රාජ්‍ය ප්‍රතිපත්තිවලට ඇඟිලි ගහන්න වෘත්තීය සමිතිවලට අයිතියක් නැහැ – එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

 

 

ලෝක බලවතුන්ගේ ග්‍රහණයෙන් ගලවාගෙන රට ගොඩනැඟීම යනු සාමාන්‍ය පුද්ගලයකුට කළ හැක්කක් නොවේ. ඒ සඳහා ඊට සමත් ජන නායකයෙකු රටේ සිටිය යුතුය. එවන් අයෙක් මෙරටේ බිහි වී සිටීද? ප්‍රමාණවත් සහයෝගයක් ඔහුට විපක්ෂයෙන් ලැබෙන්නේද? එමෙන්ම රටේ පවතින වත්මන් ආර්ථික, සමාජ තත්ත්වය සහ රජයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

 අලුත් අවුරුද්දෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටින බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ සඳහා ප්‍රමාණවත් සහයෝගයක් විපක්ෂයෙන් ලැබී තිබෙනවාද?

මේ අවස්ථාවේ ජාතික එකඟතාවයක් ඇති කර ගැනීම ඉතා වැදගත් බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා සියලු පක්ෂවලට එකතු වී රට ගොඩනැඟීමේ ජාතික වැඩපිළිවෙළට දායකත්වය ලබාදීමට දැන් අවස්ථාව උදා වී තිබෙනවා.

2020 පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත්ව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පුද්ගලයෙකු නම් කර ගැනීමට පවා නොහැකිව අර්බුදයකට ලක්ව තිබූ අවස්ථාවකදී රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලබා දිය යුතු බවත් එම මන්ත්‍රී ධූරය ඔහු ලබාගෙන 2023 අගමැති ධූරයත්, ජනාධිපති ධූරයත් ලබා ගන්නා බවත් ඔබතුමා ගාල්ලේ පැවැති රැස්වීමකදී ප්‍රකාශ කළා මට මතකයි. ඒ ප්‍රකාශයෙන් පසු ඇතැම් අය ඔබව සමච්චලයට ලක් කළා. නමුත් මෙවැනි සාර්ථක අනාවැකියක් කරන්න ඔබ සතුව තිබූ සාධක මොනවාද?

දේශපාලන පළපුරුද්ද හා අත්දැකීම් තිබෙනවා නම්, ඉදිරියේ සිදු වන්නේ කුමක්ද කියා ප්‍රකාශ කළ හැකියි. එදා පැවැති මැතිවරණයෙන් එකම ආසනයක්වත් අපට ජය ගත නොහැකිව අන්ත පරාජයකට පත්වූ අවස්ථාවේ අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ සාකච්ඡා කළා. ඒ අවස්ථාවේ 2020 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය රට හමුවේ තැබූ මැතිවරණ ප්‍රකාශනය හොඳින් කියවාගෙන ඒ පිළිබඳව හොඳින් අවධානයෙන් සිටින්නැයි එතුමා අපට දැනුම් දුන්නා.

2020 මැතිවරණ ප්‍රකාශය අද ඕනෑම අයෙකුට බැලිය හැකියි. එහි ඉතා පැහැදිලිවම එතුමා සඳහන් කර තිබෙනවා. අප පැමිණි ගමන් මඟ වෙනස් කරන්න එපා කියලා. 2020ට අපට ඩොලර් බිලියන 3000 ක්ද, 2021ට ඩොලර් බිලියන 6000 ක්ද අවශ්‍ය බව එහි පැහැදිලිව සඳහන් වෙනවා. එවැනි පසුබිමක අපි යන ගමන වෙනස් කළොත්, රට සම්පූර්ණයෙන් අගාධයට තල්ලු වී කඩාගෙන වැටෙන බව එදා අපට ප්‍රකාශ කළා. ඒ අනුව අප ඒ දෙස බලා සිටියා. රට කඩා වැටුණා. දැන් අපට තිබෙන්නේ වැටුණු රට ගොඩගැනීමටයි.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවට යා යුතුමයි කියා මම වරෙක ප්‍රකාශ කළා. කොපමණ විරෝධතා තිබුණත් මම ඒ ස්ථාවරයේ සිටියා. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු යවන්න ඔබ උත්සාහ ගන්නේ ඔහුව විපක්ෂ නායක ධූරයට පත්කරන්නද කියා ඒ දිනවල පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු මගෙන් ප්‍රශ්න කළා. මම ඔහුට කියා සිටියේ, නැහැ, රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු යන්නේ අගමැති වී ජනාධිපති ධූරය ලබා ගෙන රට ගොඩනැඟීමට බවයි. අද මම නොබියව ප්‍රකාශ කරන්නේත්, මේ අභියෝගය ජයගත හැක්කේ එතුමාට පමණක් කියායි.

1994දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා විවිධ අභියෝගවලට මුහුණ දුන්නා. නායකත්වය ගන්න බලා සිටි පක්ෂයේ ඇතැම් කණ්ඩායම් එතුමාගේ කකුලෙන් ඇද්දා. කැරළි ගැහුවා. ඒ සෑම අවස්ථාවකම ඔබ ඔහු සමඟ සිටිමින් විවිධ අවලාද මැද ඔහුව ආරක්ෂා කළා. ඒ වෙනුවෙන් සෘජුවම පෙනී සිටියා. මෙවැනි කැප කිරීමක් කරන්න තරම් ඔහු සතු සුවිශේෂත්වය කුමක්ද?

ජාත්‍යන්තරයේ ඇතැම් බලවේග සිතනවා ශ්‍රී ලංකාව පාලනය කළ යුත්තේ නූගතෙක් කියා. යමක් කමක් කර ගත නොහැකි පුද්ගලයෙක් කියා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපති ධූරය සඳහා නුසුදුසුකමක් තිබුණා. ඒ තමයි ඊට සුදුස්සෙකු වීම. එය පරාජය කර එතුමා ජනාධිපති පුටුවේ වාඩි කරවීම අපේ ප්‍රධාන බලාපොරොත්තුව වී තිබුණා.

එතුමා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබා කිසිඳු ජාත්‍යන්තර බලවේගයකට හසු නොවී, යටත් නොවී සෘජුව කටයුතු කරන නායකයෙක්.

ලෝක බලවතුන්ගේ ග්‍රහණයෙන් ගලවාගෙන මේ රට ගොඩනැඟීමට නම් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තව වසර කිහිපයක් ඉදිරියට යා යුතුයි. එහෙම වුණොත් ආසියාතික රටවලට හෝ ලෝක බලවතුන්ට මේ රටට ඇඟිලි ගැසීමට නොහැකි තැනකට පත් වේවී. එය රටේ මහජනතාව මෙන්ම ශ්‍රී ලංකාවේ සෑම දේශපාලන පක්ෂයක්ම අවබෝධ කරගත යුතුයි. ඒ අනුව සියලු දේශපාලන පක්ෂ ජාතික එකඟතාවයකට පැමිණිය යුතුව තිබෙනවා. ආණ්ඩු මාරු වුණත් වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුවක් අඛණ්ඩව ක්‍රියාවට නැංවිය යුතුයි. ඒ සඳහා සියලු පක්ෂ හා බලවේග ජාතික එකඟතාවයකට පැමිණීම අත්‍යවශ්‍ය වී තිබෙනවා.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැවතුණත් ඇතැම් අවස්ථාවල ව්‍යවස්ථාවට අනුකූලව රට පාලනය කර නැහැ. එහෙම නොවු‍ණොත් ඉදිරියට යන්න බැහැ. එහෙම නම් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රට පාලනය කළ යුතුයි. අද බොහෝදෙනෙක් කතා කරනවා මේ රට සිංගප්පූරුවක්, මැලේසියාවක්, ජපානයක් කරන්න ඕනෑ කියලා. එහෙම නම්, ඒ රටවල තිබෙන නීතී මේ රටට ගෙන ආ යුතුයි. රටක් ඉදිරියට යන්න නම්, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන බව පවසමින් ඒවා විදේශ රටවලට විකුණා දමන බවට වෘත්තීය සමිති චෝදනා කරමින් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට මේ වන විට සූදානම් වෙනවා. නව නීතී ගෙනැවිත් ආණ්ඩුව වෘත්තීය සමිති මර්දනය කිරීමට සූදානම් වන බවට ද ඔවුන් චෝදනා කරනවා. ඇත්තටම මේ හදන්නේ වෘත්තීය සමිති මර්දනය කරන්නද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති හා මූලධර්ම කියන කොටසින් වෘත්තීය සමිතිවලට කිසිඳු අයිතියක් ලබාදෙන්නේ නැහැ. නමුත්, විදේශ මැදිහත්වීම් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(1) වගන්තිය අද උල්ලංඝනය වෙමින් තිබෙනවා. 27(1) වගන්තියේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවත්, ජනාධිපතිවරයාත්, අමාත්‍ය මණ්ඩලයත් මුල් කරගෙන තමයි රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම සිදු කළ යුත්තේ. ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්තිවලට ඇඟිලි ගැසීමට වෘත්තීය සමිතිවලට බලයක් තිබෙන බව කොහෙවත් සඳහන් කර නැහැ.

අපේ රටේ රාජ්‍ය යන්ත්‍රණයත් වෘත්තීය සමිති යන්ත්‍රණයත් අවුරුදු 75 ක් පමණ රටට රුපියල් ට්‍රිලියන ගණනක හානියක් සිදු කර තිබෙනවා. අද සෑම තැනම වැඩවර්ජනය කරනවා. ඔවුන් කරන වැඩවර්ජන වෙනුවෙන් වන්දි ගෙවන්නේ රටේ සමස්ත මහජනතාවයි. ගොවියෙක් හෝ වෙනත් කෙනෙක් පානය කරන තේ කෝප්පයෙන්, ආහාර වේලෙන් තමයි, ඔය වර්ජනය කරන අයට වැටුප් ගෙවන්නේ. රටේ කොටසක් වැඩවර්ජනය කරන්නයි, වැඩ කරන ජනතාවගෙන් ඔවුන්ට වැටුප් ගෙවන්නයි, පාඩු ලබන ආයතන නඩත්තු කරන්නයි අද රජයට සිදුව තිබෙනවා. මෙය වහාම වෙනස් කළ යුතුයි.

පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණන මුවාවෙන් ටෙලිකොම් වැනි ලාභ ලබන ආයතනත් රජය විකුණා දමන බවට වෘත්තීය සමිති චෝදනා කරනවා?

වෘත්තීය සමිතිවලට කිසිම අයිතියක් නැහැ රාජ්‍ය ප්‍රතිපත්තිවලට ඇඟිලි ගසන්නට. එය හොඳට මතක තබාගෙන මින් ඉදිරියට කටයුතු කළ යුතුයි. අතීතයේ සිට වෘත්තීය සමිති මුවාවෙන් ඇතැම් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති නායකයින් කියාගන්නා ඔවුන්ගේ අතකොළු ඔවුන්ගේ හයිය පෙන්වමින්, අහිංසක වැඩකරන ජනතාව මුළා කර සමස්ත රාජ්‍ය සේවයම විනාශය කරා ඇදගෙන ගොස් තිබෙනවා. තවදුරටත් දේශපාලන අරමුණු වෙනුවෙන් රටට හානි කිරීමට ඉඩදෙන්න බැහැ.

එදා ගෝඨාභය ජනාධිපතිතුමාට රට දාලා යන තැනට වැඩ කටයුතු සිදුවන විට රනිල් වික්‍රමසිංහ මහතා රට භාර නොගත්තා නම්, අද මේ රට තිබෙන තැන ගැන ඔබේ තක්සේරුව කුමක්ද?

රට බංකොලොත් කියන තැනට පත්කරායින් පසු මුදල් නැති අයට මෙන්ම මුදල් තිබෙන අයට ද ජීවත් විය නොහැකි තැනකට රට තල්ලු වුණා. කොපමණ මුදල් තිබුණත් ඉන්ධන, ගෑස්, විදුලිය හා වෙනත් භාණ්ඩ මිලදී ගන්න තිබුණේ නැහැ. මෙවැනි අවාසනාවන්ත තැනකට රට පත්වූ අවස්ථාවේදී රට භාර ගැනීමට රටේ වාසනාවන්ත එක් නායකයෙක් සිටියා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා එදා රට භාර නොගත්තා නම්, අද මේ රටේ ජනතාවට කුණු බක්කි අවුස්සන් කන තැනට පත්වන්න තිබුණා. කන්න බොන්න නැතිව ජනතාව මහ මඟ මියැදෙන්න තිබුණා. ඒ මහා විනාශයෙන් රට මුදා ගන්න එතුමාට හැකි වුණා.

මේ රට අඩියක්වත් ඉදිරියට යා නොහැකිව ඛේදනීය තත්ත්වයකට පත්ව තිබූ කාලය ඔබට මතක ඇති කියා මා විශ්වාස කරනවා. ඒ වෙලාවේ අද කෑ ගහන නායකයෝ කවුරුත් රට බේරාගැනීමේ අභියෝගය භාර ගත්තේ නැහැ.

එළඹෙන 25 වැනිදා IMF එකඟතාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වෙනවා. එහිදී විපක්ෂය මේ සඳහා සහයෝගය ලබා දෙනු ඇතැයි ඔබ විශ්වාස කරනවාද?

එම විවාදයේදී දේශද්‍රෝහීන් කවුද? දේශහිතෛශීන් කවුද? කියන එක අපට බලාගත හැකියි. මම හිතන්නේ මේ රට විදේශ රටවලට ණය දෙන රටක් බවට පත්කරන්න ඕන නම් අනාගත දරු පරපුරට යහතින් ජීවත් විය හැකි රටක් බවට පත්කරගන්න ඕන නම් ඒ අය මෙයට පක්ෂව කටයුතු කරාවී.

ප්‍රති ත්‍රස්ත පනත ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින අතරේ, උද්ඝෝෂණ, වෘත්තීය සමිති ක්‍රියා හා ආණ්ඩුවට එරෙහිව පාරට බහින බලවේග මර්දනය කරන්න සූදානම් වනවා යැයි විපක්ෂය චෝදනා කරනවා?

ත්‍රස්තවාදය පාලනය කිරීමේ පනත් 1989,1992,1993 ආදී විවිධ අවස්ථාවල සම්මත කරගෙන තිබෙනවා. මෙය ලංකාවට පමණක් ආවේණික වූ පනතක් නොවේ. ලොව අනෙකුත් රටවලත් මෙය තිබෙනවා. ඒ නිසා මේ ගැන වැරදි චිත්‍රයක් ජනතාව තුළ මැවීමට උත්සාහ කරන්න එපා. මෙය මහා බිල්ලෙක් ලෙස මවා පාන්නත් එපා. ශ්‍රී ලංකාවේ නරකම තැන ගම නොවේ. ශ්‍රී ලංකාවේ නරකම තැන නගරය ද නොවේ. ශ්‍රී ලංකාවේ නරකම තැන පාර්ලිමේන්තුවයි. සිංහල, දෙමළ, මුස්ලිම් නායකයෝ 125 ක් මරා දමා තිබෙන්නේ ත්‍රස්තවාදය නොවේද? ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාට පාර්ලිමේන්තුවේදී බෝම්බ ගහන්නේ ත්‍රස්තවාදය නොවේද? ලක්වාසී සියලු ජනතාව මේ ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.

ත්‍රස්තවාදයක් රටේ නැති අවස්ථාවකදී කඩිමුඩියේ මෙවැනි පනතක් ගෙන එන්නේ ඇයි?

ත්‍රස්තවාදයක් නැති අවස්ථාවක ත්‍රස්තවාදයේ මූලධර්ම පාලනය කිරීම සඳහා අණ පනත් අවශ්‍යයයි. බෝම්බය පිපිරුණාට පසුව අණ පනත් ගෙන එනවාට වඩා ඒ සඳහා ඇති මූලාශ්‍ර හඳුනා ගැනීම කළ යුතුයි. ඒ සඳහා එවැනි පනත් අත්‍යාවශ්‍ය වී තිබෙනවා.

මේ වසරේ මැතිවරණයක් තියන්න අදහසක් නැතිද?

පළමු කාරණය රට යථා තත්ත්වයට පත් කිරීමයි. ඊළඟ කාරණය වන්නේ රටට නොගැළපෙන ව්‍යවස්ථාමය අණ පනත් ඉවත් කිරීමයි. අනෙක් කාරණය එක් එක් පක්ෂවල පටු අරමුණ ඉටු කරගැනීම සඳහා නොව ශ්‍රී ලංකාවේ අරමුණු ඉටු කර ගැනීම සඳහා තීන්දු තීරණ ගෙන ඒවා ක්‍රියාවට නැංවිය යුතුයි.

මීළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමාද?

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා බවට රනිල් වික්‍රමසිංහ මහතා පත් කරනවාට වඩා රට ගොඩනගන්න කොන්දේසි විරහිතව සියලු දෙනාම සහයෝගය ලබා දිය යුතුයි. එතුමාට රට කරගෙන යාමට ඉඩ දිය යුතුයි. එහෙම ඉඩ ලබාදෙනවා නම්, ශ්‍රී ලංකාව ආසියාවේ වගේම ලෝකයේ බලවත් රටක් බවට පත් වේවී.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී

වජිර අබේවර්ධන

 

සාකච්ඡා කළේ – පී. දිසානායක

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *