නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම – අජිත් පැරකුම් ජයසිංහ

2015 ජනවාරි 8 විප්ලවයේ එක් මූලික අරමුණක් වූයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමයි.

ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලියක් ඔස්සේ එම කාර්යය ඉදිරියට යමින් තිබේ. අද දින එහි වැදගත් ඉදිරි පියවරක් තබන ලද බව වාර්තා විය.

අගමැති විසින් උප කමිටු හයක වාර්තා ව්‍යවස්ථාදායක සභාව වන පාර්ලිමේන්තුවට වෙත ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල මන්ත්‍රීවරුන් 11 බැගින් සමන්විත එම උප කමිටු හය සහ ඒවායේ සභාපතිත්වය දරන්නන් මෙසේ ය:

මූලික අයිතිවාසිකම් -ඇමති මහින්ද සමරසිංහල
අධිකරණ – ඇමති රාවුෆ් හකීම්
රාජ්‍ය සේවය – ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත
රාජ්‍ය මූල්‍ය – මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන (ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරයි)
නීතිය හා සාමය – ඇමති සාගල රත්නායක
කේන්ද්‍රය සහ පරිධිය එනම් මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන අතර ඇති සම්බන්ධතාව – ඩී. සිද්ධාර්ථන්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් වන නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම වැනි අය ද මෙම කමිටුවල සිටිති.

මෙම වාර්තා සකස් කිරීමේදී ලාල් විජේනායකගේ සභාපතිත්වයෙන් යුත් මහජන නියෝජන ලබා ගැනීමේ කමිටුවේ වාර්තාව මත පාදක වන්නට ඇතැයි අපි සිතමු.

මෙම වාර්තා අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුව විසින් අධ්‍යයනය කිරීමට නියමිත ය. එහි මන්ත්‍රීන් 21 අතර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණතුංග ද සිටියි.

මෙම මෙහෙයුම් කමිටුව විසින් ද දෙසැම්බරයේදී වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත ය.

අප ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගැන විශේෂයෙන් සඳහන් කළේ ඔවුන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ගැන දුර්මත ප්‍රවර්ධනය කරමින් සිටින බැවිනි. ඔවුහු ද ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ කොටස්කරුවෝ ය.

මෙම වාර්තා පුළුල් මහජන සාකච්ඡාවකට භාජනය කළ යුතු ය. කෙටුම්පතක් සකස් කළ යුත්තේ ඉන් අනතුරුව ය.

එම කෙටුම්පත ද සංවාදයට භාජනය කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලබන ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයෙන් ද, ඉන් පසුව ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු ය.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍ර විරෝධී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, එහි ඒකාධිපති ජනාධිපති තනතුරෙන් හා විකාරරූපී මැතිවරණ ක්‍රමයෙන් ගැලවිය යුතු ය.

එසේම, රටට ගැලපෙන, බිම් මට්ටම දක්වා විහිදෙන බලය බෙදා හැරීමක් එහි අන්තර්ගත විය යුතු ය.

සිංහල, දෙමළ, මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද, මහජනතාවගේ ද සහභාගිත්වයෙන් සිදු වන මෙම ව්‍යවස්ථා ගොඩනැගීමේ ක්‍රියාවලිය අතිශය වැදගත් ය. එය සාර්ථක කර ගැනීම අප සැමගේ වගකීමකි. එම ක්‍රියාවලියට සහභාගි නො වී, පිටින් සිටිමින් කුමන්ත්‍රණ න්‍යාය ගොඩනැගීමෙහි යෙදී සිටින බලවේග පරාජය කිරීම ද එහිදී ඉතා වැදගත් ය.

මෑත ඉතිහාසය පුරා ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා යනු අන්තවාදී කල්ලි විසින් බලයට කෙටි මං සෙවීම සඳහා භාවිතා කළ අවස්ථා වේ. දැනුදු ඒකාබද්ධ විපක්ෂය හා රාජපක්ෂ පවුල සූදානමින් සිටින්නේ එයටයි. බොදු බල සේනා, රාවණා බලය, සිංහ ලේ වැනි අන්තවාදී බෞද්ධ සංවිධාන මෙන් ම තව්හිද් ජමාත් වැනි මුස්ලිම් සංවිධාන ද, දෙමළ ජාතිවාදී ඉතුරු බිතුරු ද, වාමාංශික අන්තවාදියෝ ද මෙවැනි අවස්ථා මත ආයෝජනය කිරීමට සූදානමින් සිටිති.

ජාතික හා ආගමික ගැටුම් ඇති කරන වෛරී ප්‍රකාශ කරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නො බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව වාර්තා විය. නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට අන්තවාදී මහණුන්ගේ නරිනාටකවල චරිත බවට පත් වී සිටින පොලිස් කෝලම්වලට විරුද්ධව ද නීතිය ක්‍රියාත්මක නො කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු ය.

දූෂණය කරන්නට ළමයින් ඉල්ලන තව්හීද් ජමාත් නායක රාසික් හා එවැනි සිංහල ජාතිවාදී උම්මත්තකයකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගලගොඩඅත්තේ, අම්පිටියේ අම්බරුවන් වැනි තවත් සමාජ විරෝධීන් කිහිප දෙනෙකු ජාතිවාදය හා ආගම්වාදය අවුස්සමින් කැළඹීම් ඇති කිරීමට උත්සාහ කරමින් සිටිති. මහින්ද රාජපක්ෂ පසුගිය දිනෙක මඩකලපුවට ගොස් අම්පිටියේ භික්ෂුව හමු වූ බවට ද වාර්තා තිබේ. ඔවුන්ට නීතියට ඔලොක්කු කරන්නන්ට ඉඩ දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නට ලැබෙන්නේ නැත.

W3LANKA

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *