උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයිමට ජනපති අත ගසයි

 

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙසත් විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය.

විභාග කටයුතු හදිසි සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය නිති සම්පාදනය කිරීමට ද අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා පසුගිය වසරේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සම්බන්ධ වු කණ්ඩායමම යොදා ගනිමින් මෙවර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් කටයුතු සිදු කරන ලෙස ද උපදෙස් දුන්නේය .

එම කටයුතු සඳහා සහභාගී නොවුනහොත් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවත්, ඒ පිළිබඳ නීතිපතිවරයා සමග ද සාකච්ඡා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධව කර ඇති ප්‍රකාශය පිළිබඳව ද අවධානය යොමු කර ඒ අනුව ඉදිරි කටයුතු සැලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා අධ්‍යාපන බලාධාරින්ට දැනුම් දුන්නේය.

පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශවල 2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ අයවැය යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය වෙනුවෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *