා විශ්‍රාම වැටුප් යන විශාලතම වියදම් ගැන අවධානය යොමු කළ විට රජයේ රෝහල්වලට අරමුදල් සැපයීම, සුබසාධන ප්‍රතිලාභ වැනි වෙනත් දේ සඳහා කොපමණ මුදලක් ඉතිරි වේද යන්න පිළිබඳ අපට අවබෝධයක් ලබා ගත හැකිය. අවශ්‍ය තරම් මුදල් නොමැති නම් රජයට සිදු වන්නේ ණය ගැනීමට ය. අප දැන් දන්නා පරිදි අධික ලෙස ණය ගත් විට, වේගවත් උද්ධමනයක් සහ ඉන්පසු බංකොලොත් බව වැනි නරක ප්‍රතිවිපාක ඇතිවෙයි.

වගුව 1 : සම්පූර්ණ බදු ආදායමට සාපේක්ෂව වැටුප් සහ විශ්‍රාම වැටුප් , 2014 – 2021

(මූලාශ්‍ර : මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය)

2020 සහ 2021 දී සම්පූර්ණ බදු ආදායමෙන් සියයට 86 ක් වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වැය කරන්නට සිදුවිය. මෙම වර්ෂ දෙකේ දී, රජයේ අනෙකුත් වියදම් සියල්ල කරන්නට සිදු වූයේ බදු ආදායමෙන් ඉතිරිව තිබූ රුපියල් බිලියන 200ක් සහ බදු නොවන ආදායම් මඟින් සපයාගත් ඊට සමාන මුදලින්, ප්‍රදාන සහ ණයවලින්ය. සංසන්දනාත්මක ලෙස ගත් කල 2017 වසරේ දී, වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමෙන් පසු, බදු ආදායමෙන් රුපියල් බිලියන 900ක් ඉතිරිව තිබිණි.

2015 දී සියයට 26ක පිම්මක්, 2020 දී සියයට 15ක සහ 2019 දී සියයට 11 වැඩි වීම් හැරුණු විට, වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වියදම දිගට ම වැඩි වී ඇත්තේ තනි ඉලක්කමකිනි. විශාල වැඩි වීම් සිදුව ඇත්තේ ජනාධිපතිවරණයක් සහ ඉන් පසුව මහ මැතිවරණයක් පැවති වර්ෂවල දී ය. එබඳු වර්ෂවල දී ජනාධිපති තනතුර දිනූ පක්ෂය මහ මැතිවරණයේ දී ඡන්ද මිල දී ගැනීම සඳහා මහජන මුදල් බෙදා දෙයි.

උදාහරණයක් ලෙස 2015 දී, රජයේ සේවකයන් සියලු දෙනාට මසකට රුපියල් 10,000 ක දීමනාවක් ලබා දුන් අතර මහපොළ ගෙවීම්ද වැඩි කළේය.

ලොකුම පව්කාරයා වූයේ 2015 පිහිටුවන ලද සුළුතර එජාපෙ කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමතිවරයා වූ රවී කරුණානායක යි. 2019 නොවැම්බරයේ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය සහ මහමැතිවරණය අතර පැවති කාලයේ දී ද, සාමාන්‍යයෙන් සිදුවන දේ සිදුවිය. වැටුප් සහ විශ්‍රාම වැටුප් වියදම සියයට15 කින් ඉහළ ගියේය. ඊට අමතරව විශාල වශයෙන් බදු කපා හරිනු ලැබීය. නාලක ගොඩහේවා වැනි වියත් මඟ බුද්ධිමතුන්ට, ඉහළ ආර්ථික වර්ධනයක් අත්‍යවශ්‍ය විය. ඔවුහු ආර්ථික වෘද්ධි වේගය අඩු වීම ගැන මංගලගේ බදු ප්‍රතිසංස්කරණවලට දොස් නැඟූහ. ප්‍රතිඵලය වූයේ 2019 දී රුපියල් බිලියන 1,735ක් වූ බදු ආදායම 2020 දී රුපියල් බිලියන 1,217 දක්වා පෙර නොවූ විරූ ලෙස අඩු වීම යි. එමඟින්, ශ්‍රේණිගත කිරීම් පහත වැටුණු අතර එහි ප්‍රතිඵලය ලෙස අර්බුදය ආරම්භ විය.

ජනාධිපතිවරණය පැවති වසර වන 2019 දී, වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා කළ වියදම සියයට 11කින් වැඩි වීමෙන් පෙන්නුම් කරන පරිදි වියදම් පැත්තේ දී මංගල ද දෝෂ දර්ශනයෙන් නිදහස් නැත. මූල්‍ය අර්බුදයට ප්‍රධාන සාධකයක් වූ රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමේ වරදට මංගලද ඔහුගේ දේශපාලන දිවිය පුරාම හවුල් වූ බවද නොකියා බැරිය.

ඔහුට ප්‍රශංසාව හිමි විය යුතු වන්නේ 2017-19 වසරවල බදු ආදායම ඉහළ දැමීම සම්බන්ධයෙනි. වත්මන් රජය මෙන්ම මංගල ද ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවක් හරහා ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගැනීමට උත්සාහ කළේය. 2017-19 කාලයේ පැවති ආණ්ඩුවේ අභ්‍යන්තර ගතිකත්වය වෙනත් දේකට ඉඩ දුන්නේ නැත. නමුත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දී ලබාදී ඇති සියයට 2.3ක මූලික අතිරික්ත ඉලක්කය ආසන්නයට ඔහු පැමිණියේ නැත. පහත සඳහන් කොට ඇති උපුටා දැක්වීම්වල, අන්තර්ජාතික මූල්‍ය අරමුදල මංගලගේ දෙවසරක අතිරික්ත ගැන කතා කරයි.

“ඓතිහාසික වශයෙන්, ශ්‍රී ලංකාව ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබාගෙන ඇත්තේ අවස්ථා තුනකදී පමණක් වන අතර, කිසිදා එය වසර දෙකකට වඩා වැඩි කාලයක් නොතිබුණි. එමෙන් ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලත්, ශ්‍රී ලංකාවේ පසුගිය වැඩසටහන්වල, මූල්‍ය ඒකාග්‍රතා ප්‍රයත්නයන්, වැඩසටහන අවසන් වීමෙන් පසු ඉක්මනින් ආපසු හරවනු ලැබීය. සැලසුමේ ඇති මූල්‍ය ගැළපුම්වල විශාලත්වය ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ මට්ටමක වුවත්, මීට පෙර කළ මූල්‍ය ප්‍රතිසංස්කරණ අහෝසි කිරීමෙන් පසු, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ලෝකයේ අඩුම ආදායමකින් ආරම්භ කරන බැවින් එය අවශ්‍ය වෙයි. නිදසුනක් වශයෙන්, 2022 දී ඉහළ උද්ධමනය මධ්‍යයේ රාජ්‍ය අංශයේ වැටුප් සහ රාජ්‍ය විශ්‍රාම වැටුප් සඳහා විශාල සැබෑ කප්පාදුවක් කිරීම වත්මන් සහ විශ්‍රාමික සිවිල් සේවකයින්ගෙන් වැඩසටහනට එරෙහිව විරෝධයක් ඇති කළ හැකිව තිබිණි.”

ජංගම ගිණුමේ හිඟය

2019 වියත් මඟ බදු කප්පාදුවෙන් උත්සන්න වූ, රෝගියා දැඩි සත්කාර ඒකකයට යැවීමට පාදක වූ රෝගය දැන සිටි එකකි. එනම්, නිදහසින් පසු ශ්‍රී ලංකාව දිගට ම මුහුණ දුන් ද්විත්ව හිඟයයි. ඉහත සාකච්ඡා කළ පරිදි මංගල පිළියම් කරන්නට වැර දැරුවේ මූල්‍ය හිඟයට යි. දෙවැනි හිඟය එනම්, වර්ෂයක් පාසා අප විසින් අපනයනය කරනු ලබන ප්‍රමාණයට වඩා වැඩියෙන් ආනයනය කිරීම නිසා ඇතිවන ජංගම ගිණුමේ හිඟය යි. බොහෝ දෙනා කතා කරන්නේ භාණ්ඩ අපනයනය සහ ආනයනය සම්බන්ධයෙන් පමණක් වුව ද, අප භාණ්ඩ සහ සේවා යන දෙකම ගැන කතා කළ යුතුය.

2019 දී, එනම් රාජපක්ෂවරුන්ගේ පුනරාගමනයට පෙර වසරේ දී භාණ්ඩ ආනයනය සඳහා වැය කළ ඩොලර් බිලියන 19.9ක වියදම, භාණ්ඩ අපනයනයෙන් උපයාගත් ඩොලර් බිලියන 11.9 මඟින් ආවරණය කළ නොහැකි විය. කෙසේ වෙතත්, සේවා අපනයනවලින් ලැබුණු ඉපැයීම් සමඟ (4 වැනි මාදිලියේ සේවා අපනයනවල ප්‍රතිඵලයක් ලෙස ලැබුණු සේවක ප්‍රේෂණ ද ඇතුළුව), භාණ්ඩ හා සේවා ආනයන වියදම් ආවරණය කර ගත හැකි විය. 2020 දී අගුලු දැමීම් සහ එහි ප්‍රතිඵලයක් ලෙස සැපයුම් දාමවලට හානි වීම හේතුවෙන් භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 10 දක්වා අඩු විය. සංචාරක ව්‍යාපාරය ඇතුළු සේවා අපනයනය ඊටත් වඩා නරක තත්ත්වයට පත්වීය. එසේ වුවත්, ආනයන ද විශාල ලෙස අඩු වීම නිසා තත්ත්වය තවමත් කළමනාකරණය කරගත හැකිවිය. 2021 වන විට භාණ්ඩ හා සේවා අපනයන මුළු ආදායම, භාණ්ඩ ආනයන වියදම් ආවරණය කිරීමට පවා ප්‍රමාණවත් නොවීය. එහි ප්‍රතිවිපාක 2021 දෙවැනි භාගයේ දී සහ 2022දී කාටත් අත්විඳින්නට සිදු විය.

අප අපනයන වැඩි කරගත යුතු බව අවිවාදිතය. භාණ්ඩ පමණක් නොව සේවා අපනයනය ද වැඩි කරගත යුතුය. අපගේ භාණ්ඩ අපනයනය විවිධාංගීකරණය වී නැති සහ ඉහළ වටිනාකමක් නැති එකක් වන අතර ඒවා යන්නේ රටවල් සුළු ගණනක් වෙතට ය.

සම්පූර්ණ අපනයන ආදායමෙන් සියයට 63 ක් ලැබෙන්නේ අයිතම තුනකින් පමණකි. එනම්, ඇඟලුම්, තේ සහ රබර් නිෂ්පාදන වලිනි. අප අපනයනය කරන භාණ්ඩ පමණක් නොව වෙළෙඳපොළවල් ද විවිධාංගීකරණය කළ යුතුව ඇත. අපනයන ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ එක්සත් ජනපදයට සහ යුරෝපයට ය. අප ඒ මත යැපීම අඩු කොට වේගයෙන් වර්ධනය වන ආසියාවට වැඩියෙන් විකිණිය යුතුව ඇත.

මුදල් ඇමැතිවරයා ලෙස මංගලට භාණ්ඩ අපනයනය වර්ධනය සඳහා විශාල බලපෑමක් කිරීමට හැකියාවක් තිබෙන්නට ඉඩක් නැත. ජීඑස්පී ප්ලස් නැවත ලබාගැනීම විශාල ජයග්‍රහණයක් වුවද, එය සිදුකරන ලද්දේ විදේශ කටයුතු ඇම­ැතිවරයා වශයෙනි. සේවා පැත්තේ දී, ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ මඟින් වයින් සහ බියර් බලපත්‍ර නිකුත් කිරීමට පහසුකම් සැලසීම වැනි ක්‍රියාමාර්ග මඟින් කුඩා පරිමාණයේ සංචාරක සේවා සපයන්නන්ට උපකාර කිරීමට ඔහු උත්සාහ කළේය. අපනයන ප්‍රවර්ධනයේ ප්‍රධාන වගකීම පවරා ඇත්තේ අපනයන සංවර්ධන මණ්ඩලය වෙත වන අතර එය තිබුණේ මුදල් අමාත්‍යාංශය යටතේ නොවේ. අපනයනකරුවන්ගේ මඟ පෙන්වීම යටතේ ජාතික අපනයන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ එම මණ්ඩලයයි. ශ්‍රී ලංකාවේ සමාගම්වලට ගෝලීය නිෂ්පාදන ජාලවලට සහභාගී වීමට බාධා කරන පැරා තීරුබදු ඔහුට ක්‍රමානුකූලව ඉවත් කළ හැකිව තිබිණි. 2023 අය-වැය කතාවේ දී මෙය නැවත වරක් නිවේදනය කරනු ලැබීමෙන් ගම්‍ය වන්නේ එම කාර්යය අතපසු වූ බවයි.

අර්බුදයෙන් ගොඩ යෑම සඳහා සහ එය නැවත ඇතිවීම වැළැක්වීම සඳහා, මූල්‍ය හිඟය තුරන් කිරීම අවශ්‍ය කොන්දේසියකි. නමුත් එය ප්‍රමාණවත් නැත. ඒ සඳහා දේශීය සහ විදේශීය තරගයට ආර්ථිකය විවෘත කිරීම මඟින් ආර්ථිකය වඩාත් කාර්යක්ෂම කිරීමට සමස්ත ආණ්ඩුවේ ප්‍රවේශයක් අවශ්‍ය වෙයි. ආරක්ෂණවාදී බාධක ඉවත් කිරීම, ව්‍යාපාර කිරීමේ පහසුව වර්ධනය කිරීම, විදේශීය ආයෝජකයන් සමඟ හවුල්කාරීත්වය මඟින් සහ වෙළෙඳ ගිවිසුම් මඟින් වෙළෙඳපොළ ප්‍රවේශයන් ලබා ගැනීමට ව්‍යවසායන්ට ආධාර කිරීම ආදිය මේ සඳහා වූ පියවර සමහරකි.

මැතිවරණ දේශපාලනයට පිටතින්

2020 මහ මැතිවරණයට තරග කිරීම මංගල ප්‍රතික්ෂේප කරන විට ඔහු කීවේ තමා මැතිවරණ දේශපාලනයෙන් ඉවත් වන බව යි. නමුත් දේශපාලනයෙන් ඉවත් නොවන බවයි. එම නිවේදනයේ සිට 2021 දී ඔහුගේ අභාවය දක්වා කාලය, තරුණ කේන්ද්‍රීය ව්‍යාපාරයක වර්ධනය සඳහා කැප කරන ලද අතර, එය කළේ, ශ්‍රී ලංකා දේශපාලනයේ මීළඟ අදියර හැඩ ගස්වන්නේ තරුණයන් විසින් බව සහ එය සමාජ මාධ්‍ය මඟින් බල ගැන්වෙන බවට වූ ඔහුගේ විශ්වාසය මත පදනම් වෙමින් ය. ඔහු අර්බුදය ගැන පුරෝකථනය කළා සේ ම, අර්බුදයට වගකිව යුතු තැනැත්තන් සහ ප්‍රතිපත්ති පෙරළා දැමූ අරගලය ගැන ද පුරෝකථනය කළේය.

 

තරමක් අසාමාන්‍ය පුරෝකථන හැකියාවක් තිබියා වුව ද, මංගල දෙවියකු නොවීය. “මංගල සිටියා නම් ඔහු කුමක් කරයිද” කියා ඇසීමට හේතුවක් නැත. කැබිනට් මණ්ඩලයේ සේවය කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණකි. එබැවින් ඔහුට සේවය කළ හැකිව තිබුණේ කුමන තනතුරකද වැනි දේ ගැන අනුමාන කිරීමේ වටිනාකමක් නැත. දැන් අවශ්‍යව ඇත්තේ අලුත් මාදිලියක දේශපාලනයක් ය යන ඔහුගේ ස්ථාවරයට එය ප්‍රතිවිරුද්ධය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ඇතුළත් සහ ඉන් එහාට ගිය ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග වන්නේ, පෙර යෝජනා කළ අවස්ථාවලදී පරාජයට පත් වූ ඒවාය. 2002-04 කාලයේ රජයේ රැකියා සඳහා බඳවා ගැනීම නවතා තිබූ අතර දායකත්වයක් නොමැති විශ්‍රාම වැටුප් අවසන් කිරීමට උත්සාහයක් විය.

ඉන් පසු පැවති මැතිවරණයෙන් එම ආණ්ඩුව පරාජයට පත්විය. රජයට අයත් ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් වීමේ උත්සාහයන් නැවත නැවත අසාර්ථක විය. එසේ වුව ද, දැන් ඒවා සිදුවෙමින් පවතියි. කම්කරු නීතිවල බරපතළ ප්‍රතිසංස්කරණ සඳහා කිසි විටෙක උත්සහ නොදැරීය. එසේ වුව ද, ඒවා පවා දැන් න්‍යාය පත්‍රයේ ඇත.

අනුග්‍රාහක-සේවාදායක සංස්කෘතිය සහ වසර ගණනාවක් තිස්සේ ව්‍යාජ දේශප්‍රේමයක් ඇති කිරීමට කරන ලද ප්‍රචාරණ, ප්‍රතිසංස්කරණ අඩාළ කිරීමට ඒකාබද්ධ වී ක්‍රියාත්මක විය. නමුත් මේ වන විට, තම වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කරන වෘත්තීය සමිතිවලට මහජන සහයෝගය නොමැති වීමෙන් පෙන්නුම් කරන පරිදි, තත්ත්වයන් වෙනස් වී ඇත. රජය තුළ සිටින අය ඵලදායී ලෙස ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවෙන් පිටත සිටින අයගේ සම්බන්ධීකරණය සහ ප්‍රබල සන්නිවේදනය සමඟ සම්බන්ධ කරන්නේ නම්, ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට ඉඩක් තිබිය හැකිය. අලුත් මාදිලියක දේශපාලනයක් පිළිබඳ මංගලගේ දැක්මෙන් ගම්‍ය වන ක්‍රියාමාර්ගය මෙය බව පෙනෙන්නට තිබේ.

දිනමිණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *